Sunday, May 27, 2018








#LOVE_STORY 💏

මම ෆුට්බෝඩ් එකට අඩිය තිබ්බා විතරයි බස්එක වේගෙන් ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. මට ඕන වුණා අත්දෙකෙන් එල්ලිලා ඔළුව පාර පැතතට ඇල කරලා කෙහෙරැල් වලට  ඔහේ පාවෙන්න ඉඩ දෙන්න.  ඇස් පියාත්තම කිරිල්ලියක් ගානට සැහැල්ලු වෙච්ච හිත ඒ ආසාව දෙගුණ තෙගුණ කළා. තවත් තප්පරයක්වත් නොහිතා පාරට බරවෙද්දි සට සට ගාලා කම්මුල්වල හැපෙන සුළං පාර කෙහෙරැළ් අරගෙන යන්න ලොකු සටනක. තව චුට්ටක් පාර පැත්තට බර වෙන්න හදද්දිම ශක්තිමත් අතක් මගෙ ඉනවටේ කැරකිලා එයාගෙ පැත්තට ඇඳලා ගත්තා..  ඇස් ඇරලා එයා දිහා බලද්දි ඒ ඇස් තරහෙන් පුපුරනවා.. මම තව චුට්ටක් ඒ ඇස්වලට ළං වුණා.. එයාගෙ හුස්ම මගෙ කම්මුල්වල වැදෙන නොවැදෙන ගානට ළං වෙලා.

මොකද මැරෙන්න හදනව ද?

කවුද?

මම

ඒපාර නම් මම යාන්තම් හිනාවුණා. ඒ ඇස් වෙනස් වුණේ තප්පරයකටත් වඩා අඩු වේගෙකින්. මගෙ හිනාවක් ළඟ නතර නොවුන ඇස් දෙකක් තවම මට හමුවුණේ නැති වුණත් ඒ ඇස්වල තාම තියෙන්නෙ රකුසු  පෙණුමක්.

බුම්මට්ටෙක්

මොකක් ?

නෑ මොකුත් නෑ

මම ගස්සගන ගිහින් පිටිපස්සෙම සීට් එකේ වාඩිවෙලා ජනේලෙන් එළියට පැන්නා.. එකම එක ගහ කොළක් නැති වුණත් අහස උසට නැගපු කොන්ක්‍රීට් බිල්ඩින් අපිව දැකලා ආ පස්සට යනවා. ඒ එකින් එක පස්සට යද්දි මගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි උදාසීන ගතියක්. අද මම ඉස්සරහට යනවා ඒත් හෙට ආයෙම එතනමයි. කිසිම වෙනසක් නෑ.

දන්නව ද?

මොනව ද?

හැමදේම පස්සට යනවා

නැහැ අපි ඉස්සරහට යනවා

මම ඒ මූණ දිහා බැලුවා. ඇස් ඔහේ පාවෙනවා ඒත් හිත කොන්ක්‍රීට් බිල්ඩින් එකක් ඔළුව උඩ තියාගෙන ඉන්නව වගේ. මූණ පුරාම වැවිච්ච රැවුළෙන් පුංචි කොටසක් යාන්තමට පේනවා. ඇස්ගෙඩි දෙක විතරක් සුදුම සුදු පාටට වටේ කැරකෙනවා.

ඇයි

නිකන්

හැමදේම විහිළු නෙවෙයි

කවුද කිව්වෙ

මොනාද

හැමදේම විහිළු කියලා

කොයි වෙලෙත් රත්චේච තාච්චියට අබ දැම්ම වගේ පුපුරන්න බලා ඉන්න ඒ ඇස්වලට එබිල බලන්න මට හිතුණා.. ඒ ඇස්...   දෙවියනේ මගෙ මුළු හිතම හිරිවැටුණා වගෙ දැණුනා.. ටික වෙලාවකට හිත ගොළු වුණේ කවදාවත් කතා කරන්න බැරි වෙන ගානට.

 එක්ක යනවද

කොහෙද

මම ආසයි ඇවිදින්න

ඇවිදින්න

ඔව් ඇවිදින්න

ඇවිදින එක මගෙ රාජකාරිය නෙවෙයි

දන්නවා

මොනවද

ඇවිදින එක ඔයාගෙ රාජකාරිය නෙවෙයි කියලා

අතටම ගුලිවෙච් කරදාසි කොළ එහාට මෙහාට රෝල් වෙනවා. ඒ ඇතුලෙ හිර වෙච්ච අදහස් එයාගෙ හිතේ තාම පෙරළි කරනවා.. මට ඒ හිත එකතැන නතර කරන්න පුළුවන් නම්.

මමත් කැමතියි

මොනවට ද

ගුටිකන සංගමයට බැඳෙන්න

බෑ

ඇයි

මට ඒක බලන්න බෑ

මොකක්ද

කිව්වම අහන්න

මටත් ඉන්න ඕන

කොහෙද

ඔයා ළඟ

එයා නිහඬ වුණා. මොකක්දෝ ලොකු අරගලයක. කළුගල් දිය කරන එක පහසු නෑ.. ඒත් වෙඬරු

මම බහිනවා

ඇයි හංගන්නෙ

මොනවද

ඇස්

මම බහිනවා මාව නවත්වන්න එපා

හොඳයි

විස්වාසද

මොකක්ද

ඔය හිතන එක

ඔව් විස්වාසයි

විකාර....

බස් එක නවත්තන්න ලෑස්ති වුණා විතරයි. එයා බස් එකෙන් බැහැ ගත්තා.. ජනේලෙට බර දීපු මම එයාගෙ උරහිසේ ඔළුව තියාගන ඇස් පියාගත්තා..

ඔව් අපි ඉස්සරහට යනවා...