Sunday, March 3, 2019

බැරිවැඩ නොකරන් අඹරෝ...

ඒ කාලෙ ඔහොම කතාවක් කිව්වෙ කට කහනවට නෙවේ කියලා රෝජට හරියටම තේරුනේ ඊයේ තමයි. ඉස්කෝලෙ යන කලෙ රෝජට තිබුණ පුදුම අාසාවක් ඒ කවදහරි සභාවක් මෙහෙයවන්න ඕන කියන එක.  ⁣ඒ කාලේ රෝජා මාර ලැජ්ජයි. බයයි ඒ වුණාට හිනාවෙච්ච ගමන්මයි කවුරු මොනා කිව්වත් හිනා වෙනව ඇර දෙයක් රෝජ කරන්නෙ නෑ.

ඉතිං එහෙම එකෙකුට පුළුවන් ද ස්ටේජ් එකට නැගලා සභාවක් මෙහෙයවන්න. 😂 කවුරුත් වගේ රෝජත් හිතුවෙ එහෙම. ඔයාල දන්නවද ඒ වගේම රෝජට තිබුණ තවත් ආසාවක් රඟපාන්න සිංදුකියන්න නටන්න.. ඔය එකකටවත් අවස්ථාවක් ලැබුණ් නෑ. පළවෙනියටම ඉස්සරහට ආවෙ රෝජගෙ හමේ පාට. ලස්සන ළමයි තමයි ඉස්සරහට පේන්න ඉන්න ඕනෑ. ලස්සනට නැටුවට වැඩක්නෑ අනේ ඊට හොඳයි ඕව එකක්වත් නොකර පාඩුවෙ ඉන්නවා. එහෙමයි රෝජා හිතුවෙ. ඒක සමහරවිට රෝජගෙ හීනමානය වෙන්නත් පුළුවන්.

කාලයත් ගෙවුනා කියන්නකෝ රෝජ දවසක් ඒ ආශාව ඉෂ්ඨ කරගත්තේ පොතක් ජනගත කරන අවස්ථාවක. පපුව ඩිග් ඩිග් ගාල ගැහුණා. මොකද සමහර වචන රෝජට ශබ්ද වෙන්නෙ වැරදියට. අනෙක මීට කලින් එහෙම දෙයක් කරලම නෑ. ඒත් ස්ටේජ් එකට නැග්ගම රෝජට ඉන්න තැන අමතක වෙනවා. මයික් නැතත් කට්ටියකට ඇහෙන්න කතා කරන්න පුළුවන් මේක දැන ගත්තෙ දහම් පාසලේ නාට්ටියක් රගපාන්න ගිහින් ඒකෙ තත්පර ගාණක පුංචි චරිතයක් රෝජට ලැබුණා. හැබැයි මුළු නාට්ටියෙම ඒ තත්පර ගාණ ගැන හැමෝම කතා කරන තැනට ගේන්න රෝජට පුළුවන් වුණා. ඕන්න ඔය මතකය තමයි රෝජට හයියක් වුණේ. කෝමින් කෝමින් හරි එදා වැඩේ ලස්සනට කළා කියලා හැමෝම ප්‍රසංසා කළා.

ඒ වුණාට රෝජ දන්නවා නිවේදන වෘත්තියට එයා එච්චර දක්ෂ නෑ කියලා. අද වෙන කොට උත්සව කීපයක්ම මෙහෙයවන අවස්ථාව වගේම වෙබ් රේඩියෝවක වැඩසටහන් හසුරවන්න අවස්ථාව ලැබිල තියනවා. රෝජගෙ හීනෙ හැබෑ වුණේ එහෙමයි. හීනය සැබෑ වුණද කිසියම් හිස්තැනක් ඇතිබව රෝජගෙ හැඟීමයි.

මේ සේරම මතක් වුණේ ඊයෙ හිරු ස්ටාර් අවසාන ෆයිනල් එක බලන්න ගිහින් දෙයියනේ.  ඕක මට මුලින්ම එපා වුණේ උද්ධික⁣ගෙ නිවේදන කටයුත්ත නිසා. ඒ තරම් දක්ෂ නළුවෙක් හඬ පෞර්ෂවයක් අර විදියට පීචන් වෙනව දකිද්දි කාටද දරාගන්න පුළුවන් දෙයියනේ. රෝජා ආසම නළුව ⁣ඒ විදියට රොජටත් නොතේරෙන එයාටත් නොතේරෙන දේවල් කියද්දි රෝජට හිතුණා දැන් ඔය මදැයි ඔයා ගෙදර යන්න කියලා මුලින්ම එයාව රනවුට් කරන්න.

කිරුළ කවුරු දිනාගත්තත් උද්ධික මේ රියැලටි තරගයෙන් පරාදයි. මෙය උද්ධික තේරුම් නොගත හොත් ඉදිරියට ඔහුගේ චරිතයට ඔහු විසින්ම පහර දී ගත්තා යැයි රෝජාට සිතෙනු ඇත. ඉතිං ආදරණීය උද්ධික දැන් ඉතිං ඔබ ඔබේ වෘත්තියට පිවිසෙන්න. ඊළඟ හිරු ස්ටාර් තරගයෙදී උද්ධික නැවත වරක් පරාදවෙනු දකින්නට නොලැබේවා යන්න රෝජාගේ ඒකායන පාර්ථනයයි

1 comment:

  1. උද්ධික ප්රේමරත්න ගායකයෙක් විදියට දුෂ්කර ගමනක් ඇවිත්, නළුවෙක් විදියට දක්ශතාවය පෙන්නලා, හිරු එකේ නිවේදක වෙස් අරන් ඉල්ලගෙන කෑවා කියලයි මටත් හිතන්නෙ. ඒ ගායකයා මා නොවන මම වැඩසටහන ලස්සන කරපු හැටි තාම මතකයි.

    ReplyDelete