Friday, March 15, 2019

කොනිත්තන මතක

අද රෝජට කියන්න තියෙන්නෙ හුඟක්ම රසබර කතාවක් නොවුණට ඒ කතාව ඇතුලෙ හුඟක් දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් ඒ වගේ කතාඇති බොහෝම.

මේ සිද්ධිය රෝජට සිද්ධ වුණේ ඉස්කෝලෙ යන කාලෙ. දැන් මෙහෙමනේ ඒ දවස්වල රෝජා බොහෝම චුට්ටන් පංතියේ මුළු ගැන්විලා හිටපු අහිංසක කෙල්ලක්. ඒ වුණාට පණ්ඩිත කමනම් චුට්ටක්වත් අඩුවක් නෑ.

මේ දවස්වල ඉස්කෝලවල වාර විභාග වලට ලෑස්තිවෙනව ඇති. ඉතිං මමත් මේ වැඩේ කලේ වාරවිභාගයකදි. හැමෝම දන්නවනෙ සිංහල ප්‍රශ්ණ පත්තරේ මුළින්ම තියෙන්නෙ මාතෘකාවකට රචනාවක් හෝ වචන 150ක 200ක කෙටිකතාවක් ලියන්න කියලනේ.

ඔන්න ඉතිං රෝජට එදා පේපර් එක හම්බුණාම සේරම කියවලා ඉවර වුණාම හිතෙනවා හැමදාම රචනා ලියන එකේ මේ පාර කෙටි කතාවක් ලියල බලන්න ඕනි කියලා. ආයෙ මොකටද දෙපාරක් හිතන්නෙ කියලා ඕන් ඉතිං කෙටි කතාව ලියනවා. දැන් රෝජ හිතන්නෙ එයා තමයි වැඩ්ඩා මේ පාර සිංහල ප්‍රශ්ණ පත්තරේට වැඩිම ලකුණු ලැබෙන්නෙ එයාට තමයි කියලා. 

පෙරුම් පුර පුර බලන් හිටියට ඒ පාර සිංහල පේපර් එකට ලකුණු අඩුම හම්බුණේ රෝජට. ඒ නිසාම පංතියෙ තමන්ගෙ ස්ථානය රැක ගන්නවත් රෝජට ලැබෙන්නෑ. ඇයි එහෙම වුණේ සමහරවිට රචනාව වගේ කෙටිකතාව හොඳට ලියල නැතිව ඇති හොඳම වැඩේ පණ්ඩිත වැඩ කරනවට කියලා රෝජා තමන්ටම  ආඩපාලි කියන්න පටන්ගත්තා.

නිවාඩු කාලෙත් ගිහින් ආයෙමත් ඉස්කෝලෙ පටන් ගත්ත කියමුකෝ. දවස් දෙක තුනකට පස්සෙ උදේ රැස්වීමෙදි සිංහල ටීච කතාවක් කරලා මේකෙ ඉතිං ඉන්නෙ රචනාව ලියාගන්න බැරිව කෙටිකතා ලියන මොට්ට ළමයිනේ කියලා කතාව අතර මැදදි මගෙ හිතට බෝම්බයක් අතෑරියා. ළමයි එකා දෙන්නා කසු කුසුව කවුද කතාවක් ලිව්වෙ කියලා. රෝජට සිංහල කියන විෂය වහ කඳුරු වුණේ ආන් ඒ දවසෙ ඉඳලා. එදයින් පස්සෙ කවදාවත් සිංහල පේපර් එකට මට වැඩිය ලකුණු ලැබුණේ නෑ. මොන තරම් හොඳට ලිව්වත් ලකුණු අඩුයි.

ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකු හැකියාවක් ඉහළ නංවන්න වගේම පහළට ඇඳලා දාන්නත්. එදා මම පහළට වැටුණා. මම ලියන කිසිම දෙයක් කාටවත් පෙන්වන්න බය වුණා. හැමදේම හංගන්න පුරුදු වුණා. ඒ වුණත් සිංහලවලට A එකක් අරං මම ඒ ගුරුවරියට පෙන්නුවා. නමුත්   A/L වලට සිංහල විෂයන් හැර වාණිජ්‍ය විෂයන් තෝරා ගන්න පෙලඹුනා. අද මම ආයෙම සිංහල විෂය හදාරන්න උත්සහ කරනවා. එදා එහෙම නොවුණ නම් අද මට ආයෙම සිංහල විෂය හදාරන්න ඕනි වෙන එකක් නැති වෙන්න තිබ්බා.

ඔන්න ඕකයි රෝජට සිංහල භාෂාව වැඩිදුර ඉගෙන ගන්න තියා හිතන්නවත් අකමැති වෙච්ච කාරනාව. පුංචි කාලෙ දෙයක් වුණාම ඒ දේ හිතට තදින් බලපානවා. අපි කාට කාටත් මේවගේ දේ යම් යම් අවස්ථාවල බලපාන්න ඇති.

රෝජා🌷

2 comments:

  1. ඒ ටීචර් හොයලා විලක්කු තෑගි කරන්න.. :D

    ReplyDelete
    Replies
    1. මම එයාට සුනන්දා යැව්වා... විලක්කුත් යවන්න ඕනා

      Delete