Friday, March 1, 2019

මම  දුර ගමන් යන්නට කැමති මැක්කෙකි. ඒ නමුත් ලැයිකා නම් මහා කම්මැලියෙකි. ලයිකා යනු මගේ ගජයාය. කෙතරම් කැමති වුවද ලැයිකා දමා දුර ගමන් යාමට මම අකමැතිය. (එය නොහැකියාව යැයි නොසලකන්න) ලැයිකා නැතිව පැවැත්මක් මට නැතිය. ඒ ඔබ සිතන හැටිය. ඇත්තම කතාව මා නැතිව උෟට පැවැත්මක් නැතිය. අපේ මිතුරුකමේ සීමා මායිම් කිසිත් නැති වීම නම් මට සතුටකි. ලැයිකා... ලැයිකා... කියා කීවට මේ ගෙදර මුරට ඉන්නා මුර සෙබලා  මූය. එ් නමුත් මුළු ගේම උස්සන් ගියත් ඌ දන්නෙ නැත. සීයා කට ඇරගෙන බුදිය ගන්නා ඇඳි පුටුව යට ලැයිකා ඔළුව බිම ඇණගෙන සැපට බුදිය. සද්දයක් බද්දයක් ඇහුනොත් ඔළුව උස්සල  බලලා නකුට දෙපාරක් පොළොවෙ ගැසීම පමණක් ඔහු රාජකාරිමය වශයෙන් කරන්නේය. මූ වගේ කම්මැලියෙක් එක්ක දුර ගමන් යන්නට හිතන මටද පිස්සුය. නමුදු උත්සහය අතහැරිය යුතු නැත.

මේ මචං උඹට හිතෙන්නැද්ද පාරට ගිහින් ටිකක් ඇවිදලා එන්න

එක ඇහැක් යාන්තමට ඇර මා දෙස ඔරවා බැලූ පොර මාව තුට්ටුවකට මායිම් නොකලේය. උෟ එහෙම හිතුවට මම ගේම අතහරින්නේද නැත

තමුසෙ හිතන්නෙ මුළු ලෝකෙම මෙච්චරයි කියලද?

කොච්චර වුණත් මට මොකෝ.. කියන්නැහෙ හොම්බ ගස්සා මෑන් ආයෙමත් බුදිය

තමුසෙ දන්නවද මේ ලෝකෙ හරි විශාලයි. තමුසෙ නිකම්ම ගෙයි ගෙම්බෙක් වගේ බලනවකො තමුසෙගෙ වරිගයෙ එවුන් පාරක් පාරක් ගානේ තමන්ගෙ අණසක පතුරගෙන ඉන්න හැටි. තමුසෙ නිකම්ම නිකම් දාසයෙක් වෙලා. ෂික් වරිගෙටත් එක්ක ලැජ්ජයි.

මට මේ ගේ බලා ගන්න තියනවා. තමුසෙට ඕන නම් ගිහින් එනවා

නෙදකින් මූ වගේ කම්මැලියෙක්.

උඹ දන්නවද අද ගෑනු ළමයි පාරට එන දවස තමුසෙට හිතෙන්නැද්ද ලස්සන නෝන කෙනෙක් දකින්න. එයාට ආදරේ කරන්න.

ඒ පාරනම් මෑන් පැණි හිනාවක් දාගනම මා දෙසට හැරුණාය. ඒ සැනින්ම අහක බලා ගත්තාය. ඉන්පසු ලැයිකගෙ කකුලට හේත්තුවෙලා කකුලක්පිට කකුලක් දා ගන්න ගමන් මම වැඩේට එන්ටර් වුණා.

මට ඕව තේරෙන්නෑ ඕයි. තමුසෙට ඕන තරම් නෝනල ඉන්නෙ ඔය මගෙ පිටේ.

උන්ට ඕන තරම් මහත්තුරුත් ඉන්නවනෙ ඕයි. මට දුක තමුන් ගැන.
යමුද ටිකක් ඇවිදලා ගෑනු ළමයෙක් සෙට් කරගන්න.

උඹ මට හෙල්ප් කරනවද?

එකෙන්ම. උඹට නොකරන උදව් වෙන කාට කරන්නද?

දාහක් කරුණු කාරනා කිව්වට පසු ලැයිකා ගමනට සූදානම් විය. මම වීරයකු සේ ලැයිකාගෙ පිට උඩ නැග ගතිමි.

දඩිපඩි ගා නැගිට ගත්තට ලැයිකාගේ ගමන පාන්කඩයක් එහෙට මෙහෙට වැනෙනා තාලෙටය. මෙහෙම ගියොත් නාඹර ලමිස්සියෙක් තියා නාකි බලු නකුට්ටියෙක්වත් මූට සෙට් කරන්නට තියා ඇහැක් ඇර බලන්නටවත් කැමති වෙන එකක් නැතිය. බලාසිටියොත් වෙන්නේ අඩි දහයක් දොලහක් ගිහින් නැවත හැරී එන්නටය.

මොකක්ද බං මේ ගමන ටිකක් කොල්ලෙක් වගේ දඩිපඩිගාලා ඇවිදහන්කෝ ..  කෙල්ලො කැමති ඒවගේ ඇක්ටිව් කොල්ලන්ටනේ

වචනය පිටවෙන සැනින් ලැයිකා ගමනේ වේගය ටිකාක් වැඩි කළේය. ඒ සැනින් එය දෙගුණයක් වැඩිවිය දැන්නම් ගමන පාළු නැත. ලැයිකා පාර දෙපසම පීරන්නේ නාඹර කැකුලියක් දැක ගැනීමේ අටියෙනි. මම කුරුල්ලෙකු සේ සුළඟේ පහස විදිමින් ගීතයක් ගයන්නට වීමි.

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා...... මා අමතන්න සනසන්න මගෙ වාසනා....

ටික දුරක් හැල්මේ දුවන් ආ ලැයිකා හතර ගාතේ දමා ඇදගන වැ⁣ටුනේ මා නොසිතූ මොහොතක වූයෙන් දන්නා වැඩ කිඩ සේරම දමා ලැයිකාගේ කෙස්ගසක තනි අතින් එල්ලී ජාම බේරාගන්නට මට හැකිවිය.

ලැයිකාගේ දකුණු පය තුවාල වී ඇත. වේදනාවෙන් කඳුළු පෙරමින් ලැයිකා බෙරිහන් දෙන්නට විය. එතැන් සිට පේන තෙක් මානයට යනතෙක් පාර පුරා වලවල්ය කඩතොළුය. පාරෙන් ගැලවී විසිවුණ තුන්කාර ගල් කෑලි උඩින් මනුස්සයෙක් බැරි බැරි ගාතේ ඇවිදන් එන්නේ දැන් වැටෙයි දැන් වැටෙයි කියා හිතමින්ය. එ් මත ඇවිදින මිනිස්සු දැක්නාම මට සිනහ නොවී සිටීමට නොහැකි විය. ලැයිකා කෝපයෙන් මගෙ සිනහවට ගෙරවීමත් සමඟ මම නිහඬ වීමි.


අද ඔහොම යනවා හෙට යන්න පාර හදාගත්තනම් මොකද

ඒකට තමයි රජයක් තියෙන්නේ. රජය බදුගන්නේ ඕව හදන්න තමයි

ගන්න බදුවලින් මොකද කරන්නෙ කියලා හොයල බලන එක මිනිස්සුන්ගෙත් යුතුකමක්.

එව්ව හොයන්න ගියොත් උඹයි මමයි මේ පාරට දාලා තාරදායි... හොඳම දේ අපි ගෙදර හිටපු විදියට පාඩුවෙ සැනසිල්ලෙ ඉන්න එක.

ලැයිකා කියන්නෙත් ඇත්තය ඒත් කොකාට වාරයක් අාවනම් තිත්තයටද වාරයක් එන බව තිත්තයා දැන සිටිය යුතුය. ඒ බව කොකාට අමතක වුණා වගේ තිතිතයටත් අමතක වෙච්ච එක තමයි කරුමේ

ලැයිකාගෙ කැඩුන කකුලට බේත් කරන්නට ආයෙමත් ගෙදර එන අතර දුර ගමන් සිහිනය වෙනත් දිනකට කල්දමා සිත සනසාගන්නටද මට ද සිදුවුණි

මැක්කා




No comments:

Post a Comment