Tuesday, March 12, 2019

හර්දසාක්ෂිය

අම්මා කෙනෙකු දරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු බලා ගැනීමට විදින දුක මෙතකැයි කියා කිව නොහැක. බොහෝ අම්මාවරු දරුවා පෙරපාසලට හෝ පාසලට දමා පැය දෙක තුනක් නිදහසේ සිටීමට බලා සිටී. එය නැහැයි කියා කියන්නට හැකි අම්මාවරු සිටීනම් ඒ අතලොස්සක් පමණි. දරුවාට මාසයක් නිවාඩු දුන්නාම හපොයි මාසයක් කියා ඉහට අත ගහ ගන්න දෙමව්පියෝ අද සමාජයේ කොතෙක් නම් ඇතිද? ඔබ තට්ටු කර ගත යුත්තේ ඔබේ හර්දසාක්ෂියටය. ඔබ කෙසේද යන්න ඔබ විමසිය යුත්තේ ඔබෙන්ය. ඔබ ඔබට පිළිතුරු දෙන විට වංක නොවන මුත් අවංක වීමට අකමැතිය. හිත කුමක් කීවත් පිළිතුර අනෙකක් විය යුතුය.

ඔබ නිකමට සිතුවාද ඔබ එක දරුවෙක් වෙනුවෙන් යොදවන කාලය ගුරුවරයෙක් ළමයි තිහක් හතලිහක් වෙනුවෙන් කැප කරන බව. ඔහු හෝ ඇය තනිව දරු දැරියන් පිරිසක් පැය ගණනක් බලා ගන්නා බව. ඔබේ රාජකාරියෙන් කොටසක් ඔවුන් ඉටු කරන බව.

"ඒවට තමයි පඩි ගෙවන්නේ"

ඔබ සතුව එවන් පිළිතුරක් ඇති බව මම දනිමි. ඔවුන් වේතන ලබන්නෙ ඉගැන්වීමට මිස දරුවන් බලා ගැනීමට නොවේ නමුත් ඒ කාල සීමාව තුළ යම් අකරතැබ්බයක් වුවහොත් ඔහොමද ළමයි බලා ගත්තේ යැයි නැවත ඔබේ ඇඟිල්ල ඇය හෝ ඔහු දෙසට එල්ලවනු ඇත.

පවුලේ එකම දරුවා බලා ගැනීමට නොහැකිව පුංචි දේටත් පහරපිට පහර දෙන අම්මලා තාත්තලා මම අනන්තවත් දැක ඇත්තෙමි. එවන් දෙමව්පියන් ගුරුවරු හෝ වෙනත් වැඩිහිටියකු තම දරුවාට තරවටු කරනවාට අකමැතිය. ඒ මන්ද?  එතුල ගැබ්ව ඇති අපේය මගේය යන සිතුවිල්ල නිසාමය. ගුරුවරු යනුද මනුස්යෝම නොවේද?. නමුත් ඔවුන් ඔබට මට වඩා ඉවසීම ප්‍රගුණ කළ ඇත්තෝ වීම පුදුම සහගතය.

මම පංතිභාර ගුරුතුමියගෙන් ගුටි කෑවේ බාලාංශ පංතියේ සිටියදි මහ වැස්සේ තෙමි තෙමි බෝට්ටු යවන්නට ගොස්ය. එදා සිට අද වෙනතුරු ගුරුවරයෙකුගෙන් ගුටිකා නැතත් අපේ පංතියේ නසරානි කොල්ලන් ගුටි කා අත ගස ගස එනු බලා හිද ඇත. එවකට අපේ පාසලේ සිටි විදුහල්පතිතුමා වේවැල සගවාගන පාසල පුරාම ඇවිදින්නේ දෙතුන් දෙනෙකුට කසාය දෙන ගමන්ය. තනිකර සුදු අදින ඔහු පාසල් ළමුන්ගෙන් වෙන්කර හදුන ගැනීම ඉතා අපහසුය. ළඟට පැමිණෙනතුරු හඳුනාගත නොහැකි බැවින් සැඟවීමට කාලයක් නැතිය. එනිසාම අපේ පාසලේ විනය තිතට තිබුණේය. දඩබ්බර වැඩක් නොකල බාලකාලයෙන් පලක් නැත. ඒවා කළද නොහික්මුණ සේ දඩුවම් කළේ නැත.  ඔහුට හෝ ඇය⁣ට කිසිදා අමතක නොවන සේ දඩුවම් කළේය. එකම වරද දෙවරක් නොකරන්න ළමුන් පෙලඹුනේ එබැවිනි.

රජයේ අඩුම අදායම් ලබන වෘත්තිකයන් සිටින්නේ ගුරු වෘත්තිය තුළ වුවද ඔවුන්ගේ සේවයේ අඩුවක් ඇත්තේම නැත. මේ අතර අප සිතා බැලිය යුතු තවත් යමක් ඇත එදා ඉතා ගෞරවයෙන් සැලකූ ගුරුවෘත්තිකයන් මෙදා මේ තරම් පහළට වැටුණේ කෙසේද? තම වෘත්තියේ ගෞරවය කෙලසා ගැනීම ඔවුන්ගේම වරදකි. අද ෆේස්බුක් හී ඇතැම් ගුරුවරු හැසිරෙන ආකාරය දුටු විට ගෞරව කරන්නට තබා ඒ පැත්ත බලන්නවත් සිතෙන්නේ නැත. දරුවන්ට දඩුවම් දීම යනු සිතේ තරහ පිරිමහ ගැනීමකට පත්ව තිබීම එක්තරා ඛේදවාචකයකි.

අද ගුරුවරුන් බහුතරකට නොමැති එකමදේ ඉවසීමය. ගෙදර ප්‍රශ්ණ ගෙදර නොතියා පාසලට ගෙන යාමය. ගුරුවරු ගුරුවරියන් අතර සම්මත/අසම්මත ප්‍රේම සබඳතා දරුවන් ඉදිරියේ රඟ දැක්වීමය. ඇතැම් දරුවන් මේවා රසකර කියනු අසා සිටින්නට ලැබෙන්නේ ගමනාගමනයේදීය. ඔවුන්ට වටක් පිටක් ගාණක් නැත. ඔහේ කියවන්නේය. අවට සිටින අපට අපේ පාසල් කාලය මැවී පෙනෙන්නෙ එවිටය.

අද ගුරුවරු පාරට බැස තිබෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසාය. ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය එ්කපාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය.


රෝජා🌷


6 comments:

  1. ගුරුවරු හරියට නැත්නම් දරුවන්ට ගුරු සංහතියම එපා වෙනවා.

    අත්දැකීම් එමටයි.
    බ්ලොග් එකෙත් කතා ඇති.

    එකක් මතක් වුනා. වෙලාවක ලියන්නම්.

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත මටත් තියනව අමිහිරිම අත්දැකීමක් ඒ ගැන

    ReplyDelete
    Replies
    1. ලියන්න. හැකිනම් මෙතැනම කොමෙන්ටුවක් ලෙස ලියන්න

      Delete
    2. ආහ් මම වෙනම ලිව්වා ඒක බලන්න

      Delete
  3. අද්යාපන සහතිකය විතරක් සලකලා ගුරු පත්වීම් දීම ඉන්තේරුවෙන්ම වැරදියි. ගුරුවරයෙක් වීමට යමක් යමෙකුට හොඳින් සන්නිවේනය කිරීමේ හැකියාව ඕනෑමයි. අද ඉන්න සමහර මහාචාර්යවරුන්ටවත් ඒ හැකියාව නැහැනේ. ඉතින් කොහෙද.......?

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. වෘත්තිය අගය පහළ දාගන තියෙන්නෙ ගුරුවරුම තමයි.

      Delete