Tuesday, February 26, 2019

ගඟ

සඳක් ඇවිදින් තුරක හැපි හැපි
හඬාවැටුනට
ගඟක් පහළට ගලායන එක
නවත්වන්නට බෑ
කුණාටුවකට පසුව හමුවුණ
හුදකලාවක විරාමය මැද
උඹෙයි මාගෙයි මතක විතරක් මකාගන්නට බෑ

වසන්තයකට පිපෙන්නට බැරි
මලක් සිසිරයෙ තනිව පිපුණම.
ඉකිගසන්නට කැමති කිසිවකු
ලොවේ ඉපදී නෑ....
උඹත් ඈතට යන්න ගිය පසු
මගේ තනිකම දරාගන්නට
සිසිරයට මිස වසන්තයකට බෑ


ඈත දි⁣ලිහෙන පුංචි තරුවක්
ඉල්ලලා පොඩිඑකෙක් හැඩුවිට
ජීවිතේ අපි ලියපු පාඩම්
හොයා ගන්නට නෑ
මගෙයි උඹගෙයි පෙම් කතාවට
කොමාවක් මිස විරාමයකුත් නෑ

Sunday, February 24, 2019

 මඳ සුළඟකින් පවා රිඳුම් ඇතිවිය හැකි දරුවකුගේ සිත සුසිනිඳුම මල්පෙත්තක් මෙනි. උදෑසන පිනි බිංදු නැහැවී ආදරය දෝරගලමින් සිනාසෙන මල්පෙති දැඩි හිරු රශ්මිය හමුවේ මලානික වී බෙරිකරගත් මුහුණින් බලා සිටිනු ඔබ අනන්තවත් දකින්නට ඇත.

කුඩා දරුවකුගෙ සිතද එපරිද්දෙන්ම සියුම් ස්පර්ශයන් හඳුනයි. ආදරය සෙනෙහස ළඟ මෘදු මොලොක් වන සිත වෛරය ක්‍රොධය හමුවේ මැලවී බොඳවී යයි. අද මම උත්සහ දරන්නෙ එවන් දරුවන් ගැන ඔබට යමක් පවසන්න.

මාගෙ නිවෙස අහල පහළ වෙසෙන ඇය කුඩා දියණියකි. නිරතුරුව කේන්ති ගන්නා දෙමාපියන් ප්‍රතික්ශේප කරන ඇය තම අත්තම්මමා සහ සීයා සමඟ වැඩිපුර බැඳී වු⁣ණ්නේය. ඒ හේතුව නිසාම අම්මා සහ තාත්තා අැයට තව තවත් වෛරකරන්නට විය. එම මවගේ අනෙක් දරුවන් මෙන් නොව පැහැයෙන් අඩුවූ ඇය එයටද වැරදි කාරියක වූවාය. මූසලී යැයි නිතර දොස් කීවාය. නිතර සිනාසී සිටින ඇය සිනාසීමද  ඇගේ අම්මාට වදයක් සේ පෙනුනෙන් එයටද දොස් කීවාය.

තම නිවසේ සිදුවන මෙවන් අකටයුතුකම් පුංචි පුංචි සිත් රිඳවීම් හිත තුළ සඟවා සිටීමටත් කිසිවෙකුටත් නොපවසා සිටින්නට ඇය උත්සහ කළාය. කෙටි කාලයකට පසුව සිඳුවූ යම්කිසි හේතුවක් මත මෙම දැරියට අත්තම්මාගේ නිවසට යාම තහනම් කරන ලදින් ඇය තම නිවස තුලම සිරවී කල්පනා කරන්නටත් තම සිත සමග තනිව අරගල කරන්නටත් පටන්  ගත්තේ කිසිවකුටත් රහසිනි.

කෙමෙන් කෙමෙන් ඇය රෝගී වූවාය. ඇඟ වෙවුලා සිහිසුන්වී වැටෙන්නටත් විනාඩි ගණනක් එලෙසම සිහිනොමැතිව සිටින්නටත් දරාගත නොහැකි පපුවේ වේදනාවකිනුත් පෙළුන ඇය අවසන රෝහල් ගතකරන ලදී. මනසින් වැටුණ දරුවා තොරතෝංචියක් නැතිව කියවන්නටත් හඬන්නටත් වූවාය. හැම පොට්ටුවකටම පිපෙන්නට කාලයක් අැත. ඇතැම් ලෙඩ රෝග සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නැත. ඇත්තේ ආදරයම පමණි.  ළමා මනස කියවන්නට හැකි සුන්දරම පොතකි. එය කටුක කටු කම්බියකින් ඔතා වසා දැමිය යුතු නැත.

අපි කිසිවෙකු එකවර අතපය උස්මහත් වී වැඩී ලොකු මිනිසුන් වූයේ නැත. අපද ළමාවිය ගත කර අද මහ මිනිස්සුන් වූ අයනම් අපට අපගේ ළමා කාලය අමතක වී තිබිය හැකිද? එසේ අමතක වූයේ නම් එය කේදවාචකයකි. අපි කුඩා කළ සෙව් ආදරය සෙනෙහස කරුණාව දයාව විනෝදය සියළු දේ අපේ දරුවාටද විඳින්නට අයිතියක් ඇත. ඉතිං අපි අපේ දරුවාගේ ළමාවිය සොරකම් නොකරමු. ඔවුනටද ළමාවිය ගත කරන්නට ඉඩ දෙමු.