අද රෝජගෙ ඇහිපිල්ලම් තෙමුනේ අතීතය ඇස් ඉස්සරහ මවන්න පුළුවන් මුහුණුපොත් පලවූ සටහනක් නිසා. එනම්
උපුටනය:
"මහරගම පසුකරන්නට පැය දෙකක් ගතවෙන බවට මැසිවිලි නැගේ.. එමෙන්ම කිරිබත්ගොඩ පසුකරන්නට පැයකට ආසන්න කාලයක් මේ දිනවල ගතවේ...!
කිසිදු වට්ටමක් නැතත් (ක්‍රෙඩිට් කාඩ් වට්ටම් ඇර) මිනිසුන් පොදිකමින් ඇදුම් විතරක් ම ගන්නේ ඇයි..?"
උපුටා ගැනීම මනෝරම වීරසිංහයන්ගේ facebook පිටුවෙනි.
සීසන් එකට මහරගම ඇයි මෙච්චර සෙනග මේ මිනිස්සු ඇඳුම් ගන්න මෙච්චර පොරකන්නෙ ඇයි. ඇත්තටම මහරගම එන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ්වලින් ඇඳුම් පැලදුම් ගන්නා මිනිසුන් ද? ලාබ නැතත් සේල් බෝඩ් එල්ලෙන්නෙ මහරගම විතරයි ද?
හැම තැනම සේල් බෝඩ් එල්ලුනද මිනිස්සු පොරකකා මහරගම එන්නේ පුරුද්දට වඩා මළ නොකෑ ඇඳුම් අඩුමිලට ගන්න යැයි නොදන්නා අය කොපමණ ඇත්ද? ලොකු ලොකු නම් ඇති කඩ සාප්පුවල සේල් යැයි එල්ලා ඇත්තේ විකුණා ගත නොහැකි පැරණි ඇඳුම් ආයිත්තම්වල වුවාට එහි එතරම්ම මිළ අඩුවක් නැත. සේල් වුවද රු.500/=ට වැඩිය. නැතිනම් කුණුම කුණු පාටය. මහරගම එසේ නැත. මහරගම පමුණුව දුප්පත් මිනිසාට අවුරුදු දෙන ගමන් අවුරුදු මිලට ගන්නේද තවත් එවැනිම දුප්පතෙක් නොවන්නේද? දුප්පතෙක් නොවුනද ඔහු හෝ ඇය මධ්‍යම පාන්තිකයෙක් බවනම් කවුරු කවුරුත් පිළිගන්නවාට සැක නැත.
කතාව නම් එය නොවේය. රෝජාගෙ පුංචි කාලයයි. කටුමැටි ගෙදරක ජීවත් වූ රෝජාටද ඇඳුමක් ලැබුණේ වසරකටම එකම එක දවසකි එනම් අවුරුදු දවසටය. එයටද පමුණුව කරා ඇඳී යන්නේ ලාබෙට පොඩි ගවුමක් මිල දී ගන්නට වාගේම අතේ ඇති මුදලට සියල්ලන්ටම නැතත් ආත්තම්මාට සහ සීයාටද සරමක් චීත්තයක් මිලදී ගත යුතුම නිසාවෙනි. අයියාටත් මටත් ආත්තම්මාටත් සීයාටත් ඇඳුම් ලැබුණද අම්මාටයි තාත්තාටයි ඇඳුම් මිලදී ගත්තේ කී වතාවක් දැයි මම නොදන්නෙමි. එවකට එපමණක් තේරුම් ගන්නට තරම් මට දැනීමක් නොතිබුණි.
පමුණුවට යෑමේ අරමුණ මම දනිමි. අනෙක් අයට මෙන් ඇඳුම් ගොඩක් නැති එක ඒ කාලයෙද මට නොදැනුනි. මට ලැබුණ එකම ගවුම ලෝකයක් තරම් වටිනවා යැයි සිතා ආඩම්බරයෙන් ඇවිද්දෙමි. රෝජා රතුපාටටත් සුදුපාටටත් බොහෝ සෙයින් මනාපය. එ නිසාම රතු සහ සුදු ඇඳුම් පමණක් තෝරා ගෑනීම රෝජාගෙ පුරුද්දය. කළුම කළු කෙල්ලක් රතුපාට ඇන්දම කෝමද? දෙමළ කෙල්ලක් වගේ. ඒ අපේ රටේ හැටිය. ඒ වුණත් රෝජා රතුපාටට කැමතිය. රතුපාට රෝජාට හැඩය. ලස්සනය. ඒක මාරය.
අදද මම මහරගම පහුකරමින් යමි. පැය දෙක තුන මහරම ට්‍රැෆික් එකේ ඉද්දී මට මගේ පුංචි කාලය මතකයට එයි. අදද අවුරුද්දකට එකම වතාවක් ඇඳුමක් ගන්න බලා සිටින පොඩි එවුන් කී දෙනෙක් නම් මහරගම පමුණුවේ ඇත්ද? ළමයින්ට අරන් දී සතුටුවන අම්මලා තාත්තලා කොතෙක් නම් ඇත්ද? . පිස්සුද දැන් කොහෙද එහෙම අය ඔබට සිතෙන්නට පුළුවන නමුදු ඔබ වැරදිය අදද එසේ දරුවන් සිටී දෙමාපියන්ද සිටී මම මගේ දෑසින් දකිමි. ඔවුන් ඒ විඳින විඳවන දෙයට මම කැමතිය. මන්ද ඔවුන් හෙට ඒ තුළින් මා මෙන් පන්නරයක් ලබනු ඇතැයි මම විස්වාස කරමි.... එදා මම විඳී ඒ බලාපොරොත්තුවේ වේදනාව අදද මට ඉවසීම කියා දී ඇත. ඒ තුළින් පන්නරයක් ලබා දී අැත. ලද දෙයින් සතුටක් ලබන්නට පුරුදු වී ඇත. මහරගම පමුණුව අද, අතීතය සිතුවමක් සේ මවා දෙමින් සිනාසෙමින් මා දෙස බලා අත වනමින් සිටී...
රෝජා🌷
hmmm
ReplyDeleteහ්ම්ම් ❤️
Deleteසමහර තැන් වල තාම ඇස් නවතිනවා.
ReplyDeleteඅතීතයට දුවනවා
අතීතය මොන තරම් සුන්දරයි ද?
Deleteඉස්සර නම් නිකම්ම නිකම් පමුණුව. ඊළඟට පාංකඩ පමුණුව වුණා. ඊටත් පස්සේ එකතු වුණු 'රෙදි කඩ' කෑල්ලත් දැන් හැලිලා. එත් මං තවම පමුණුවේ!
ReplyDeleteඔයාගේ පෝස්ටුව කියවපුවාම 'නිදිගෙ පංච තන්තරේ'ට පමුණුවා ගැන ලියන්න ඉන්න ලිපිය ඉක්මන් වෙන්න හිතුණා!
ස්තුතියි!
ලියන්න ලියන්න ඉක්මනින් අපිත් කැමතියි ඒ අතීතය දැන ගන්න. මම දන්න කාලෙ ඉදලම පමුණුව රෙදි කඩ තිබුණා.
Delete