Friday, March 29, 2019

තරුවක්

හුඟක්ම දුක හිතුණ වෙලාවට අපිට ළඟම ළඟම ළඟින්ම ඉන්න යාළුවෙක් ඕන වෙන්නෙ ඒ දුක වේදනාව පිට කරගන්න හිතේ හිරකරගන ඉන්න දුක වේදනාව කඳුළුවලට හැරෙද්දි හිතේ බර ටිකෙන් ටික අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.

මට හිතයි දැන් නතර වෙන්න. මම හිතන්නෙ මම හුඟක් ඇවිද්දා. හුස්මක් නොගෙන වේගෙන් ඇවිද්දා. ඒත් මම දිව්වෙ මිරිගුවක් පස්සෙ. ඒක මට තේරුනේ හරියටම මේ සඳුදා උදේ. ඔව් මේ සඳුදා උදේ. දැන් මම නතර වුණා නම් හොඳයි කියලා තමයි හිතන්නේ.

ඇයි කියලා අහන් නැද්ද?

ඇයි

හ්ම්ම්... ඒක හොඳයි

මොකක්ද

ඔයා එහෙම අහපු එක

ආයෙමත් දිගු නිහැඩියාවක්. ඒක උහුලන්න බැරිතරම් දිගු නිහැඬියාවක්. මම හිතන්නෙ තත්පර ගාණක් වෙන්න ඕනා.. මට ඒක කල්පයක් තරමට දැණුනා.

එයා මාව අතින් අල්ලගන එක්ක ගියා ලොකු දුරක් ඔව් ඒක ලොකු දුරක්. මට ඕන වුණා පිටිපස්ස හැරිලා බලන්න. ඒත් මට බය හිතුණා. එයා හිටියෙ මගෙ ඉනවටේ අත දාගන මාව තුරුළු කරගන.. අපි ඇවිද්දා.. මම හිතුවෙ ඒක ලොකු දුරක් කියලා හරියටම දවස් හතරක් පහක් වෙන්න ඕනා..

පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නෑ කියලා..මොනව වුණත්

මගේ හිත ගැස්සුනා. විදුලියක් වගේ දෙයක් පපුව පුච්චගෙන ඇදිලා ගියා මම හිතුවා මගෙ හුස්ම නතර වෙයි කියලා. මම එයාගෙ පපුවට බර වුණා එච්චරයි මට මතක.

ඒත් ඒ එදා විතරයි . ඊට පස්සෙ එයා මගෙ ඉනවටේ අත දාගත්තෙ නෑ. අපි ඇවිද්දා කතා කර කර ඇවිද්දා එදත් මට පස්ස හැරිලා බලන්න හිතුණා. ඒත් මම බැලුවෙ නෑ මොකක්දෝ බයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

ඉතිං

ඉතිං ... මම එයාගෙ අත අල්ලන් ගිහින් තිබුණා පස්ස හැරිලා බලද්දි එයා නැහැ එයා නතර වෙලා.

හරිම සාමාන්‍යයි

ඔව් ඒත්

ඇයි ඒත් කිව්වෙ

එයා නතර වුණාට මම ඇවිද්දා හරියටම අවුරුද්දක් නෑ... නෑ අවුරුදු එකහමාරක් .... ඒක මහ පිස්සුවක්...
ඔයා හිතනවද මම තවත් ඇවිදින එක හොඳයි කියලා.

නෑ

ඇවිදපු එක

ඒත් නෑ

ඔයා හරි සේරම වැරදී.. ඒත් ඉතිං වැරදි නොකර ජීවිතේ හදාගන්නත් බෑ. හරියටම ගිය සඳුදා මම හැමදේටම හිත හදාගත්තා. නවතින්න තීරණය කරා. ඒක මහ පුදුම සැහැල්ලුවක්. ලොකුම ලොකු කන්දක් උස්සන් ඉදලා බිමට දැම්මා වගේ.

ඒත්

ඇයි ආයෙමත්

මම දැන් හිස්.... ඒක ඊ⁣ටත් වඩා ලොකු බරක්. ඉතිං දැන් මට හිතයි නතර වෙන්න මේ ඇති මම ඇවිද්දා. බලාගත්තු අත බලා හිටියා බලාපොරොත්තු ඇති කරගත්තා නැතිකර ගත්තා. දැන් මට මහන්සියි . හොඳටම මහන්සියි.


මම කියවගන කියවගන ගිහින් එයා දිහා බැලුවා. කිසිම සද්දයක් නැතිව එයා අහස දිහා බලාගන දුම් වලලු අහසට විසික්කරනවා. අපි දෙන්න හිටියෙ කුරුදු ගහක් යට බංකුවක ඉදගන හඳ දිහා බලාගන. එයා මොනවදෝ හිතනව.


අර... අර... අර බලන්න

මොකක්ද?

කඩාවැටෙන තරුවක්

අපි දෙන්නම ඇස් පියා ගත්තා...

1 comment:

  1. කමෙන්ට් වෙරිෆයි කරන ඔප්ෂන් එක අයින් කරන්න.

    ReplyDelete