Friday, January 22, 2016

රුපියල් දහස



අනුකම්පාවක් නැතිව රෑ පුරා වැටිච්ච වැස්සට මල්ලිකාගෙ ගේ විතරක් නෙවෙයි ලිප්බොක්කත් හොදටම තෙත් වෙලා. ඒ මදිවට ලිප පත්තු කරන්න ගන්න භූමිතෙල් බෝතලෙත් පතුලටම හිදිල කියල දැක්කම යන්තම් හුල්ලපු මල්ලිකා කාමරේ තිබ්බ කුප්පිලාම්පුව කුස්සියට උස්සගෙන ආවා.

යන්තම් ඉතිරිවෙලා තිබ්බ භූමිතෙල් ඩිංග ලිපට හලල ලිප මොලව ගන්න උන්දැ නොකරපු උත්සහයක් නැතත් යන්තම්වත් දුම් ටිකක් ඒ ලිප ඇතුලෙන් එළියට ආවෙ නැත්තේ මල්ලිකා එක්ක තරහට වගේ.

බක බක බක ......

ඒ මදිවට ඊයෙ රෑ වැස්සට ගේ ඇතුලට වැදිච්ච ගෙම්බෙක් තොර තෝන්චියක් නැතිව කෑගහන්න ගද්දි මල්ලිකාට තව ටිකක් කේන්ති ගියා.

"අම්මෙ මගෙ කොණ්ඩෙ ගොතන්නකෝ"
"හිටපං පුතේ අද මේ ලිප අවුලව ගන්නම බෑනෙ දරුවෝ"
"මට තේ ඕන නෑ අම්මෙ පරක්කුවෙනවා"

පුංචි කමට කෙල්ල එහෙම කිව්වම මල්ලිකාට කට කොනකින් හිනාවකුත් ගියේ අඩන්න බැරි කමට උනාට හිත ඇතුල ඉකිගහනවා කියල මල්ලිකාට දැනුනා.

තල තලා හිටපු පොල්කට්ට එහෙමම කුස්සිය මුල්ලට විසික්කරපු මල්ලිකා නැගිටින්න හදද්දි අතගාවටම ආපු ගෙම්බට හිතින් බැන බැන පොල්තෙල් බෝතලෙත් අරන් ඉස්තෝප්පුවට ගියේ අල්ලට පොල්තෙල් ඩිංගක් හලා ගන්න ගමන්.

"ගෑණු ළමයට තවම බැහැ නේද කොණ්ඩෙ අවුල කඩාගන්න. මම හැමදාම කියනවා කොණ්ඩෙ අවුල කඩාගන්න කියලා."
"මම අවුල කැඩුව අම්මෙ"
"ඔව් ඔව් අගේට අවුල කඩල තියෙන්නෙ"
"ආව්"
"ඒකතමයි මම කිව්වේ"
"රිද්දන්න එපා"

හෙමි හෙමිහිට කොණ්ඩ ගස් අස්සෙන් ඇගිලි තුඩු යවල අල්ලගත්ත උකුණෙක් දෙන්නෙක් මල්ලිකාගෙ මහපටගිල්ලෙ නියපොත්තට මැදිවෙලා චිරිස්ගාල සද්ද කරගෙන අවසන්ගමන් ගිය ගමන් කෙස්ගහෙන් ගහට වහල හිටපු ලේඩි අදින්න පටන් ගත්තු මල්ලිකාට කෙල්ලගේ චක් චුක් හඩ දැන් හොදට පුරුදුයි.

"අනේ අම්මෙ"
"මොකද උකුණො ඇතිකරනවද"
"පරක්කු වුනානේ"'

පැල කොණ්ඩවලට උකුණො වහන එක නවත්තන්න අමාරු වුනත් මේ කෙල්ල ඔලුවට අත තියන්න දෙන්නෙත් නැහැනෙ මල්ලිකා ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සහ කලා.

"අම්මෙ ටීච රු.1000/- හෙට ගේන්න  කිව්ව"
"මොන රු. දාහද"
"ඇයි මම කිව්වෙ තීන්ත ගාන්න"
"හ්ම්ම්"
මල්ලිකා එක පාරට විසික් කරපු සුසුම හුළඟටත් බර වැඩි කියල හිතුනත් කැරකි කැරකි ආපු සුළග ඒකත් අරගෙන අකමැත්තෙන්ම ඉස්සරහට ඇදිල යන්න ගියා.
"ඇහුනද ඔයාට"
"ඔව් ඔව් ඇහුන. තාත්තටත් සනීප නැනෙ පුතේ ලබන සුමානෙ දෙන්නම් කියන්න"
"අනේ මට බැහැ අම්ම ඇවිල්ල කියන්න"

එහෙම කියල දන නවල මල්ලිකාට වැදපු කෙල්ල ඇද ගාවට ගිහින් තාත්තටත් වැදල පාරට ගියේ සුදු ගවුම දනින් පහලට ඇද ඇද. හෝදන තරමට දියවෙච්ච සුදු ගවුම් දෙකේ වාටි දිග අරින්න කාලෙ හරි කියල හිතපු මල්ලිකා ආයෙමත් කුස්සියට ගියේ අදම ඒක කරන්න ඕන කියල හිතාගෙන. හැමදාම නැතිබැරිකම් කියන්න කෙල්ලටත් බැරිව ඇති.

යන්තම්වත් රත්වෙලා නැති ලිපට රෙදි පාංකඩ දෙක තුනක් ඔබල ගිනිකූරක් ගැහුවෙ දැන්වත් පත්තුවෙයන් කියල දෙයියන්ට කිය කිය. පොල්කටු කෑලි දෙක තුනට පිං සිද්ද වෙන්න යන්තම් ඇවිලෙච්ච ලිප උඩට කේතලේ ලංකරපු මල්ලිකා. තාමත් මුණින් අතට හැරිල නිදාන ඉන්න පුංචි එකාට චීත්ත රෙද්දක් පෙරෙව්වෙ යන්තමින් ඔලුව අතගාන ගමන්.

"මේ පාර කෙල්ලගෙ ගවුම මැහුවෙ නැද්ද මල්ලිකා"
"ම්හු"
"ඒකිගෙ ගවුම කොටවෙලා"
"හ්ම්"
"ඇයි ඔයා රෙදි ගේනන ගියා නේද?"
"හ්මම් ගියානම් තමයි ගවුමට රෙදි ගන්න ඒ කූපන් කෑල්ල මදි. තව තුන්සීයක්වත් ඕන කිව්ව. ඒකෙන් තමයි පොත්ටික ගත්තෙ"
"අනේ මන්ද"

මල්ලිකා කුස්සියට යනකොට පොල්කටු කෑලිටිකත් නිවිල. යන්තමින් රත් වෙච්ච වතුරෙන් තේ කහට කෝප්ප දෙකක් හදාගෙන සුමනපාලටත් දීල අල්ලට සීනි ඩිංගක් දාගෙන උගුරට දෙකට බීල දැම්මෙ ඇල් මැරිල තිබුණ හින්දම නෙවෙයි. කටේ තිබ්බ හුලන් සේරම ලිපටම පිබල පිබල වේලිලා තිබ්බ උගුරකට තෙමාගන්න ඕනා නිසයි.

 සුමනපාලගෙත් මූණකට සෝදල ඇදේ විට්ටමට හේත්තුකරලා පුංචි එකාව අවදි කරගත්ත මල්ලිකා තනපුඩුව කටට දුන්නේ කිරිතියනවටම නෙමෙයි නැගිටපු ගමන් රෑහියෙක් වගේ අඩන එක නවත්ත ගන්න හිතාගෙන. උරලා උරලා බඩ ගෙඩියට හුලන් පුරවගත්තු පුංචි එකා බෙල්ල බදාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.
..................................................................................................
මේ වගේම දවසක බයිසිකලේ වාහනයක හප්පගෙන සුමනපල ඇදටම නොවැටෙන්න හෙට කොහොමහරි මේ රුපියල දාහ හොයල කෙල්ලට දෙන්න තිබ්බා. එත් අද රුපියල් දාහක් කොහෙන් හොයන්නද ? .  හදුන්කුරු ඔතල එදාවේල හොයාගත්තට මෙච්චර මුදලක් නම් හොයාගන්න ලැබෙන්නෑ කියල මල්ලිකා දැනගෙන හිටියා.
ලැජ්ජාවයි බයයි දෙක කුස්සිය මුල්ලට විසික්කරලා පාරට බහින්න පුළුවන් උනානම් එත් එකට හිත හදාගන්න මල්ලිකාට බැරි උණා.

“මොකද උබ ඔතන හොරගල් අහුලන්නේ”
“මොකුත් නෑ මහත්තයා”

ලොකු මහත්තයාගේ මෙසේ උඩ කුට්ටි කරලා තිබ්බ දාහේ නෝට්ටු ටික දිහා බලාන හිටපු නිසාදෝ මන්ද මහත්තය ඒ ටික ඉක්මනට ලාච්චුවට ඔබා ගත්තා. එත් මට ඕනා දාහක් විතරනෙ.

“මහතතය මට පඩි සල්ලි වලින් කැපෙන්න ......”
“ හා හා මේ උබට තව නයට දෙන්නේ නෑ. අනෙක උබ වැඩ කරනවාට වඩා නිවාඩු. හ්ම්ම් පලයන් පලයන් වැඩ පරක්කු වෙනවා. පොඩි එකා එක්ක ඔට්ටුවෙනවා මිසක් උබ කරන ඇති වැඩකුත් නැහැනේ”

ගලෙන් පට්ටයක් ගත්තත් ඔය මිනිහගෙන් නායක ගන්නවා කියන්නේ දැන් ඉතින් බොරු
.....................................................................................................
පොදිඑකවත් කිහිලිගන්නගෙන මල්ලිකා දවල් කෑමට ඉක්මනට ගෙදර දිව්වේ කහට උගුරක්වත් නැතිව ඉස්කෝලෙගිය කෙල්ලට දවල්ට කන්න මොනා හරි රත් කල තියන්න ඕන නිසයි.

ඉර අවුව යන්තම් වැටිලා දරමැස්සටයි ලිපටයි පුංචි සහනයක් ලැබිල තිබුනට දුම්වලාවක් විනා ගින්දර හරිහැටි ඇවිලුනේ නැති ලිපෙන් කුස්සිය පුරාම මීදුමක් වගේ කැරකුණ දුම් වළල්ලට අහුවෙච මලිකාටයි පුංචි එකාටයි කැස්සක් පටන් ගත්තේ එකටම වගේ.

ඒක දැකලද මන්ද ලිපගාව හිටපු ගෙම්බා අයෙමත් බක බක ගාන්න පටන්ගත්තේ හරියට මල්ලිකා ට උඩ පැන පැන හිනා වෙනවා වගෙයි
යන්තම් මඤ්ඤොක්කා අලයක් තම්බල පොල්ටිකක් ගාලා තිබ්බේ රෑට වත් බත් ටිකක් උයල දෙනවා කියලා හිතාගෙන

“අම්මේ”
“මයේ පුතා ආවද”
“ඔන්න අම්මේ හෙට මට අර දාහ ඕනෑමයි”
“ ඒ මොකද”
“හෙට සල්ලි ගෙන්න ඕන හෙට තමයි අන්තිම දවස කිව්වා හෙට සල්ලි ගෙනියන්න බැරිනම් මම ඉස්කෝලේ යන්නේ නැහැ ඔන්න”
එහෙම කියද්දී කෙල්ලගේ ඇස් වලින් දොට්ට පැන්න කදුළු කම්මුල දිගේ බෙරෙද්දී පිටි අල්ලෙන්  පිහදා ගන්න හැටි මල්ලිකා බලන හිටියේ “මම මොනා කරන්නද දුවේ” කියන්න වගේ .

“ මම හෙට සල්ලි හොයල දෙන්නම් දැන් නාඩ ඉදින්’
සුදු ගවුමවත් ගලවන්නේ නැතිව පොතකුයි පැන්සලකුයි අරගෙන පිල්කඩේ වාඩි වෙච්චි කෙල්ල මොනවදෝ ලියන්න පටන්ගත්ත. ටිකක් වෙලා ඒ දිහා බලන හිටපු මල්ලිකා

“මල්ලිවත් බලාගෙන ඉදපන් මයේ පුතේ” කියල එලියට බැස්සේ අයෙමත් වැඩට යන්න හිතාගෙන
“අම්මේ........”
“ඇයි පුතේ මම සල්ලි හොයාගෙන එන්නම්”
“මේක තැපැල් කරන්න”
“මොකක්ද මේ කාටද”

ඒක ඇහෙන්න කෙල්ල ලග උන්නේ නෑ. මල්ලිකා හෙමිහිට කොලකෑල්ල දිග ඇරලා බැලුවා.

ආදරණිය ඇමති මාමේ !

මේපාර මට සුදු ඇදුමට රෙදි ගන්න කියල සල්ලිදුන්නේ මාමා කියල අපේ ඉස්කෝලේ ටීචර් කිව්වා. ඒකට බොහොම ස්තුතියි . ඒත් මට සුදු ගවුමට රෙදිගන්න බැරි උනේ ඒ සල්ලි මදිඋන නිසාය . ඒ වුනාට  මේපාර ඉස්කොලෙට අපි පොත් ගත්තේ ඒ සල්ලි වලින්ය.

අලුත්ම අලුත් සුදු ගවුමක් නැති උනාට අපේ අම්ම මට පරණ ගවුම වාටිලිහල මහල හදල දෙයි. අලුත්ම අලුත් පොත් නැති උනාට පරණ පොත්වල ලියපු නැති කොළවලින් මට පොතක් හදා ගන්නට පුළුවන්ය.

එත් ඉස්කෝලේ පන්ති කාමරයට තීන්ත නොගාම බැරිය. ඩේස් බන්කු පාට නොකරම බැරිය ඒ නිසා ලබන අවුරුද්දේ මට දෙන රුපියල් පන්සීයට තව පංසීයක් එකතු කර අපේ පන්තියේ තීන්ත ගාන්නට දෙන්නේ නම් පින්සිදු වන්නේය.

ස්තුතියි
මෙයට
සදුනි හිමයා




Sunday, January 3, 2016

ගල්බැම්ම



සදහම් සෙවන ඉතා අලංකාර භූමි භාගයක්ය. එහි තැනින් තැන ඉන්දපු රතු කහ සුදු අරලිය මල්ගස් වල මල් පොකුරු ගනන් පිපී තිබුනේය. ඒ හැම මල් ගසක් වටාම ගල් බංකු සාදා තිබුණ අතර මදක් එහායින් වටේට ඉදගෙන සතුටු සාමීචයේ යෙදිය හැකි ගල් බංකු කිහිපයක්ය. මේ හැම තැනකටම ගමන් කිරිම සඳහා තණ පලසක්  මැදිකොටගත් බොරළු අඩි පාරවල් සාදා තිබිණ. ඒ දෙපස ඉන්දන ලද බේබි රෝස මල් ගස් අතුරු සිදුරු නැතිව පිරීතිබුනේය.

 මා පැමිණෙන්න මොහොතකට පෙර සදහම් සෙවනේ අයිතිකාරිය නගරයට පිටත් වී සිටියෙන් මම අරලිය මල් ගසක් පාමුල ගල් බංකුවක වාඩි වී බෑගය ඉදිරි අසුනින් තැබූයෙමි. වට පිට බලන බලන අත ලා කොළ පැහැතිය. මේ විශාල භූම්ය මැද්දෙන් විරාජමාන වන මහා බංගලාවකි. එය පැරණි වලව්වක සිරියක් ගත්තේය. මා සිටි බංකුවෙ කොනකින් වාඩිවුන ඇය මට තවත් යමක් සිතන්නට හෝ බලන්නට ඉඩක් නොදීම සිය හඩ අවදි කලාය.

මේ දරුව ආවෙ කවුරු හරි හම්බවෙන්නද?”
මම යන්තමින් සිනා සී ඇය දෙස බැලූයෙමි.
මම හිටියට කමක් නැද්ද?”
හ්ම් කමක් නැහැ
හරිම ලස්සනයි නේද මෙතන
හ්ම්

මේක මහා විශාල බංගලාවක් ඒත් මේක දකිනකොට මට මතක් වෙන්නෙම මගෙ අතීතය. මගේ ගෙදර . දන්නවද අපේ එක්කෙනයි මමයි කුලියට ඉන්න කාලෙ තමයි මට  ලොකු පුතා ලැබෙන්න හිටියෙ. ඒ දවස්වල අපිටම කියල ගෙයක් දොරක් හදාගන්න අපි දෙන්නට තිබුණෙ පුදුම ආශාවක්, උවමනාවක්, උනන්දුවක්.

බර හෑල්ලුවුනාට පස්සෙ එයාට ලැබුන ගමේ ඉඩමක ගේ කෑල්ලක් හදන්න අපි ලෑස්ති  වුනා. ලොකු පුතා තරමක් දගය අනේ ඒ වුනාට කියන දේ අහනව. අපේ එක්කෙනා මේසන් වැඩත් දැනගෙන හිටිය නිසා ඔන්න අපේ  ගේ කෑල්ල හදන්න අපි පටන් ගත්තා.

වෙලාවක් බලමුනේද?”

මම ඇහුවා. එයා හැමතිස්සෙම ඇස් වලින් තමයි කථාව ඒ වෙලාවෙ මගෙ දිහා බැලුවෙ ඕන නෑ කියන්න වගේ. මමත් ඉතිං ඒකට කැමති වුනා. ලණු පොටවල් ඇදල ගෙපල කපල ගල්බැම්මත් උන්දැ තනියම බැන්ද නෙව. ලොකු ළමයත් කිහිලි ගන්න ගෙන මම තමයි අත්උදව් කාරය වුනේ. එතකොට ලොක්කට යන්තමින් අවුරුද්දයි වැටි වැටි ඇවිදිනව. ගල්බැම්ම බැදල ගේ කෑල්ල හදා ගන්නකම් අපි දෙන්න හිටියෙ පොල් අතු වටකරල හදපු පැලක. අපේ එක්කෙනා වැඩට ගියාම ලොක්කව නාවල කවල පොවල නිදිකරවල මම ගේ හදන්න සිමෙන්ති ගල් ගැහැව්වා. මේ ළමය සිමෙන්ති ගල් අච්චුවක් දැකල තියනවද?

නැහැකියපු මම තව තවත් ඇය දිහාවට හැරුනේ ඇයගේ කථාවට ඇහුම්කන් දෙන බව අගවන්නටය.
මම කියල දෙන්නම් ගල් අච්චුවක ගල් ගහන හැටි ඔය දරුවට

වැලි තාච්චි පහලවකට සිමෙන්ති තාච්චියක් දාලා හොදට කලවම් කරගන්න ඕන ඊට පස්සෙ වතුර එකතු කරල ඒක අනාගන්නව බදාම හදාගන්නෙ එහෙමයි. වතුර එකතු කරන්න ඕන පරිස්සමෙන්. ඉටි කොලයක් හරි සිමෙන්ති කවරයක් හරි උඩින් ගල් අච්චුව තියල ඒකට බදාම තට්ටුවකුයි තරමක කළු ගල් හරි වැලි ගල් හරි තට්ටුවකුයි  දාල තද වෙන්න කොටා ගන්නව ඊලගට තව බදාම තට්ටුවක් දාලා තද වෙන්න හදාගෙන අච්චුව දෙපැත්තෙන් ගලවල අයින් කරනව. එහෙම ගලක් හදල ඉවර වෙනකොට දැනෙන සතුට කියල නිමකරන්න බැහැ. හදපු ගල් ටික වේලෙන කම් සත්තුන්ගෙනුයි වැස්සෙනුයි පරිස්සම් කරන්නත් එපැයි.

එයාට නිවාඩු දවසක් ආවම අපි දෙන්න එකතු වෙලා ගෙයි බිත්ති බදිනව. මම හදපු ගලින් ගල  එකතු වෙලා බිත්ති බැදෙන කොට මගෙ මූණට එන හිනාව මම හිතන්නෙ එයාගෙ ඇසුත් දිළිසුනා සතුටට. ගිණි අව්වෙ පිච්චි පිච්චි බදාම අදිද්දි එයාට උදව් කරද්දි මටනම් අව්ව ගානක්වත් වුනේ නැහැ. මොකද අද අපේ කෙල්ලට ලග කඩේට යන්නත් කුඩයක් නැතුව බැහැනෙව.

එහෙම කියන ගමන් ඇය මා දෙස බැලූයේ ඔය දරුවටත් එහෙම වෙන්න ඇති මයෙ හිතේ කියල ඇස්වලින් අහනගමන් කියල මට සිතුනේය.

මම කොහෙද නැවැත්තුවෙ
බිත්තිය බදින තැන

ංආ ඔව් ඉතිං ටික ටික බිත්තිය උසට බැදෙන කොට මට ඉවසිල්ලක් නැතුවා මම උන්දැගෙන් අහනව දැන් බිත්ති බැදල ඉවරද කවදද වහලෙ ගහන්නෙ. ඔය වගේ ප්රශ්ණ. හැමදාම වගෙ උන්දැ මගෙ දිහා බලල හිනාවුනා විතරයි. ඊටත් පස්සෙ තමයි අමාරුම හරිය පලංචි උඩනෙ වැඩ කලේ බදාම දෙන්න ගල් අරන් දෙන්න ගියහම තමයි එපා වෙන්නෙ. ඔය වැඩ අස්සෙ ලොක්ක වැටිල නලලත් තුවාල කරගත්ත නෙව. අනේ ඒකට තිබ්බ විසයක්.

වහලෙ ගහල වැඩ ඉවර නොකලත් ගේ පොඩ්ඩ සිරියාවෙ බැහැ. තුන්වරු පිරිතක් කියල අපි ගෙදර පදිංචි වුනා ඊට පස්සෙ තමයි අනෙක් දෙන්න හම්බ වුනේ. අපේ එක්කෙනාගෙ පිංතූරෙ බිත්තියෙ එල්ලන කොට පොඩ්ඩට අවුරුදු තුනයි. ඒත් උන්දැ හැමදාම වගෙ හිනාවෙලා මගෙ දිහා බලාගෙන හිටිය. ඒ හයිය තමයි ඉතිං මට තිබුනෙ.

සාරි පොට අරගෙන ඇස්දෙක පිහාදාගත්තු ඇය මොහොතක් නිහඩව සිටියේය. ඒ මොහොතේ මම ඇය නිරීක්ෂණය කළෙමි. එකදු කළු කෙස් ගසක් වත් නොමැති ඇයගේ හිස පිළිවෙලකට පීරා බෙල්ලට කිට්ටුවෙන්න ගෙඩියක් බැද සිටියාය. එක් වරක් නොව දසවරක් හැරීබලන්නට හිතෙන තරම් ඇයගේ මුහුණ පියකරුය. සුදුම සුදු නොවුනත් ඇය තලෙලුය. යලිත් වරක් මගේ දැහැන බිද දමින් ඇය කථාවට මුල පිරුවාය.

ඔය පොඩිඋන් තුන්දෙනා බලන් ඉද්දිනෙව කරදඩු උස්වෙලා මටත් වඩා උස ගියේ. පොඩ්ඩට රට යන්න ඕනමයි කිව්ව. පොඩියට හදපු ගේ කෑල්ල වුනාට වත්ත මහ විශාලෙට තිබුණ නෙව ඒකෙන් කොටහක් විකුණල තමයි පොඩ්ඩට සල්ලි දුන්නෙ රට යන්න. බඩපිස්ස වුනාට මොකද ඒක තමයි මුලින්ම කසාදයක් බැදගත්තෙ අපිටවත් නොකිය එහෙම්ම. දැන් දරුවො දෙන්නෙක්ම ඉන්නව ඒ ළමයින්ට මාත් එක්ක කථා කරන්න සිංහල දන්න එකක් යැයි. මොන මොනවදෝ කියවනව මමත් ඉතිං අහගෙන ඉදල බුදුසරණයි කියල කියනව. ඔයාට කියන්න දරුවෝ අන්තිමට රූප පෙට්ටියෙන් කථා කරපු වෙලාවෙ මට හිතුනෙ දැන් දැන් පොඩ්ඩටත් සිංහල හුරු නැහැ කියලයි ඕන්.

ඇය දිගු සුසුමක් හෙලා යන්තමින් සිනහ වුවාය.

ආ.... මට කියන්න අමතක වුනානෙ ගෙවල්  කුලියට හිටපු අපිට ඒ විශාල ඉඩම ලැබුණ කොහොමද කියල. ඒක අපෙ එක්කෙනාගෙ මාමා කෙනෙක්ගෙන් තමයි ලැබුණෙ. ඒ මාමාට ළමයි හිටියට අන්තිම කාලෙ අපි තමයි බලා කියා ගත්තෙ. ඒ වෙනුවට තමයි ඉතින්  ඔය ඉඩම ලියල තිබුනෙත්. අපි ඒක දන්නෙ උන්දැ නැති වුනාටත් පස්සෙයි. අනේ උන්දැට නිවන් සැපම ලැබෙයි ඒ කරපු පිණට.

මද්දුමී නම් සීදේවි කෙල්ල ගේ දොර වැඩත් පුංචි කාලෙ හරිම ආසාවෙන් කලේ ඒවුනත් ඩිංග ඩිංග ලොකුමහත් වෙද්දි ටිකක් ඒවට අදිමදි කලා. ඒවුනත් ඒකි හරිම පිළිවෙලයි පිරිසිදුයි ඉස්කෝලෙ මහත්තැන් කෙනෙක්මනෙ බැන්දෙ? උන්දැත් ටිකක් නීති කාරය. ඒවුනාට මද්දුමීවයි දරුවන්වයි හොදට බලා කියා ගන්නව. මමත් සතියක් දෙකක් එහෙ ගිහින් උන්න නෙව. මටත් ඉතිං කට පියන් ඉන්න බැහැනෙ. අපි දරුවො හැදුව වගේ අද කාලෙ දරුවො හදන්න බැහැ තමයි. ඒත්..... හුම්...

ලොක්ක පෙලවහක් කර ගත්තෙ අන්තිමටම. ඒකත් මම කියල කියල බොහොම අමාරුවෙන්. ඒකි හොදයි නරකම නැහැ කට චුට්ටක් විතර සැරයි. මම එකක් කිව්වොත් ඒකි දෙකක් කියනව. වෙලාවකට මටත් හිතෙනව මගෙ කටත් හොද නැහැ කියල. ඒත් ඒ දරුව මගෙ, ගෑණියක් ගෙනාවට ලොක්ක මගෙ පුතා නෙව. නිර්මලීට ළමය ලැබෙන්න ඉද්දි අනේ මම මගේම දරුවෙක් වගේ බලාගත්ත. දැන් දෙන්නෙක් ඉන්නව. මොන දෙයක්ද මන්ද දරුවො මට ඒකිව රිස්සුවෙම නැහැ නෙව. ලොකු කොල්ලව සම්පුර්ණයෙන් වෙනස් කලා මට හරි ආදරෙන්නෙ ඔය කොල්ල හිටියෙ.

ඔය තුන්දෙනාටම මම හොදට ඉගැන්නුව. දොසක් අහන්න ඉඩක් තිබ්බෙ නෑ. මම කොහොම හිටියත් එයාලට වැරදී. ඒත් මට ගොඩක්ම දුක හිතුනෙ අපි හුගක් දුක් මහන්සියෙන් හදාපු ගේ කඩල අළුත් ගෙයක් හදන්න ඕන කියපු දවසෙ. කාලයක් මම ඉඩ දුන්නෙම නැහැ ආයෙ මොකද? කියාපන් දරුවො මට පුළුවන්ද ඒ ගේ කැඩෙනව බලාගෙන ඉන්න. අන්තිමට මම සදහම් සෙවනට ආවා. මගේම කැමැත්තෙන් කවුරුත් එපා කිව්වෙත් නැහැ. එපා කිව්වත් මම නවතින්නෙත් නැහැ වයසත් එක්ක මමත් ටිකක් මුරණ්ඩුයි දරුවො. හරියට ලොක්කට අවුරුදු තුන හතරෙදි වගේ.  ආපු පලවෙනි දවසෙම රෑ මට අපේ එක්කෙනා හීනෙන් පෙනුන නෙව මෙහාට ආවාකියල මම කිව්වම ඒක හොදයි කියල කියන්න වගේ මගෙ දිහා බැළුවා. ඉස්සර වගේම ඒ ඇස් කියවන්න මට තාමත් ඇහැකි දරුවො.

උන්දැගෙ පොටෝ එක බිත්තියෙ එල්ලුවට පස්සෙ මම උන්දැව හීනෙන් දැක්කමයි. උන්දැ හිටියනම් අපේ ගේ කඩා දාල අළුත් ගෙයක් හැදෙනව බලාගෙන ඉදියි හිනහ වෙවී මුකුත්ම නොකිය. මට තමයි බැරිවුනේ. එයා හිටියනම් සමහරවිට මටත් ඉවසන් ඉන්න තිබුණ.

ඇය නැවතත් දිගු සුසුමක් හෙළුවේය. මම ඇය දෙස බැලූයෙමි තමන් සමග තම සිතුවිලි සමගම ඇය පොර බදින්නීය.

අම්ම කැමති නැද්ද එයාල ලගට යන්න
නැහැ දරුවො මට මෙතන හොදයි
මම ආසයි එයාලව දකින්න එයාල එක්ක කථා කරන්න ඒත් මම කැමති නැහැ එයාල එනවට
ඇයි ඒමම ඇසුයේ පුදුමයෙනි

ඇවිත් මාව බලල එයාල ආයෙමත් යන්න ඕන. ඒක මටත් දුකක් එයාලටත් දුකක්. එයාල ඇවිත් ගියාම දුක අළුත් වෙනව. එයාල නෑවිත් ඉන්න තරමට අපි මේ ජීවිතේට පුරුදු වෙනව. සමහර වෙලාවට ආවෙ නැහැ කියල දුකට නොකා නොබී ඉන්න අය දරුවෝ  ඇවිත් ගියාමත් නොකා නොබී  ඉන්නව. මම කිව්වෙ අපිත් දැන් මුරණ්ඩුයිනෙ දරුවො පුංචි කාලෙ වගේම.

මට තාම මතකයි මට ලොක්ක හම්බවෙන්න ඉන්නැද්දි දැනුන බර බඩත් ඉස්සරහට තියාගෙන අමාරුවෙන් අමාරුවෙන් ඇවිද්ද හැටි. කන්න බොන්න බැරිව හිටපු හැටි. කන්න ආස හිතුන කෑම ජාති. හම්බෙන්න අමාරුවෙච්ච වෙලාවෙ දැනුන වේදනාව කොන්දට විදපු බෙහෙත් එක ඒව මතක් වෙනකොට මට ඒ කැපුම් පාරවල් ආයෙ රිදෙනව වගේ දැනෙනව. හම්බෙච්ච ගමන් රැහැයියෙක් වගේ අඩපුහැටි කරදඩු උස්වෙලා ලොකුමහත් වුනාට මට තාමත් වුන් පුංවියි දරුවො.

ඒ වචන කියන තප්පරයක් තප්පරයක් ගානේ ඇයගේ මුහුණ ඒ අනුව වෙනස් වන අයුරු මම බලා සිටියෙමි. ඒ හැම තප්පරයක් තප්පරයක් ගානෙ ඇය ඒ අවස්ථා වින්ද බව නම් මට ඉදුරාම කිව හැකිය.

ඒතකොට අනෙක් ළමයින්ගෙ ඒවා මතක නැද්ද එය මම විමසුයේ මා සිතිනි.

අනෙක් අයගෙ ඒවත් එහෙම්මම මතකයි දරුවො ඒත් අද ලොක්කගෙ  උපන්දිනේ ගෙදර හිටියනම් කිරිබත් ටිකක් හදා දෙන්න තිබ්බ.

ආයෙමත් සැරයක් ඇස පිහදද්දී ඇය යන්තමට හිල්ලුවාය.

“ආපු වෙලාවේ ඉදලම මම කියෝනව මේ දරුවට එපා වෙලත් ඇති. මේ දරුව ආවෙ
අම්මලව බලාගන්න
මම හිතුව කාව හරි බලන්න ඇවිත් කියල
මම කියෙව්ව වැඩිද මන්ද? ඔය ළමයට රස්සාව එපා  වුනාද දන්නෑ
දන්න කියන කාලෙ ඉදල කාත් කවුරුවත් නැතිව හැදුන මට අද ඉදන් අම්මල තාත්තල ගොඩාක් හම්බවෙනව


ඇය පුදුමයෙන් වාගේ මා දෙස බලා ඉද්දි රතුපාට බොරළු පාර දිගේ පාලිකාව පැමිණෙනු දුටු මා බෑගයද රැගෙන කාර්යාලය දෙසට පියවර ඔසවද්දී ඇය මෙතෙක් වේලා උකුලමත තබා ගෙන සිටි සිල්මාතා කායිව් පොත අරමුණකින් තොරව එහාටත් මෙහාටත් පෙරලන්නට විය.