Wednesday, May 22, 2019

138

මළ දාක තනිකමට දවසක් හරී..
ඇවිදිල්ල තනි රැක්කොතින් මට ඇතී...😭😭😭


කාලයකට පස්සෙ බස් එකකට ගොඩ වුණේ සුරංග නාලකට ඉතා ප්‍රිය වූ ගීත සමුචයක් අසන්නට ලැබේවිදෝ යැයි අහිංසක බපාපොරොත්තුවකින් වුවද සිදු වූයේ  කොන්දොස්තර මහතා පසුබිම් සංගීතයකින් තොරව ගායනා කළ එකම ගීතයට සවන් දෙමින් ගමනාන්තය දක්වා ගමන් කිරීමටය... එකම ගීතය නිතර ඇසීමෙන් ලද චිත්තප්‍රිතිය නිසාවෙන් ඇස් පියාගත් සැනින් නුගේගොඩ නගරයද පසුවී තිබීමම මට ඉමහත් සතුටට කාරණයක් විය.

නුගේගොඩ පසුවෙද්දී අවදි වූවා නොව ගැස්සී අවදි කර වූයේ කොන්දොස්තර මහතාගේ සහ නැගනියකගේ කණට මිහිරි වදන්  කිහිපයක සුන්දරත්වය වේග රිද්මයෙන් ඇසුන නිසාවෙනි... ඇයගේ මුහුණ පුපුරන්න ඔන්න මෙන්න ස්භාවක් ඇතිබව මා දුටුවේ මා ළඟින් වාඩි වූ මොහොතේ සිටය.. එනමුදු ඒ දෙදෙනා ඇවිලීමට හේතුව මා නොදන්නේ සිහිනයක් දකින්න ඔන්න මෙන්න සිටි නිසාවෙන් විය යුතුය..

කෙසේ වෙතත් කොන්දොස්තර මහතා කිසිම වැඩිහිටියෙකුට සිටගෙන ඉන්නට ඉඩක් නොදුන් අතර ගෑන් ළමයින් සීට්වලින් නැගිට්ටුවේද නැත. ⁣ඒ අවස්ථාව නිතරම පිරිමි ළමයෙකුට පුදන්නට තරම් සද්භාවයෙන් කටයුතු කළේ වෙසක් සතිය නිසාවෙන් පිං ලබා ගන්නට  අවස්ථාවක් උදා කරමින් විය යුතුය...

138 නම් කොහොමත් අවුලක් නැත.. හිත වද දෙන්නේම 128 ගැනය...😔 කොපමණ සෙනග හිටියත් 138 මට කිසිදාක අකාරුණික වී නොමැති බව දන්නෝ දනිති... 😂

හිතේ දුකටත් එක්ක නෙස්කෆේ එකක් එක්ක මාළුපාන් (එහෙම කිව්වට ඒකෙ මාළු නෑ හොඳේ) ගෙඩියක් කාලා සැනසුම් සුසුමක් හෙළන ගමන් 128 බසයක් සොයා යන්න වූයෙමි.... හම්බෝ ඉතිං මගේ වාසනාවක මහත බස් එකක් නොව දෙකකි... ලංගමයා ළඟින්ම ප්‍රයිවට් එකකුත් සහජීවනයෙන් අතිනත් පටලා නොගෙන.. දික්කසාදයට සූදානම් වන විවාහක යුවලක් සේ එකිනෙකාට පුප්පමින් ගස්සමින් වුණ්නේය... මා ළඟට යනවාත් සමඟම ලංගමයා ගස්සගෙන යන්නට ගියේ අහළ පහළ අපටද පුස්පාට් එකක් දාගෙන දුම් කෝච්චියක් පාරට අතාරිමිනි.

අතේ කනේ කරේ කටේ එල්ලගන තනිකකුලෙන් යන්න හිටි ගමන ඉතා සැහැල්ලුවෙන් යා හැකි චිත්තප්‍රිතියෙන් යුතුව බසයට නැගී අයිනක් අල්ලා සිට ගත්තේ තව පැය කාලක්වත් එතැන ඉන්නට බලාපොරොත්තුවෙනි... ඉස්කෝලෙ ගිය කෙල්ලො කොල්ලෝ දෙතුන් දෙනා බසයට ගොඩවූනේ ඔය විනිවිද පේන ටියුලිප් බෑග් මල්ලක් කරේ දාගෙන නෙමෙයි හැබැයි... එවුන්ගේ කාලෙට එවුන්ගේ තාලෙටය...එවුන්ට ගැලපෙන ආකාරයට තමයි ඉතිං. ළඟම සිටියේ පාසල් පෙම්වතුන් යුවලක් ... ඒ කාලෙ අපි ලොකු අයියලා කියා සිතන්නට ඇත්තේ මේ ⁣වගේම ඇටිකිච්චන් කොල්ලන්ට බව ඒ මොහොතේ මගේ සිහියට ආවේ කොහොමද දන්නෑ ඒ එක්කම අතීතය මතක් වී හිනාවක් ගිය එක නවත්තගන්න  බැරි වුණා ඉතිං... තනියම හිනාවෙන්නේ පිස්සු ද කියා කවුරුත් ඇහුවෙ නැති වුණාට වට පිට බැලුනේ ඉබේටමය....

ළඟ හිටියේ කොල්ලෙකි. සුදුත් නැත කළුත් නැත. ඊට අතරමැදි නමක් නැති පාටක් නිසා කොල්ලා හැන්ඩියෙකි. රැවුල් කට්එකට නම් සුපිරිය. සූටියට ස්ක්‍රින් ෂොට් එකක් ගහගෙන මම අහක බලා ගත්තට මොකද එයා හැරි හැරී මා දිහාම බැලුවේ මම තනියම හිනාවෙන එක දැකලද නැත්නම් එයාට හිනාවෙන්නට හිතිලද කියල හිත හිතා එන අතර ඒ බැල්ම එන්න එන්නම වැඩි වීම හේතුවෙන් මම කෙළින් නොබලා හොරෙන් බලන්නට තීරණය කර ඉදිරිය බලා ගතිමි....  බස් එකෙන් බහින තැනටත් කිට්ටු වීම නිසාවෙන් දොර ළඟටම ආ විට පාසල් පෙම්වතිය මා ළඟය.

එයාගේ බැල්ම මෙයා කවුද ? මෙයා මොකද මෙහෙ වගේ වූයෙන්.. "බය වෙන්න එපා ඉතිං මම ඕක ඔයාලගෙ ගෙදරට කියන්න යන්නෑ..." කියා මම මටම කියා ගන්න ගමන් බස් එකෙන් බැස්සෙමි. ටික දුරක් යද්දී මා දිහා හැරි හැරි බලපුවම ය⁣කඩෝ කෙල්ල විතරක් නෙවෙයි කොල්ලත් බස්එකෙන් බැහැලා මා පසුපසය....

ඔයා මේ මෙහෙ මම කවදාවත් දැකලා නෑනේ...

ඔව් ඉතිං දකින්න විදියක් නෑනේ... මම හිටියත් නෑ වගේනෙ ගෙදර ඉන්නේ අනෙක ඉතිං මෙහාට අලුත් නේ....

එයා එහෙම ඇහුවෙත් නෑ මම කිව්වෙත් නෑ... බැල්මෙ තිබ්බ කුතුහලය නිසා හිතුණා ඉතිං...

ඔන්න ඉතිං එක රිංග් එකක්වත් නොගිය කෝල් එකකට ආන්සර් කරපු එයා... මේ පාරෙ ග්‍රවුන්ඩ් එක ළඟ ඉන්නෙ කියලා කතා කරපු යාළුවට කිව්වා....

(හරි ෆ්‍රෙන් දැනුවත් වුණා... ඔයා වැඩිපුර හිංදි ෆිල්ම් ටැමිල් ෆිල්ම් බලන්න එපා ඒ වුණාට හොඳේ.... 😂)


එයැයිගෙ ගෙවල් දැන ගන්න ඉතිං මේ පාරෙ ග්‍රවුන්ඩ් එක තියෙන තැන දැනගන්ට එපැයි... ඒ කොහොම වුණත් මම මෙතැනින් හැරෙනවා ඔයා ගේ දැන ගත්තා කියලා ගෙදර එන්නනම් හිතන්ට වත් එපා හොඳේ😂 අනතුරු අඟවන එක කෝකටත් හොඳානේ...නැද්ද මම අහන්නේ....


මම මේ කල්පනා කලේ මේවගේ රස කතාවක් එක්ක හැමදාම බස් එකේම ගියානම් ඉවරයි කියලා...මේ ස්⁣ටාෆ් වෑන් එක පැත්තකටම දාලා... කෝමත් ඒක අතවශ්‍යම දවස්වල එන්නෑනේ...😂

රෝජා

Sunday, April 21, 2019

පිපාසිත මිනිස්සු

අපි හිනාවක් උරුම නැති රටක මිනිස්සු

උඹ හොඳින්ද ? අහන හැමෝටම කියන්න තියෙන්නෙ මම හොඳින් ඒත් ඇත්තටම මම හොඳින් නෙවෙයි කියලා. මිනිස්සු මේ තරම් ලේ පිපාසයකින් පෙලෙන්නෙ ඇයි. පුංචි කාලෙ ඉදන් අද මේ වෙනකම් රටක් බෙදාගන්න කුලල් කා ගන්න එකයි.. ඒ ලේ විල පාලනය කරන්න කුලල් කා ගන්න එකයි දැක්කේ... ⁣මොන තරම් දේවල් දැක්කද මොනතරම් බයේ ගැහි ගැහි හිටියද?

පුංචිම කාලෙ තාත්තා ලොරියෙ වැඩට ගියාම බෝම්බයක් පිපිරුණා කිව්වම බයේ ගැහි ගැහි බලා හිටියා. සමහර දවස්වල තාත්තා දුරින් ඉන්නැද්දි බෝම්බය පුපුරා ගිය හැටිත් ගිනි දළු නැඟුන හැටිත් කියන හැටි රස කතාවක් වගේ කට ඇරගෙන කම්මුලේ අත් දෙක ගහගෙන අහගෙන හිටියා.  ඒ අපේ නොතේරුම් කමට.

ඒ වගේම ගෙදර ඉන්නත් බයේ හිටිය කාලයක් තිබුණා. කුප්පිලාම්පු පත්තු කරන්න එපා කිව්වම එළියක් නැති වුණාම බයේ කෑ ගහන මම වෙනුවෙන් බාල්දියක් ඇතුලෙ කුප්පිලාම්පුව පත්තු කරලා තියලා මට නින්ද යනකම් බලා ඉන්න අම්මටයි තාත්තාටයි සිද්ධ වුණා ලාම්පුව නිවන්න...

ඇයි ඒකට එච්චර බය කියලා නොදන්නව වුණත් අපි බයේ මුළු ගැන්විලා හිටියා.. ඒ අතීතය අමතක කරන්න ලේසි නෑ..

නුගේගොඩ නෝ ලිමිට් බෝම්බය ඔන්න මෙන්න තියෙද්දි එතැනට කිට්ටු කරලා හිටපු අපි නෝ ලිමිට් එක පිච්චෙන හැටි බල බලා ගෙදර එන්න සිද්ධ වුණා.

අද අායෙමත් ... ඇයි මිනිස්සු  ලේ හලන්න මෙච්චර කැමති. ජීවත් වෙන පුංචි කාලයට රටක් බෙදාගන්න ඉඩමක් බෙදාගන්න බලය බෙදාගන්න ලේ හලන්න ඕනිමද?

ජාති ආගම් බේදයකින් තොරව මිනිස්සු මිනිස්සුන්ව මරණ්න සූදානම්.. නැතිවීමක් ශෝකාන්තයක් මිස අන් යමක් එතැන තියනවද?

ඒ වුණත් අපි ඇඟිල්ලක් කැපුනත් මර හඬින් කෑ ගහන මිනිස්සු. අනුන්ට හැර තමන්⁣ට වුණොත් වඩාත් දැනෙන මිනිස්සු

Wednesday, April 17, 2019

නිදිමතනම් නිදාගන්න

නිදිමත නම් නිදාගන්න

මේ අවුරුදු නැකතට කොහා හඬන හඬට වඩා ඇහුනේ කඳුළු කඩා වැටෙන ඉකිබිඳුම් හඬ. අවුරුද්ද සරුද අහන හැමෝටම මූනිච්චාවට හිනාවෙනවා ඇරෙන්න හිත පිරෙන්න හිනාවෙන අවුරුද්දක් දැන් තියනවද කියන එක ප්‍රශ්ණයක්.

අවුරුදු ඒ නිසා නෑගම් යන්න ඕනා.. නෑ ගම් ගියාම ඒ ගෙදරින් දෙන අඩියක් හෙම ගහලා මහ රෑ වෙනකම් පාටි දාලා ගෙදර එන්න පිටත් වෙද්දි තමයි අපි කාටත් හදිස්සිය. මහ පාන්දර නිසා පාරෙ මොකෙක්වත් නෑ කඩාගන යන්න පුළුවන්. කියලා පැයට හැතැප්මෙක වේගෙන් වාහනය ඩ්‍රයිව් කරන් යද්දි නිදිමත එන්නෙ අපිටත් නොදැනීමයි.

වෙනදට හැටට කැරකෙන මීටරය සීයට කැරකෙවෙන්නෙ පාර හිස් කියලා දැනුණාමද හදිස්සිය වැඩි නිසා ඉගිලෙන්න හිතාගෙනද කියලා දෙයියොවත් දන්නෑ.. හැබැයි වැඩේ වැරදිලා අනතුරක් වුණාම තමයි අපිට දෙයියො මතක් වෙන්නේ....

වාහනයක් අත⁣ට ගත්තාම නිදිමත එනවනම් කරුණාකරල නිදා ගන්න. නැතිනම් නිදිමත නැති කෙනෙකුට වාහනය දීලා පැත්තකට යන්න. මොකද ඔයාට නින්ද ගියොත් අනතුරක් වෙන්නෙ ඔයාට විතරක්ම නෙවෙයි.. තවත් කිහිප දෙනෙකුගෙම ජීවිත ඒ අනතුර මත තීරණය වෙනවා.

නිදිමත නම් නිදාගන්න... හදිස්සියට වඩා පරිස්සම වැදගත්

Tuesday, April 9, 2019

මුං කැවුම් සහ අවුරුදු

"මැණිකෙ මුං කැවුම් ටිකක්වත් ගෙදර හදමුද?"

අද උදේම අම්ම මගෙන් අහපු ප්‍රශ්ණය තමයි ඔය. ඉතිං මට හිතුණා අවුරුදු ගැන ලියන්න. රෝජා පුංචි කාලෙනම් මුං කැවුම් හදනවා කියන්නෙ පට්ට ගේමක්. මුං ඇට ටික ගරලා සෝදලා බැදලා වතුරට දාලා තියනවා පැය ගාණක්  පෙගෙන්න. ඕන්න ඉතිං ඊට පස්සෙ තමයි යුද්ධෙ. මේ මුං ඇට ටික වනේ ඒ කිව්වෙ වංගෙඩියෙ දාලා කොටන්න ඕනා.  කොටනවා කොටනවා පුළුවන් තරම් ශක්තිය යොදලා කෙටුවත් හම්වගේ තමයි. රෝජා ඉතිං එ⁣තකො⁣ට පුංචි බබෙක් නිසා හරිම ආසයි පිටි කොටන්න. ඒ වුණාට අපිට බෑ කියලා අත්තම්මා දෙන්නෙ නෑ. ඔය විදියට පැයක් හමාරක් කෙටුවට පස්සෙ තමයි මුං ඇට පිටි කරලා හලා ගන්න පුළුවන්. හොඳට රත්වුණාම තමයි මුං ඇට පිටි වෙන මට්ටමට කෙටෙන්නේ. ඒ මුං පිටි දාලා හදන කැවුම්වල රස මට අදටත් දැනෙනවා දැනෙනවා වගේ.

ඒ වුණාට දැන් තාක්ෂණය දියුණුයි. මිනිස්සු අතපය හොල්ලන්න කම්මැලියි. මුං ඇට පිටි කර ගන්න එක විනාඩි දහයක් යන්නෑ. හරිම පහසුයි. ඒ වුණත් ඒකටත් මොකට මහන්සි වෙනවද ? ඒව දැන් පහසුවෙන් කඩෙන් ගන්න පුළුවන්. ලේසියි පහසුයි. ඒ කෑම හදන්න දන්න අයත් අඩුයි.

පුංචි කාලේ අත්තම්ම එක්ක හිටිය නිසාදෝ රෝජට නම් ඕවා ටික ටික හුරුයි. ඒ වුණත් මේ අවුරුද්දෙ කඩෙන් ගමු කියලා හිටියට අපේ අම්මට එහෙම බෑ ගෙදර මොනා හරි හදන්නම ඕනා. පටන් ගන්නෙ මුං කැවුම් වලින් වුණාට මම දන්නවා තව ජාති දෙක තුනක්වත් හදලා තමයි ඉතිං නතර වෙන්නේ. නැත්නම් අවුරුද්ද දැනෙන්නෑ. අපේ අත්තම්මල ගෙදර කෑම ජාති හදපු හැටියට අපි කරන්නෑ. ඒත් ඒ චාරිත්‍ර නොකරත් බෑ. නොකලොත් හිතට හරිත් නෑ.

අපි රැඩිකල් මොනාද මේ විකාර.  අවුරුදු, තෙල් කෑම ජීවිතේට ඇඳුම් අරන් නැද්ද එකපාරක් විතරක් ඕක ගන්න ඕනැද. මොනාද මේ චාරිත්‍ර මළ සමයං ඔව්ව මොඩිෆයි වෙන්න ඕනා තාම හනමිටි කාලෙනෙ කියලා කටින් කිව්වට. හිතින් අපි අවුරුද්ද එක්ක බැඳිලා. ඒක හරිම සුන්දරයි. ඔව් ම⁣ට තාමත් සිංහල අලුත් අවුරුද්ද සුන්දරයි. එදා පුංචි කාලෙ වගේම අදත් අවුරුදු එනකම් මම බලා ඉන්නවා. මට ලැබෙන තෑග්ග මොකක්ද බලන්න... ගෙදර සේරමල එක්ක ඇවිදින්න යන්න. නෑ ගම් යන්න. ඒත් කොහා අතරමං වෙලා මේ අවුරුද්දෙනම් වෙළද සැල්වලිනුත් කොහාට කුඩම්මගෙ සැලකිලි. කිසිම කොහෙක් කෑ ගහනව ඇහුනෙ නෑ.. අපි අවුරුදු සමරනවා කොහාට වුන් හිටි තැන් නැතිවෙලාද? ඇත්තටම මේ කොහා කෝ...

රෝජා🌷

Sunday, April 7, 2019

පමුණුව

අද රෝජගෙ ඇහිපිල්ලම් තෙමුනේ ⁣අතීතය ඇස් ඉස්සරහ මවන්න පුළුවන් මුහුණුපොත් පලවූ සටහනක් නිසා. එනම්

උපුටනය:

"මහරගම පසුකරන්නට ‍‍‍‍‍‍පැය දෙකක් ගතවෙන බවට මැසිවිලි නැගේ.. එමෙන්ම කිරිබත්ගොඩ පසුකරන්නට පැයකට ආසන්න කාලයක් මේ දිනවල ගතවේ...!

කිසිදු වට්ටමක් නැතත් (ක්‍රෙඩිට් කාඩ් වට්ටම් ඇර) මිනිසුන් පොදිකමින් ඇදුම් විතරක් ම ගන්නේ ඇයි..?"

උපුටා ගැනීම මනෝරම වීරසිංහයන්ගේ facebook පිටුවෙනි.

සීසන් එකට මහරගම ඇයි ⁣මෙච්චර සෙනග මේ මිනිස්සු ඇඳුම් ගන්න මෙච්චර පොරකන්නෙ ඇයි. ඇත්තටම මහරගම එන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ්වලින් ඇඳුම් පැලදුම් ගන්නා මිනිසුන් ද? ලාබ නැතත් සේල් බෝඩ් එල්ලෙන්නෙ මහරගම විතරයි ද?

හැම තැනම සේල් බෝඩ් එල්ලුනද මිනිස්සු පොරකකා මහරගම එන්නේ පුරුද්දට වඩා මළ නොකෑ ඇඳුම් අඩුමිලට ගන්න යැයි නොදන්නා අය කොපමණ ඇත්ද? ලොකු ලොකු නම් ඇති කඩ සාප්පුවල සේල් යැයි එල්ලා ඇත්තේ විකුණා ගත නොහැකි පැරණි ඇඳුම් ආයිත්තම්වල වුවාට එහි එතරම්ම මිළ අඩුවක් නැත. සේල් වුවද රු.500/=ට වැඩිය. නැතිනම් කුණුම කුණු පාටය. මහරගම එසේ නැත.  මහරගම පමුණුව දුප්පත් මිනිසාට අවුරුදු දෙන ගමන් අවුරුදු මිලට ගන්නේද තවත් එවැනිම දුප්පතෙක් නොවන්නේද? දුප්පතෙක් නොවුනද ඔහු හෝ ඇය මධ්‍යම පාන්තිකයෙක් බවනම් කවුරු කවුරුත් පිළිගන්නවාට සැක නැත.

කතාව නම් එය නොවේය. රෝජාගෙ පුංචි කාලයයි. කටුමැටි ගෙදරක ජීවත් වූ රෝජාටද ඇඳුමක් ලැබුණේ වසරකටම එකම එක දවසකි එනම් අවුරුදු දවසටය. එයටද පමුණුව කරා ඇඳී යන්නේ ලාබෙට පොඩි ගවුමක් මිල දී ගන්නට වාගේම අතේ ඇති මුදලට සියල්ලන්ටම නැතත් ආත්තම්මාට සහ සීයාටද සරමක් චීත්තයක් මිලදී ගත යුතුම නිසාවෙනි. අයියාටත් මටත් ආත්තම්මාටත් සීයාටත් ඇඳුම් ලැබුණද අම්මාටයි තාත්තාටයි ඇඳුම් මිලදී ගත්තේ කී වතාවක් දැයි මම නොදන්නෙමි. එවකට එපමණක් තේරුම් ගන්නට තරම් මට දැනීමක් නොතිබුණි.

පමුණුවට යෑමේ අරමුණ මම දනිමි. අනෙක් අයට මෙන් ඇඳුම් ගොඩක් නැති එක ඒ කාලයෙද මට නොදැනුනි. මට ලැබුණ එකම ගවුම ලෝකයක් තරම් වටිනවා යැයි සිතා ආඩම්බරයෙන් ඇවිද්දෙමි. රෝජා රතුපාටටත් සුදුපාටටත් බොහෝ සෙයින් මනාපය. එ නිසාම රතු සහ සුදු ඇඳුම් පමණක් තෝරා ගෑනීම රෝජාගෙ පුරුද්දය. කළුම කළු කෙල්ලක් රතුපාට ඇන්දම කෝමද? දෙමළ කෙල්ලක් වගේ. ඒ අපේ රටේ හැටිය. ඒ වුණත් රෝජා රතුපාටට කැමතිය. රතුපාට රෝජාට හැඩය. ලස්සනය. ඒක මාරය.

අදද මම මහරගම පහුකරමින් යමි. පැය දෙක තුන මහරම ට්‍රැෆික් එකේ ඉද්දී මට මගේ පුංචි කාලය මතකයට එයි. අදද අවුරුද්දකට එකම වතාවක් ඇඳුමක් ගන්න ⁣බලා සිටින පොඩි එවුන් කී දෙනෙක් නම් මහරගම පමුණුවේ ඇත්ද? ළමයින්ට අරන් දී සතුටුවන අම්මලා තාත්තලා කොතෙක් නම් ඇත්ද? . පිස්සුද දැන් කොහෙද එහෙම අය ඔබට සිතෙන්නට පුළුවන නමුදු ඔබ වැරදිය අදද එසේ දරුවන් සිටී දෙමාපියන්ද සිටී මම මගේ දෑසින් දකිමි. ඔවුන් ඒ විඳින විඳවන දෙයට මම කැමතිය. මන්ද ඔවුන් හෙට ඒ තුළින් මා මෙන් පන්නරයක් ලබනු ඇතැයි මම විස්වාස කරමි.... එදා මම විඳී ඒ බලාපොරොත්තුවේ වේදනාව අදද මට ඉවසීම කියා දී ඇත. ඒ තුළින් පන්නරයක් ලබා දී අැත. ලද දෙයින් සතුටක් ලබන්නට පුරුදු වී ඇත. මහරගම පමුණුව අද, අතීතය සිතුවමක් සේ මවා දෙමින් සිනාසෙමින් මා දෙස බලා අත වනමින් සිටී...

රෝජා🌷

Friday, March 29, 2019

තරුවක්

හුඟක්ම දුක හිතුණ වෙලාවට අපිට ළඟම ළඟම ළඟින්ම ඉන්න යාළුවෙක් ඕන වෙන්නෙ ඒ දුක වේදනාව පිට කරගන්න හිතේ හිරකරගන ඉන්න දුක වේදනාව කඳුළුවලට හැරෙද්දි හිතේ බර ටිකෙන් ටික අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.

මට හිතයි දැන් නතර වෙන්න. මම හිතන්නෙ මම හුඟක් ඇවිද්දා. හුස්මක් නොගෙන වේගෙන් ඇවිද්දා. ඒත් මම දිව්වෙ මිරිගුවක් පස්සෙ. ඒක මට තේරුනේ හරියටම මේ සඳුදා උදේ. ඔව් මේ සඳුදා උදේ. දැන් මම නතර වුණා නම් හොඳයි කියලා තමයි හිතන්නේ.

ඇයි කියලා අහන් නැද්ද?

ඇයි

හ්ම්ම්... ඒක හොඳයි

මොකක්ද

ඔයා එහෙම අහපු එක

ආයෙමත් දිගු නිහැඩියාවක්. ඒක උහුලන්න බැරිතරම් දිගු නිහැඬියාවක්. මම හිතන්නෙ තත්පර ගාණක් වෙන්න ඕනා.. මට ඒක කල්පයක් තරමට දැණුනා.

එයා මාව අතින් අල්ලගන එක්ක ගියා ලොකු දුරක් ඔව් ඒක ලොකු දුරක්. මට ඕන වුණා පිටිපස්ස හැරිලා බලන්න. ඒත් මට බය හිතුණා. එයා හිටියෙ මගෙ ඉනවටේ අත දාගන මාව තුරුළු කරගන.. අපි ඇවිද්දා.. මම හිතුවෙ ඒක ලොකු දුරක් කියලා හරියටම දවස් හතරක් පහක් වෙන්න ඕනා..

පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නෑ කියලා..මොනව වුණත්

මගේ හිත ගැස්සුනා. විදුලියක් වගේ දෙයක් පපුව පුච්චගෙන ඇදිලා ගියා මම හිතුවා මගෙ හුස්ම නතර වෙයි කියලා. මම එයාගෙ පපුවට බර වුණා එච්චරයි මට මතක.

ඒත් ඒ එදා විතරයි . ඊට පස්සෙ එයා මගෙ ඉනවටේ අත දාගත්තෙ නෑ. අපි ඇවිද්දා කතා කර කර ඇවිද්දා එදත් මට පස්ස හැරිලා බලන්න හිතුණා. ඒත් මම බැලුවෙ නෑ මොකක්දෝ බයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

ඉතිං

ඉතිං ... මම එයාගෙ අත අල්ලන් ගිහින් තිබුණා පස්ස හැරිලා බලද්දි එයා නැහැ එයා නතර වෙලා.

හරිම සාමාන්‍යයි

ඔව් ඒත්

ඇයි ඒත් කිව්වෙ

එයා නතර වුණාට මම ඇවිද්දා හරියටම අවුරුද්දක් නෑ... නෑ අවුරුදු එකහමාරක් .... ඒක මහ පිස්සුවක්...
ඔයා හිතනවද මම තවත් ඇවිදින එක හොඳයි කියලා.

නෑ

ඇවිදපු එක

ඒත් නෑ

ඔයා හරි සේරම වැරදී.. ඒත් ඉතිං වැරදි නොකර ජීවිතේ හදාගන්නත් බෑ. හරියටම ගිය සඳුදා මම හැමදේටම හිත හදාගත්තා. නවතින්න තීරණය කරා. ඒක මහ පුදුම සැහැල්ලුවක්. ලොකුම ලොකු කන්දක් උස්සන් ඉදලා බිමට දැම්මා වගේ.

ඒත්

ඇයි ආයෙමත්

මම දැන් හිස්.... ඒක ඊ⁣ටත් වඩා ලොකු බරක්. ඉතිං දැන් මට හිතයි නතර වෙන්න මේ ඇති මම ඇවිද්දා. බලාගත්තු අත බලා හිටියා බලාපොරොත්තු ඇති කරගත්තා නැතිකර ගත්තා. දැන් මට මහන්සියි . හොඳටම මහන්සියි.


මම කියවගන කියවගන ගිහින් එයා දිහා බැලුවා. කිසිම සද්දයක් නැතිව එයා අහස දිහා බලාගන දුම් වලලු අහසට විසික්කරනවා. අපි දෙන්න හිටියෙ කුරුදු ගහක් යට බංකුවක ඉදගන හඳ දිහා බලාගන. එයා මොනවදෝ හිතනව.


අර... අර... අර බලන්න

මොකක්ද?

කඩාවැටෙන තරුවක්

අපි දෙන්නම ඇස් පියා ගත්තා...

Sunday, March 24, 2019

හඬනිහඬ

ජීවිතය යනු තනිරූල් පොතක් නම් එහි නිල් ඉරි ඇදුන සුදුපාට පිටු අප විසින් දිනෙන් දින ලියනු ලබන්නේ වෛයි වර්ණ පෑන් තුඩු වලිනි. එකම පාටකින් ලියාගන යා නම් එහි ඒකාකාරි බව අප සිත විඩාවට පත්කරනු ලබයි. එවන් මොහොතක යම් වෙනසක් සිදුවන්නේ නම් යැයි ඇතුලු සිත මුරගා කියනු ලබයිනම් බොහෝවිට අප හුදකලා වීමට කැමැත්තක් දක්වයි.

ජීවිත පොතේ පිටු වැරදුනා යැයි නැවත මක මකා ලියන්නට නොහැක. හැකි වන්නේ අලුත් පිටුවකින් අලුතින් අරම්භ කිරීම පමණි. එයින් පැරණි පිටු ඉරා වීසිකළ හැකිනම් අතීතය අමතක කළ හැකි නමුත් අපට එය කළ නොහැක. වරද හදුනා ගත් පසු එතැන අතහැර ඉවත්ව යාම කෙතරම් අපහසුද යන්න මගේ සිත වේදනාවෙන් පුරවයි.

කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කළ හඬනිහඬ මා අතට පත්වන්නේ  ආදරණීයයකුගෙන් ලද තෑග්ගක් ලෙසය. නැතිනම් එය බලහත්කාරයෙන් ලබාගත් තෑග්ගක් කියාද පවසන්නට හැකිය මම වඩාත්ව කැමති ලෙස එලෙස සඳහන් කරමි.

හඬ නිහඬ මා කම්පනය කළ තරම මෙතැකැයි කියා කිව නොහැක. අප දුරදිග නොබලා ප්‍රකාශ කරන එක පුංචි වදනක් පුද්ගලය මානසික මට්ටම පහළ හෙළීමට සමත් වන්නේ යැයි සිතන්නට පුළුවන් ද? නමුත් එය එසේය. ළමා කාලයේ සිදුවන ඇතැම් සිදුවීම් අපට කෙතරම් බලපාන්නේද යන්න හඬනිහඬ තුලින් පවසයි. එය කුතුහලය උපරිමයෙන් රදවාගත් කාවකි.


බොහෝවිට එහි අනුකම්පාව ත්‍රාසය කුතුහලය ඇලීසියා බෙරන්සන් සතු වුවද ? මාසිත වඩාත් කම්පාවට පත්කළේ තියෝ නම් මානසික චිකිත්සකවරයා යැයි කීවොත් ඔබ පුදුමවනු ඇත. මුළු කතාව පුරාම මම කියවූයේ අැලීසියාගේ ඛේදවාචකයක් නොව තියෝ නම් ළදරුවාගේ කතාවය. තියෝ නම් පුද්ගලයාගේ ආත්මානුකම්පාවය. ඇත්තෙන්ම ඇලීසියා බෙරන්සන් නොවන්නට තියෝ ගැන මෙපමණ වේදනාවක් මා සිතට නොදැනෙනු ඇත. මම තවමත් ඒ තුල අතරමන්ව සිටිමි. ඇලිසියාව සහ ඇයගේ නිහඬබව නොව මම තියෝව සොයමින් සිටිමි.

රෝජා🌷