Sunday, November 15, 2015

අරලියා මල් සුවද


පට පටාස්  මහ හඬින් අහස ගුගුරවනව

නින්දත් නොනින්දත් අතර හිටිය මම පොරවනයට තව තවත් ගුලිවුණා ‘අදනම් වහියි වගේ’ අම්ම කියනව යන්තමට වගේ ඇහුණ. ජනෙල් කවුළුව අද්දරින් අරලියා මල් සුවඳකුත් හෙමිහිට හමාගෙන යනව. හුළගත් එක්ක එකතු වෙලා හරි හරියට මොනවද කියනව.

සේදිරිස් සීය තමයි නැන්දලගෙ ගෙදර ඔක්කොම වැඩ ටික කලේ.  නැන්දට තිබුණෙ ළමයි එක්ක ඉස්කෝලෙ යන එන එක විතරයි. එළවළු කොරටුවෙ වැඩටික ඉවර වුනාම ගේ අස්කරල මිදුලත් අතුගාන හැටි මම අනන්තවත් දකිනව. ඒ හැම වෙලාවකම තවමත් කිරිසුදුපාටට තිබුණ දත්ටික පෙන්නල ඔළුව නවල හිනාවුන එක තමයි උන්දැ කලේ.

‘ඔය මනුස්සය තමයි ගෙදර උයන්නෙත්’
‘හරිම රසයි කෑම’
‘අළුත්ම එළවළු නෙ මොකද කඩෙන් ගන්න එකක් යැයි’
‘හ්ම්’
‘මොකද බොලාට මම උයන ඒව රස නැතෙයි’

අම්ම බොරු තරහක් පෙන්නල යන්න ගියා. තවත් සැරයක් අහස මහ හයියෙන් පුපුරණව පෙරවනය ඇතුලෙ ගුලිවෙච්ච මගෙ මුළු ඇගම දහඩියෙන් තෙත්වෙලා. ‘ගෙරවිල්ල විතරයි වහින්නෙ නැහැ දෝණි’ අම්ම කිව්වෙ මගෙ දිහා බලන්නෙවත් නැතිව.

නමෝතස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස

අපි යනකොට හාමුදුරුවො පංසිල් දෙන්නත් පටන් අරගෙන. දෙන්නෙක් තුන්දෙනෙක් පැදුරෙ වාඩිවෙලා වැදගෙන ඉන්නව අනෙක් හැමෝම තැන් තැන්වල ඉදගෙන තම තමන්ගෙ කථා. ඒ එක්කම අහස ආයෙමත් මහ හයියෙන් කෑගහන්න පටන් ගත්ත. හැමෝම බැලුවෙ අහස දිහා. දැන්වහී දැන්වහී කියල. හෙමි හෙමින් ඇහෙන කසුකුසුව මිසක් පන්සිල් ගන්න බවක් නම් පේන්න නැහැ.

මේ හැමදේම නොදැක්ක සේදිරිස් සීයට තිබුණෙ පුදුම ඉවසීමක්. එළවළු පාත්තියට දරුවෙකුට වැඩිය ආදරෙන් සැලකුව උන්දැ එළවළු විකුණපු සල්ලි කවදාවත් ගන්න නැතිව ඇති.

‘තාත්තෙ මම එනගමන් කඩෙන් සල්ලි ටික ගත්ත’
‘තව කීයක් හරි හම්බුණා නම් තාත්තට පිටි සීනි ටික ගේන්න තිබුණ’
‘මගෙ කමිස සාක්කුවෙ ඇති ගනින්’
‘කීයක්ද’
‘මට මොකටද සල්ලි ඔක්කොම ටික ගනින්’
කට කොනකින් සිනා සෙන නැන්දා සල්ලිටික ගන්නෙ එහෙමයි. එළවළු පාත්තිවල වරුණාව අහන්න ආසයි ඒත් ලස්සනට පොල්අතු රටාවට අතුගාල තියෙන මිදුලට අඩිය තියන්නත් ලෝබයි.
පන්සිල් දීල ඉවර වෙලා හාමුදුරුවො බණ කියන්නත් පටන් අරං. මගේ ලගම හිටපු සීලවතී නැන්ද ලොකුකථාවක් පටන්ගන්න ලෑස්ති වුනේ අල්ලපු ගෙදර කැරලයින් නැන්දත් එක්කයි.
‘හෙට සිල්ගන්නවද’
‘ඔව් හෙට ටිකක් උදෙන්ම යන්න ඕන’
‘අරමොකෝ’
‘මම හැමදාම ඉන්න තැන ගිය මාසෙ වෙන එකියක් අල්ලගෙන මම කිව්ව උන්දැට......’
‘මමත් යන්න ඕන හෙට.  උදෙන්ම යනවනම් මටත් ඉඩක් අල්ලපං.’
‘හ්ම් හෙට දවල් දානෙ ඉස්කෝලෙ මහත්තයලගෙ දිහායින්’

ඒ අතරම කොල්ලො රංචුවක් දිමුති දිහා බලාගෙන පෙම් පලහිලව්වක. කවදාවත් නොදැකපු අය නිසා මමත් ලංවෙලා බැලුව. ඉස්කෝලෙ යාළුවො වෙන්න ඇති. මුලින් මුලින් ඇසිවලින් පටන් ගත්තු කථාව දැන් ඩිංග ඩිංග ලගටම ඇවිල්ල. දෙන්න එක්ක මුකුළු කරද්දි අනෙක් අය කට්ට කනව.

හතරට පහට නවපු ලියුම් කෑල්ලක් හුවමාරු වෙද්දි මට හිතුනෙ දුරකථන අංකය කියල. ඒ කියන්නෙ ඒකත් පටන් ගත්තෙ අද ඊයෙ සීයට පිංසිද්ධ වෙන්න.
දිමුතිට වඩා  ඇඹරුනෙ කොල්ලද මන්ද? එහා පැත්තෙ ඉදන් තව ගමේ කොළු නඩයක් රවාගෙන ඉන්නෙ ගමේ වැල ගමේ කපුටන්ට කියන්න වගේ.
පට පටාස් කියල මහ සද්දෙන් අහස ආයෙමත් කෑ ගහපි. ඒ පාරනම් අඩන්නම වගෙයි කල්පනාව

‘මොකක්ද මචං ඊයෙ වුනේ’
‘වැඩක් නෑබං’
‘ඇයි ගේමක් තිබ්බෙ නැද්ද?’
‘තිබ්බ සුද්ද එකට යටින් ගහල සල්ලි කන්දරාවම අරං ගියේ’
‘උබත් පරාදද’
‘හරි හරි අද වරෙන් කො මමත් ඉන්නවනෙ’

තවත් පාරක් අහස කෑගහද්දි හාමුදුරුවො වාහන වල නැගල පංසලට වැඩම කලා. සේදිරිස් සීයට නම් වගේ වගක් තිබුන්නෑ.

‘කොහෙද ඉතිං මුන්දැ අපිට හම්බකරපු එකක් යැයි අපි අතින් තමයි ඔක්කොම. නෑදෑයො නම් එමට තනිකරට මම තමයි බං හැමදේම කරන්නෙ. තවත් බලා ඉන්න බැහැ වහින්න වගේ ගනිල්ල යන්න’ කියාගෙන මාමා හදිස්සියෙන් ගියේ කැරම් බෝඩ් එකත් පෙරලගෙන.

අපි හැමෝටම තිබුණෙ පස්සෙන් යන්න. තම තමන්ගෙ ගෙවල් ආසන්න වෙද්දි සමහරු නතර වෙද්දි සමහරු දිගටම ගියා. ඩිංග ඩිංග අරලියා මල් සුවඳ හමාගෙන එද්දි නවාතැන ලගයි කියල සේදිරිස් සීයට හිතෙන්න ඇති.

නිහඬ නිසොල්මන් අරලිය මල් භවනින් අපි ආපහු එන්න පිටත් වෙද්දි මහ හඬින් කෑ ගහපු අහස පුංචි පුංචි කඳුළු කැට දෙක තුන බිමට වට්ටන්න පටන්ගත්ත. මම ඔළුව උස්සල අහස දිහා බැළුවම අම්ම කිව්වෙ

‘ගොරවන තරමට වහින්නෑ දෝණියේ’ කියල






No comments:

Post a Comment