Sunday, December 6, 2015

ගුරුපාරෙන් තාරපාරට


හ හුගක් අහස කළු කරල යාන්තමට වැහි පොදයක් කඩාගෙන වැටුනෙ රත්වෙලා තිබුණ තාර පාරෙන් දුම් වලාවකුත් අහසට නග්ගන ගමන්. ඊයෙ අතට අරගත්තු මහපොලෙන් රුපියල් විසි පහක් වියදම් කරල  පාන් කාලක් විතරක් අරගත්තෙ මාසෙ වියදම ගනන් බැලුවොත් ඒක මදි බව හොදටම දන්න නිසා.

තියන ඇදුම් දෙක තුන බෑග් එකට දාගෙන තාරපාර දිගේ ඇවිදගෙන එද්දි හතර පස්දෙනෙක් ඇගේ වැදුනත් ඒක ඒ අයටවත් මටවත් ගානක් නොවුනෙ ඒ තරමටම ඒක දැන් සාමානයය සිද්ධියක් වෙච්ච නිසා. ටික දුරක් එද්දි දැනුන කුණු ගද ඉවසන්න බැරි තරම් වුනත් කාක්කො රෑනක් එකතුවෙලා මීකුණ එහාටයි මෙහාටයි අදිනව දැක්කම උදේ කෑම එක උගුරට එන එක නවත්තගන්න  අහක බලාගෙන දුවල දුවල ගිහින් සිටි ෆාමසි එකට ගොඩවුනේ තාත්තගෙ බෙහෙත් ටික අරගන්න.

ෆාමසියෙන් සුදුපාට කවරෙක ඔතල දුන්න බෙහෙත් ටික ඇඳුම් දෙකතුන අස්සෙ හංගගත්තෙ වෙන කවුරුවත් ගනී කියල බයට නෙමෙයි පරිස්සමට. මිනිස්සුන්ට එහා මෙහා යන්න කියල හදල තියන පේමන්ට් එක දෙපැත්තෙ ඉදන් පාට පාට අරුමෝසම් බඩු මගෙ දිහා බලල හිනාවෙනව. මමත් ඒව එක්ක යන්තම් හිනාවෙලා රටකජු ගොට්ටක් ගත්තෙ නංගිට ගෙනිහින් දෙන්න.

"කොහාටද"
"තිස්සමහාරාමයට"
"ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම්"

කඳුළු ඇස්




වරගිරින් ඉර බැහැල යන්න ඔන්න මෙන්න. හැන්දෑ අහස රතුම රතු පාටයි. පෙරලිකාර හුළගත් එක්ක ඔට්ටුවෙන හිතුවක්කාර කෙහෙරැල්ලක් ඔයාගෙ අතින් අල්ලල නවත්ත ගද්දි මෙච්චර වෙලා හිරකරගෙන හිටපු හිත ඇස් අගිස්සෙන් නිහඩවම එළියට පැන්නෙ මගේ අවසරයක් නැතුව.

"අඩන්න එපා මයෙ මැණික"

එහෙම කියල කම්මුල් වලින් පහලට වැටෙන්න නොදී ඔයාගෙ ඇගිලි තුඩුවලට හිරවෙච්ච කඳුල යට කරගෙන තවත් කඳුලක් එළිය‍ට ආවෙ ඔයාට ඔච්චමට වගේ.

"අවුරුද්දයිනෙ අවුරුද්දෙන් මම එනව. ආපු ගමන් මැරි කරමු . හරිද කෝ ඉතිං චුට්ටක් හිනාවෙන්නකො. මම යන්න ඕන පරක්කුවුනා. "

හිනාව වහගෙන ඉස්සර වෙච්ච ඉකිය මම නවත්තගත්තෙ ඔයාගෙම පපුව අස්සෙ ඔළුව හංගගෙන. ඒ අත ආදරෙන් එහාට මෙහාට යද්දි හිත සුවපත්වුනා.

"අවුරුද්දයි කියන්නෙ මාස දොලහයි. ඊට පස්සෙ මම ඔයාලග" එහෙම කියල නලළට හාදුවක් දෙනකොට මම ඇස්පියාගත්ත. "ගිය ගමන් කෝල් කරන්න බුදුසරණයි!"

"ඔයත් පරිස්සමෙන් ඉන්න මම එනකන්. බුදුසරණයි!"

අසංක රට ගියේ අවුරුද්දකට. ඒත් මට ඒක කල්පයක් වගේ දැනුනෙ ඇයි කියල මම දන්නෑ. පොරොන්දු වුනා වගේම එයා ගිය ගමන් කෝල් කරා. ඊට පස්සෙත් නිතරම කතා කරපු නිසා මට දැනුනෙ එයා මාලග මා එක්ක ඉන්නව කියල. ඒ සුවඳ මම හදවතින් විදගත්ත.
දවල් කෑම කනවට වඩා, හවස තේ එකට වඩා මට ලොකුවුනේ එයා එක්ක කියවන එක. විස්තර අහන එක

 "මිස් තේ එක නිවිල"
"හා කමක් නෑ මම නිවිල බොන්නෙ"

මේ දවස්වල තමයි ඔෆිස් එක ලග තියන පේමන්ට් එකට සිමෙන්ති ගල් ඇල්ලුවෙ. ඒව කපන සද්දෙත් එක්ක මට පුදුම තරහක් තිබුනේ. ඒ ඉතිං අසංක කියන දේ මට ඇහෙන්නැති නිසා. ඒත් පේමන්ට් එකේ ඇවිදින්න පුළුවන් දැන් තමයි කියල මට පස්සෙ හිතුණ.
මාස තුනක් විතර යද්දි අසංකට මට කතා කරන්න අමතක වෙන වෙලාවල් වලට ඔෆිස් එක ලග ඉදල බස්හෝල්ට් එකට යනකම් සිමෙන්ති ගල් ගනින්න මම පටන් ගත්ත. ඒත් කවදාවත් ගැනල ඉවර කරන්න ලැබුන්නෑ. ඒ මගක් යද්දි එයාට මාව මතක් වෙන නිසා.

"මොකද සුද්දි කලේ"
"පේමන්ට් එකේ ගල් ගැන්න"
"ගැනල ඉවරද"
"හ්ම්ම් ඔයා කතාකලානේ"
"බුදුසරණයි මයෙ මැණික පරිස්සමෙන් ඉන්න" කියල ෆෝන් එක තියන්නෙ හිතකින් නෙමෙයි කියල මම මටම කියාගත්ත.

මම තාමත් දින ගනිනව. දැන් අසංක ගිහින් හරියටම මාස හයක්. ඒත් එයාට හරියට වැඩලු කතාකරන්න වෙලාවක් නැතිලු.

"මිස් තේ එක උණුයි"
"කමක්නෑ මට තිබහයි"

පිච්චි පිච්චි බොන තේ එක මගේ ඇස්වලින් පිටවෙන්න හදන හිත පුච්චල දානව කියල මට තේරුනෙ පස්සෙ. කොහොමත් තව මාස හයනෙ.

හැමෝම හඳ දිහා බලාගෙන හූල්ලනව ඒ හඳ අල්ලන්න බැරි නිසා. ලබාගන්න බැරි නිසා. ඒත් මට හඳ තියාගන්න එපා. මගෙ දුක අහන් ඉන්න ටිකක් නතරවුනානම් ඇති. මගෙ දිහාවත් බලන්නැති හඳ වලාකුළු අස්සෙ හැංගුන. තනියම කියවන්න මම පුරුදුවුනේ කවද්ද කියලනම් මට මතක නෑ. ඒත් හැම රෑටම මම හඳත් එක්ක කතාකරනව. කතානොකරන ජංගමය ලග තියන් හදත් එක්ක කියවනව.

"මොකද ඔයකරන්නෙ"
"ගනිනව"
"මොනවද"
"මෙතන ඉදල බස්හෝල්ට් එකලඟට තියන ගල්"
"පිස්සුද ඇත්තටම"
"නෑ අනේ කවදාවත් ගනින්න වෙන්නෑ අසංක කෝල් කරනව"

බස්හෝල්ට් එකට පුංචි දුරක්හරි තියෙද්දි එන කෝල් එක මට හැමදේම අමතක කරවනව. පුංචි වෙලාවක් හරි මට ඒක ලොකු කාලයක්.

"අවුරුද්දත් ඉවරයි ඔයා එනවද"
"කියන්නකෝ"
"එන්න ඕනනෙ වීසා ඉවරයිනෙ"
"කවද්ද එන්නෙ"
"ඉකමනටම එනව ඔයාව බලන්න"

එදා මම ගෙදර ගියේ කිරිල්ලියක් වගේ මම හරිනම් ඔයා මේ සතියෙ එන්නම ඕන ඔයාගෙ වීසා ඉවරයි. දන්නව නොකියම එනව කියල මාව පුදුම කරවන්න.
ඔයා හෙට එයි ගෙදර යන්න කලින්ම මාව බලන්න එයි ඒ මාව පුදුමකරවන්න. මම රැවටෙන්නෑ. සුද්දි හෙට නිවාඩු දාන්න කියයි. ඔයා එහෙමනෙ. ඒකනෙ මම ඔයාට මෙච්චර ආදරේ. මම හීන දකිනව වැඩිද මන්ද?
දවස් දෙකක් ගියා තාම කතාවක් නෑ මට තවත් මාව පාලනය කරගන්න බැහැ මොකක්දෝ දෙයක් හිත පහුරු ගානව තුවලයක් වගේ වේදනාවයි. වයිබර් මැසේජ් එකක් දැම්මෙ ඉදල ඉදල බැරිම තැන

"ඔයා කවද්ද එන්නෙ"
"මම ආව"
"ආවා"
"කවද්ද ආවෙ"
"දවස් දෙකක්"
"දවස් දෙකක්"
"ඔව්"
පහුරුගාන හිත එහෙම්මම ඇස්පියන් උඩ දගලන්න ගත්ත. නතරකර ගන්න බැරි තරම් වුනත් හැමෝම බලන් ඉන්න නිසා තදකරගෙන හිටිය.
"මිස් තේ එක"
සරාං ගාල බිමට වැටුන තේ එක , ටයිල් පොලව උඩ සුදුපාට කෝප්පෙ කෑලි.
"සමාවෙන්න"
"කමක් නෑ මිස් මම අස්කරන්නම්. වෙන තේ එකක් ගෙනත් දෙන්නම් ඉන්න."
"එපා කමක් නෑ"
"කමක් නෑ මිස් ඉන්න"

තප්පරයකටවත් නතර කර ගන්න බැරි ඇස්වල කඳුළු ගෙදර යනකම් නවත්තගන්න ඕන. ඒත් කොහොමද?.


ෂෝට් ලිව් එකක් දාල එළියට ආපු මම බිම බලාගෙන පේමන්ට් එකේ සිමෙන්ති ගල් ගැන්න හරියටම 158 ක් තිබුණ.ඒත් බස්එකට නැගල වාඩි වෙලා තප්පරයක් යද්දි තෙමෙන ඇස් මට කිව්වෙ දැන් ඉතිං මේ ඇස්වල කඳුළු නවත්තන්න පේමන්ට් එකේ ගල් ගැනල හරියන්නෑ පුංචි පුංචි වැලිකැටත් ගනින්න ඕන කියල.

Friday, November 20, 2015

කොටහළුව෴



ඉස්කෝලෙටම ගිහින් එක්කගෙන ආපු සොපියගෙ බාල කෙල්ල අචලා ඇබරි ඇබරි ඉද්දි ගෙයි මුල්ලට කරල දොර වහනකොට සොපියගෙ මූණෙ තිබුණෙ ඉහේ මලක් පිපුණ වගේ හිනාවක්. අපරාදෙ කියන්න බෑ ඒකිගෙ බාල කෙල්ල හරිම සීදේවි. ලොකු එකී වගේ නෙවෙයි ඒකි මුල්ලට කරල වතුර නෑව්වෙ අවුරුදු නැකතට නෙව මහ මූසලයි.

 ගිනි අව්වෙ හේන් කොටල කොටල හවස ගෙදරට ආපු ඒකිගෙ අප්පට නම් මේක මහා හිසරදයක් කියලයි හිතුනෙ.

"වරෙන් යන්න හදහන බලාන එන්න"

"මම උදැහැනැක්කෙම ගියා"

"හ්ම් මෙකෙද කිව්වෙ"

අළුත් බුලත් විටක් කන්න හරිබරි ගැහිල වාඩි වෙලා උන්දැ ඇහුවෙ පුවක් කෑල්ල  කඩන ගමන් සොපිය දිහා බලලකිව්වත් නොකිව්වත් නරකක් නෑ කියල උන්දැ තේරුම් ගත්තෙ සොපියගෙ කන ගාවටම ඇදුන හිනාව දැකල.  එත් කන ඒ පැත්තට හරවල බුලත් කොලෙත් කටට ඔබා ගත්තෙ කියපුව අහන්න.

" වෙච්ච නැකත බොහෝම හොදයි කිව්වෙ."

"අපල එහෙම"

"කාටවත් අපල නැහැලු. ඒත් ඉතිං තව අවුරුදු හතර පහකට පස්සෙ නම් ඉතිං ටිකක් පරිස්සම් කරන්න ඕන කිව්ව. හදිස්සි කසාදයක්ලු"

"හ්ම්"

මේකෙ ඉතිං හදිස්සි විවාහ නොතිබුනෙ කාටද? බොලාගෙ නංගිට විතරනෙ. හිතින් කියල කට කොනකින් හිනාවුන උන්දැ

"ඔය පැහීගෙන එන කෙසෙල් කැනට පෝර උරයක් දාපිය කොල්ලො හෙට අනිද්දට ගන්න එපැයි නැත්නම් ඉතිං වදුරන්ගෙන් පරිස්සම් කරනව බොරු. ඒ කලත් ඉතිං රකින්න එපැයි හොර තක්කඩිත් බෝවෙලානෙ දැන්."

"හාල් පහේ ටික නංගි දෙන්නම් කිව්ව මේ පාරත් අස්වැන්න සරු නැහැලු නෙ"

ඒකිගෙ කුඹරු යායෙ අස්වැන්න සරු නෑ කියල ආයෙ අමුතුවෙන් මට කියන්න ඕනයැ ඒක වපුරන්නෙත් මම කොට කෙල්ලගෙ තනියට අම්මව නවත්තල මන්න පිහිය කොට්ටෙ යටින් තියල තවත් කොයිකටත් කියල මලකඩ කාපු ටංක පෙට්ටියෙ යතුරත් අය කට්ටකින් කෙල්ලගෙ ඇදුමෙ ගැහුවෙ තනි කොරන්ට එපා කියල වෙද රාල මගින් මගටම කිව්ව නිසාමත් නෙමෙයි කළු කුමාරයට බයට. 

රෙදි නැන්දත් ඇවිත් පිරුවට අන්දල ආයෙ නාවන්න කලින් දවසට එන්නම් කියල යන්න ගියෙ එදාට ඕන කරන අඩුම කුඩුම ලිස්ටෙකක්ම සොපියගෙ අතේ තියල ගණුදෙනු කතා කරගත්තටත් පස්සෙයි ඕන් 

"සීදේවි කෙල්ල"

උදව්වට පදව්වට එන හැම කෙනාම මුල්ලට ඔළුව දාල කිව්වෙ ඔය ටික.

"දැන් ඉතිං උඹට තව බරක් සොපියෝ"

"අනේ ඒකි හරි ලැජ්ජකාරි බං අක්කෙ"

"අනේ මේ .... ලොකු එකීටත් ඕකමනෙ උඹ කිව්වෙ. අන්තිමට තැඹිලි පොල් වෙලා පැලපිහිත් ආවට පස්සෙයි උඹට එලොව පොල් පෙනුනෙ"සොපිය බිම බලාගත්තෙ මේ රහස දන්න එකම එක්කෙන තමන් නොවන බව මතක් වුන නිසා.

අනෙක දැන් ඉස්සරවගේ ගැට අන්නාසි හොයන්න තැන් තියන එකක් යැයි ඒවත් දැන් කට්ටිකරල නෙව"

.......................................................................

බුලත් කෙල කටේ පුරෝගෙන කියවන මේ කතා මුල්ලෙ හිටපු අචලත් අහගෙන හිටියට හරියට තේරුනේ නෑ. හොරෙන් හොරෙන් එබිල ඒ පැත්ත බලන්න පුළුවන් වුනේ අත්තම්ම ගොරව ගොරව නිදාගෙන මුල්ලට තනි රැකපුනිසා. දවස් දෙක තුනක් යනකොට අචලට මුල්ල එපා වෙලා තිබුනෙ ඒ මදිවට මහා අප්පිරියාවකුත් දැනුන. 

ඒ සේරමත් එක්ක අත්තම්මගෙ කියවිල්ල, මීට වඩා හොදයි එලියට වෙලා තාච්චි පනින්න තිබ්බනම් කියලත් හිතුන.

"හෙට උදේම නැගිටින්න ඕන"

 තැම්බුන් හොද්දයි බතුයි දෙනගමන් අම්ම කව්ව.  යනකම් ඉදල අත්තම්මගෙ පංගුවෙන් මාළු පිනි ටිකක් අරන් බත් අස්සෙ හංග ගත්තු අචල කන්න පටන් ගත්තා.

" බොලාගෙ අක්කනම් නාහෙන් අඩ අඩා තමයි ඔය විදියට බත් කෑවේ"

"ඇයි අත්තම්මෙ"

"අප්පිරියයි කන්න බෑ කියල. එත් කන්න ඕන නෙ. උඹ හොද කෙල්ල"

අචල අත්තම්ම දිහා බලල යන්තම් කට කොනකින් හිනාවුනා. කුකුල ඇහැරෙන්නත් කලින් ඔළුවෙ ඉදලම වහගෙන නාවන තැනට එක්ක යද්දි හොරෙන් වටපිට බැලුවත් මොකුත්ම දැක්කෙ නෑ. සීතලට හිරිගඩුත් පිපල තියෙද්දි බෙහෙත් වතුර කලේ හෙමිහිට ඔළුවෙ ඉදල  නාවද්දි අචලට අයිස්ලන්තෙ මෙහෙම ඇති කියල නිකමට හිතුනත් අම්ම "මගෙ දුවට රත්නත්තරේ පිහිටයි" කියල නලල ඉම්බම යන්තමට හිනාවුනා.

කපුටො අවදිවෙන්න කලින් සුදු පිරුවටයක් අන්දල සුදු රෙද්දකින් වහගෙන පොල්ගෙඩියකුත් බිදල සුබ හෝරාවෙන් ගෙට ගත්තට පස්සෙත්  රෙදි නැන්දගෙ ඉතිරි චාරිත්ර  ඉතිරි වෙලා තිබුණ.

 ඒ ටිකත් අහවර වුනාම හිත පිරෙන්න පඩුරුත් දීල අත පිරෙන්න තෑගිත් දීල පිටත් කරල ඇරියෙ අචලගෙ අම්මමයි.

"ඔක්කොටම වැදපන් මයෙ පුතේ"

බුලත් අතත් දීල අම්ම තියද්දි අචලගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වුනේ ලැජ්ජාවට.

"අනේ අම්මෙ"

"තාත්තට මුලින්ම වැදපං"

එතනින් පටන්ගෙන නෑදෑයො ඔක්කොටම වැදල තෑගි බෝග ටිකත් අත පිරෙන්න අරගෙන අචල කාමරේට ගියේ මගුල් කන්න එන අය එන්න තව වෙලා තියනවනෙ කියල අම්ම කිව්ව නිසා.

.................................................................

"ගමේ වැල ගමේ කපුටන්ට. පිට හෙම දෙන්න හිතනව නෙමෙයි ඕන්"

"පිස්සුද අක්කෙ"

"යකෝ ඒකි තව පොඩී"

කෙල්ල අතින් පොල්ගෙඩිය බිදුනෙත් දෙපාරට. පොල්මලේ ඇට්ටි කීයක් තියනවද දන්නෑ. සොපිය හිත හිතහිටියෙ ඒ ගැන.

"වරෙන් අක්කෙ පොල්මල බලන්න"

"පස්සෙ බැරියැ"

"මොන පස්සක්ද? මේන් මෙහෙවරෙන්"

මේකිලට ඉතිං ඒක බලනකම් නින්ද යන්නෑනෙ ගම පුරා කියවන්න. සොපියටත් කලින් පොල්මල එලියට අරගෙන වටේටම කරකව කරකව බලල

"කෝ බං අක්කෙ මේකෙ ඇට්ටි"

"අපෝ පොල්මලේ ඇට්ටි නැද්ද ඒකත් පුස්සක්ද?"

සොපියගෙ මූණෙ හිනාව යටගිහින් යන්තම් බොදවෙනව වගේ දැනුන

"අනේ මේ විකාර නැතිව හිටපං"

"මේවයෙ ඇත්තක් තියනව බොල බොන්ඩියෙ"

"අනේ උඹ දන්න ඉටිගෙඩිය. මම නාවපු දවසෙ පොල්මලේ ඇට්ටි කීයක් තිබුණද ඒත් කෝ මට කිරි දෙන්න වාසනාවක්."

"ඒ මේකනෙ බං අක්කෙ උඹව නාවපු දවසෙ පොල්මලේ ඇට්ටි බැලුවට උඹෙ මිනිහව නාවපු දවසෙ ඒක බලන්න අමතක වෙන්න ඇති"  


Sunday, November 15, 2015

අරලියා මල් සුවද


පට පටාස්  මහ හඬින් අහස ගුගුරවනව

නින්දත් නොනින්දත් අතර හිටිය මම පොරවනයට තව තවත් ගුලිවුණා ‘අදනම් වහියි වගේ’ අම්ම කියනව යන්තමට වගේ ඇහුණ. ජනෙල් කවුළුව අද්දරින් අරලියා මල් සුවඳකුත් හෙමිහිට හමාගෙන යනව. හුළගත් එක්ක එකතු වෙලා හරි හරියට මොනවද කියනව.

සේදිරිස් සීය තමයි නැන්දලගෙ ගෙදර ඔක්කොම වැඩ ටික කලේ.  නැන්දට තිබුණෙ ළමයි එක්ක ඉස්කෝලෙ යන එන එක විතරයි. එළවළු කොරටුවෙ වැඩටික ඉවර වුනාම ගේ අස්කරල මිදුලත් අතුගාන හැටි මම අනන්තවත් දකිනව. ඒ හැම වෙලාවකම තවමත් කිරිසුදුපාටට තිබුණ දත්ටික පෙන්නල ඔළුව නවල හිනාවුන එක තමයි උන්දැ කලේ.

‘ඔය මනුස්සය තමයි ගෙදර උයන්නෙත්’
‘හරිම රසයි කෑම’
‘අළුත්ම එළවළු නෙ මොකද කඩෙන් ගන්න එකක් යැයි’
‘හ්ම්’
‘මොකද බොලාට මම උයන ඒව රස නැතෙයි’

අම්ම බොරු තරහක් පෙන්නල යන්න ගියා. තවත් සැරයක් අහස මහ හයියෙන් පුපුරණව පෙරවනය ඇතුලෙ ගුලිවෙච්ච මගෙ මුළු ඇගම දහඩියෙන් තෙත්වෙලා. ‘ගෙරවිල්ල විතරයි වහින්නෙ නැහැ දෝණි’ අම්ම කිව්වෙ මගෙ දිහා බලන්නෙවත් නැතිව.

නමෝතස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස

අපි යනකොට හාමුදුරුවො පංසිල් දෙන්නත් පටන් අරගෙන. දෙන්නෙක් තුන්දෙනෙක් පැදුරෙ වාඩිවෙලා වැදගෙන ඉන්නව අනෙක් හැමෝම තැන් තැන්වල ඉදගෙන තම තමන්ගෙ කථා. ඒ එක්කම අහස ආයෙමත් මහ හයියෙන් කෑගහන්න පටන් ගත්ත. හැමෝම බැලුවෙ අහස දිහා. දැන්වහී දැන්වහී කියල. හෙමි හෙමින් ඇහෙන කසුකුසුව මිසක් පන්සිල් ගන්න බවක් නම් පේන්න නැහැ.

මේ හැමදේම නොදැක්ක සේදිරිස් සීයට තිබුණෙ පුදුම ඉවසීමක්. එළවළු පාත්තියට දරුවෙකුට වැඩිය ආදරෙන් සැලකුව උන්දැ එළවළු විකුණපු සල්ලි කවදාවත් ගන්න නැතිව ඇති.

‘තාත්තෙ මම එනගමන් කඩෙන් සල්ලි ටික ගත්ත’
‘තව කීයක් හරි හම්බුණා නම් තාත්තට පිටි සීනි ටික ගේන්න තිබුණ’
‘මගෙ කමිස සාක්කුවෙ ඇති ගනින්’
‘කීයක්ද’
‘මට මොකටද සල්ලි ඔක්කොම ටික ගනින්’
කට කොනකින් සිනා සෙන නැන්දා සල්ලිටික ගන්නෙ එහෙමයි. එළවළු පාත්තිවල වරුණාව අහන්න ආසයි ඒත් ලස්සනට පොල්අතු රටාවට අතුගාල තියෙන මිදුලට අඩිය තියන්නත් ලෝබයි.
පන්සිල් දීල ඉවර වෙලා හාමුදුරුවො බණ කියන්නත් පටන් අරං. මගේ ලගම හිටපු සීලවතී නැන්ද ලොකුකථාවක් පටන්ගන්න ලෑස්ති වුනේ අල්ලපු ගෙදර කැරලයින් නැන්දත් එක්කයි.
‘හෙට සිල්ගන්නවද’
‘ඔව් හෙට ටිකක් උදෙන්ම යන්න ඕන’
‘අරමොකෝ’
‘මම හැමදාම ඉන්න තැන ගිය මාසෙ වෙන එකියක් අල්ලගෙන මම කිව්ව උන්දැට......’
‘මමත් යන්න ඕන හෙට.  උදෙන්ම යනවනම් මටත් ඉඩක් අල්ලපං.’
‘හ්ම් හෙට දවල් දානෙ ඉස්කෝලෙ මහත්තයලගෙ දිහායින්’

ඒ අතරම කොල්ලො රංචුවක් දිමුති දිහා බලාගෙන පෙම් පලහිලව්වක. කවදාවත් නොදැකපු අය නිසා මමත් ලංවෙලා බැලුව. ඉස්කෝලෙ යාළුවො වෙන්න ඇති. මුලින් මුලින් ඇසිවලින් පටන් ගත්තු කථාව දැන් ඩිංග ඩිංග ලගටම ඇවිල්ල. දෙන්න එක්ක මුකුළු කරද්දි අනෙක් අය කට්ට කනව.

හතරට පහට නවපු ලියුම් කෑල්ලක් හුවමාරු වෙද්දි මට හිතුනෙ දුරකථන අංකය කියල. ඒ කියන්නෙ ඒකත් පටන් ගත්තෙ අද ඊයෙ සීයට පිංසිද්ධ වෙන්න.
දිමුතිට වඩා  ඇඹරුනෙ කොල්ලද මන්ද? එහා පැත්තෙ ඉදන් තව ගමේ කොළු නඩයක් රවාගෙන ඉන්නෙ ගමේ වැල ගමේ කපුටන්ට කියන්න වගේ.
පට පටාස් කියල මහ සද්දෙන් අහස ආයෙමත් කෑ ගහපි. ඒ පාරනම් අඩන්නම වගෙයි කල්පනාව

‘මොකක්ද මචං ඊයෙ වුනේ’
‘වැඩක් නෑබං’
‘ඇයි ගේමක් තිබ්බෙ නැද්ද?’
‘තිබ්බ සුද්ද එකට යටින් ගහල සල්ලි කන්දරාවම අරං ගියේ’
‘උබත් පරාදද’
‘හරි හරි අද වරෙන් කො මමත් ඉන්නවනෙ’

තවත් පාරක් අහස කෑගහද්දි හාමුදුරුවො වාහන වල නැගල පංසලට වැඩම කලා. සේදිරිස් සීයට නම් වගේ වගක් තිබුන්නෑ.

‘කොහෙද ඉතිං මුන්දැ අපිට හම්බකරපු එකක් යැයි අපි අතින් තමයි ඔක්කොම. නෑදෑයො නම් එමට තනිකරට මම තමයි බං හැමදේම කරන්නෙ. තවත් බලා ඉන්න බැහැ වහින්න වගේ ගනිල්ල යන්න’ කියාගෙන මාමා හදිස්සියෙන් ගියේ කැරම් බෝඩ් එකත් පෙරලගෙන.

අපි හැමෝටම තිබුණෙ පස්සෙන් යන්න. තම තමන්ගෙ ගෙවල් ආසන්න වෙද්දි සමහරු නතර වෙද්දි සමහරු දිගටම ගියා. ඩිංග ඩිංග අරලියා මල් සුවඳ හමාගෙන එද්දි නවාතැන ලගයි කියල සේදිරිස් සීයට හිතෙන්න ඇති.

නිහඬ නිසොල්මන් අරලිය මල් භවනින් අපි ආපහු එන්න පිටත් වෙද්දි මහ හඬින් කෑ ගහපු අහස පුංචි පුංචි කඳුළු කැට දෙක තුන බිමට වට්ටන්න පටන්ගත්ත. මම ඔළුව උස්සල අහස දිහා බැළුවම අම්ම කිව්වෙ

‘ගොරවන තරමට වහින්නෑ දෝණියේ’ කියල






Friday, November 13, 2015

ප්ලැට් ෆ්රෝම්




හරියටම අටේ කණිසම වැදුනෙ මම ස්ටේෂන් එකට එනවත් එක්කමයි. දවස් ගානකට කලින් යොදාගත්තු විදියට අපි දෙන්නගෙ පලමු හමුවීම යෙදිල තිබුණෙ අද උදේ 8.00 . ඊයෙ රෑ නිහඩ වුන දුරකථනය තවමත් නිහඩයි. ඒත් මම පොරොන්දුව ඉෂ්ඨ කරන්න ස්ටේෂන් එක ඉස්සරහ බලාගෙන ඉන්නව. වටපිට බැලුවාමයි දැක්කෙ තවත් කීප දෙනෙක්ම මම වගේම ඔරලෝසුවටයි පාරටයි එබෙනව. ඊලගට ෆෝන් එකට.


" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත"


මේ ටික මම අහන්නෙ කීවෙනි වතාවටද කියල කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මා ලග තිබ්බෙ නෑ. ඊයෙ රෑ ඉදල මේ වෙනකම් එක දිගටම මම ඇහුවෙ ඔය ටික. ටික වෙලාවකින් වටපිට බැලුවම මූණු අළුත් වෙලා. පරණ මූණු පේන්නවත් නෑ. හෝරාවකටත් වැඩිය මම ඔරලෝසුවටයි‍, පාරටයි, ජංගමයටයි එබුන. ගෙදර යන බස් එක කීප සැරයක්ම මගෙ ඉස්සරහින් ගියේ මට සමච්චලේට හිනාවෙන ගමන්.


තප්පරයටකටවත් නතරවෙන්නෙ නැති නගරයෙ එක්ස්ප්රස් කෝච්චියටත් වඩා වැඩි වේගයෙන් මිනිස්සු එහා මෙහා දුවනව. දුවන ගමනුත් වට පිට කවර් කර ගන්න ඇහේ කැමරා කාචය පිට පනින්න ඔන්න මෙන්න කියන තැනට යනකම් ගෙනියන්නත් අමතක කරන්නෙ නෑ. කකුල් අතපය යන වේගයට වඩා වැඩි වේගයකින් හැම කෙනෙක්ම ගොඩක් දුර ගිහින් තිබුණ. ඇගේ කෙනෙක් වැදුනත් ඒක දැනෙන්නෙ අඩි දහයක් පහලවක්  විතර ඉස්සරහට ගියාට පස්සෙ නැත්නම් දැනෙන්නෙත් නැහැ. එක මුහුණතක්වත් මතකයේ රදවගන්න බැරි තරමට වේගවත් වෙද්දි මම විතරක් එක තැන නතර වෙලා.


"කවුරු එනකම්ද ඉන්නෙ"

"ගාන කීයද"

පිටි පස්සෙ ඉදන් කවුදෝ මුමුණනව වගේ ඇහුන. වට පිට බැළුවෙ අහල පහල කවුරුත් ඉන්නවද කියල. මගේ දිහා බලනව කියලවත් නොපෙනෙන දුරකථනය ඔබන ්‍යමනුස්සයෙක්, මට ටිකක් තින් ඉන්නව එතනින් අයින් වෙලා ටිකක් එහාට ගිය මම අනෙක් පැත්තෙන් හිටගත්තා. චුට්ටක් වටපිට බැලුවෙ ඉන්න තැන හරියට දැනගන්න. හිටගෙන ඉන්නෙ පොලීසිය ඉස්සරහ 'ඒක ආරක්ෂාවයි’ මම මටම කියා ගත්තා. යන්තම් හැරිල බලපු වෙලාවෙ මගෙ දිහා විපරමින් බලපු පොලිස් රාළහාමි  කෙනෙක් මගෙ දිහාට ආවෙ ඊට ටික වෙලාවකට පස්සෙයි.


"ඔය ළමය දැන් පැය දෙකක් විතර වෙනව මෙතන.  කවුරු හරි එනකම්ද? ඉන්නෙ"


"ඔව් යාළුවෙක් එනකම්"


වචන පැටලුනෙ නැහැ ඒත් අනවශ්යය කඳුලක් ඇහිදාර අස්සෙන් එළියට පනින්න හරි හරියට දඟලනව. ඒක නිසා ස් දෙක හංග ගන්න මම සෙරප්පුදෙක දිහා බැලුව.


"යන්න ප්ලැට් ෆෝර්ම් ටිකට් එකක් අරගෙන ස්ටේෂන් එක ඇතුලට"

“මෙතන හිටෙගන ඉන්නෙ නැතිව ගිහින් වාඩිවෙන්න”

ඒක කිව්වෙ තවත් මෙතන හිටගෙන ඉන්න ක මට උචිත නැහැ කියන්නා වාගේ යා දිහා බලල යන්තමට හිනාවුන මම කවුන්ටරය ලගට ගියා.

අරගන්න ඕන බස් ටිකට් එකක් කියල හිත කෑගහද්දි ප්ලැට් ෆෝර්ම් ටිකට් එකක් අරගෙන ස්ටේෂන් එක ඇතුලට ගියා. කෙලවරට වෙන්න තිබුණ බංකුවක වාඩිවෙලා ස්ටේෂන් එක පුරාම ඇස්දෙක යැව්වෙ ඔයා ඇති කියල හිතාගෙන.

"ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත"


ඉහලට ගත්තු හුස්ම පහලට දැම්මෙ හිත සැහැල්ලුකර ගන්න. ‘දැන් මකද කරන්නෙ’  බස් යන ගමන් කියවන්න කියල  බෑග් එකට පතක් දාගත. ඒ නවකථා පොත අතට ගත්තා "පොදු පුරුෂයා" පිටු දහයක් පහලවක් බස් එකෙන් එද්දි  කියෙව්ව ඉතිරිය කියවන්න පටන් ගත්තා. ඒත් භූමි කම්පාවට වඩා වැඩි භූමි කම්පාවක් මගෙ හිත ඇතුලෙ ඇතිවෙලයි තිබුණෙ කියල එන යන කෝච්චිවලටවත් ඒවයෙ හිටපු මිනිස්සුන්ටවත් පේන්න නැතිව ඇති.


"නංගි නුවරද"

කන ලගින්ම හුන කට හඩ නිසා මම හැරිල බැලුව. කලිසම ඉනටත් පහලින් හැලෙන්න ඔන්න මෙන්න කියලයි මට හිතුණෙ. හද වෙලාවට බෙල්ට් කක් දාලා. අලුත්ම අලුත් සපත්තු කුට්ටම මම දැක්කෙ බංකුවෙන් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාල ක අතකින් ලස් ක කරකවපු නිසා. මෙච්චරවෙලා ස් දෙක තිබුණ සන්ග්ලාස් දෙක හෙමිහිට ඔළුවට යවන ගමන් ජෙල් තට්ටුවක් ගෑවෙච්ච කන්ඩෙත් ටිකක් හදාගත්ත. කලුම කලු ටී ෂර්ට් ක මැද්දෙන් බප්මාලි කට රගෙන ඉන්නව . සුදුම නැති වුනත් ඒ හැටි නරකක් නෑ පෙනුම.
“නංගි නුවරද”

"නෑ"


"ලස්සනයි"


"නංගි ගමක කෙනෙක් වෙන්න ඇති"


"නෑ"


"කොළඹ නම් වෙන්න බෑ"


ඔක්කොම වැහෙන්න කොළඹ වුන් අදින්නෑ කියල කියනව මට ඇහුන් නැති ටික විතරයි


"නෑ මම කොළඹ"


"මම ඔයාව දැකල තියනව මීට කලින් කොහෙදිද කියල මතක නෑ"


අවඤ්ඤාවට වගේ හිනාවුන මම බෑග් එකත් අරගෙන නැගිට්ටෙ ගෙදර යන්න. කැන්ටිමට ගිහින් කිරි පැකට් එකක් බොන ගමන් වෙලාව බැලුව දොලහත් පහුවෙලා. බඩගින්නක් නැතත් රෝල්ස් එකක් කෑවේ හිතේ ගින්න නිවෙයි කියල.


යකඩ කටින් ච්චිය එන යන වෙලාව කියනව. ගුස් ගුස් ගුස් ගගා කෝච්චි එකින් එක එහෙ මෙහෙ යනව. මිනිස්සු ප්ලැට් ෆෝර්ම් එක පුරා දුවනව. අහේතුවකට ඇහිපිල්ලම තෙමිල හැමදේම බොදවෙනව වගේ දැනුන. ආයෙමත් බංකුව උඩ වාඩිවෙලා පොත දිගඇර ගත්ත.


"ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත"


අන්තිම බැට්රි කට්ටත් නැතිවෙලා ජංගමය කීක් කීක් ගාල නිදා ගත්ත. සද්දෙත් එක්ක කෝච්චිය මහ හයියෙන් හූ කියාගෙන ගියත් දැන් ඉතිං ඒක ඇහැරවන්න බැහැ. ඒක බෑග් එකට ඔබල පොත දිගඇර ගත්තා. මනෝරමයාට පපුවෙ අමාරුව හැදුනා.


“නංගි ගෙදරින් පැනල යන ගමන්ද?. ඔහම තමයි නංගි ජීවිත.........නවතින්න තැනක් තියනවද?...ජොබ් එකක්....... මම හොයල දෙන්නම් ඔය ඔක්කොම.  නංගි බය වෙන්න එපා මම ඉන්නකන්.
අමාරු ජොබ් එකක් නෙමෙයි ඇගට ටිකක් සැපදීල කාල දල ඉන්න එක විතරයි. පොඩි කමිෂන් එකක් ලොක්කට යනව එච්චරය්."
මට හිතන්නවත් කියන්නවත් ඉඩක් නදී ක දිගටම කියවගෙන කියවගෙන ගිය යා යන්තම් හුස්මක් අල්ලන්න නවත්තපු වෙලාවෙ මම යන්තම් වචන දෙක තුනක් ගැට ගහගත්තා.

"මම යාළුවෙක් එනකම් ඉන්නෙ"


"ඕක කියන්න මෙච්චර කියවනකම් බලා හිටියද.............."


මට බැන බැන මනුස්සය ඈතට යන්න ගිහින් තවත් බංකුවක වාඩිවෙනව මම යන්තමට දැක්ක. මේ හැමදේම බලාගෙන නොදැක්ක වගේ ඉස්සරහ හිටපු කෝච්චිය ඉස්සරහට ඇදිල ගියේ මටත් හූ කියාගෙන.


"දරුවො. ඔය ළමය දැන් කොච්චර වෙලාද මෙතන. ගෑණු ළමයෙකුට ඉන්න හොදද මෙහෙම. අම්මා තාත්ත එක්ක තරහ වෙලාද?


ජීවිතය නැතිකරගන්න මෝඩ වෙන්න එපා. අපිටත් මේ රස්සාව එපා වෙනව දවසකට එකෙක් දෙන්නෙක් අපිටත් පව් පුරවනව."


මෙච්චර වෙලා ඇහැ අස්සෙ දගලපු කඳුළ දඩස් ගාලා පොතේ නිමි කියන තැනට වැටුන. ඊලග කඳුළ චරස් ගාල පිටිඅල්ලට පොඩිවෙලා කම්මුල උඩම වේලුන. පොත වහද්දි මටත් හොරෙන් එළියට ආපු හදවත රේල් පාර උඩ එහාට මෙහාට පැන පැන දගලනව. මහව කෝච්චිය හූ කියාගෙන ඈතින් එනව දැක දැක ස්ටේෂන් එකෙන් එළියට ආපු මම බස්ටිකට් එකක් අරන් ජනෙල් කවුළුව ලගින් වාඩි වුනා.



ජනේලෙන් අහක බලාගත්තු  මම වෙච්ච හැම දේම මතක් කරන්න උත්සහ කලා. තවමත් සෙනග පිරිල නැති බස්එක, හෝල්ට් එකට වෙලා බලාගෙන ඉන්නව. ඉක්මන් ගමනින් ආපු තරමක් තරබාරු අක්ක කෙනෙක් මා ගාවින් වාඩිවුනා. යන්තම් හැරිල මගෙ දිහා බලපු එයා සාරි පොට අරගෙන පවන් ගහන්න පටන් ගත්ත. ඒ පිහිටෙන් මටත් හුළං ටිකක් ලැබුණ. ටිකකින් බස් එක යන්න පටන් ගත්තු නිසා එයා පවන් ගහන එක නවත්තල සැනසුම් සුසුමක් හෙලුවා.

මාරු සල්ලි අරගන්න මාරු සල්ලි අරගන්න
ඉස්සරහට යන්න ඉස්සරහ ඕන තරම් ඉඩ තියනවනෙ ඉස්සරහට යන්න
ටිකට් ගන්න ටිකට් ගන්න

කියාගෙන ආපු කොන්දොස්තර එක පාරට නැමිල මගෙ මූණට ඉස්සරහින් ජනේලෙන් එළියට ඔළුව දාල බුලත් කෙළපාරක් චරස් ගාල පාරට විසික් කරල. මාරු සල්ලි ගන්න අතින්ම බේරෙන කෙල ටිකත් පිහිදා ගන්න ගමන් ඔළුව උස්සද්දි ආපු දුන්කොළ සැරට මෙච්චර වෙලාවක් හරියට කෑමකවත් නැතිව ඉන්න මට කලන්තෙ වගේ දැනුන. ඒ එක්කම මා දිහා අසරණ විදියට බලපු මා ලග හිටපු අක්කා පවන් ගහ ගහ හිටපු සාරි පොටින් එයාගෙ පපුව වහගත්ත. මුළු ඇගම දහඩියෙන් තෙත් වෙලා ගියත් එයා නෙමෙයි ආයෙමත් පවන් ගහන්න සාරි පොට අතට අර ගත්තෙ.

එක හෝල්ට් එකක විනාඩි දෙක තුනක් වත් නවත්තගෙන ඉන්න බස් එක ගැන මට තිබුණෙ තරහක්. ජනේලෙට ඉස්සරහින් බස්හෝල්ට් එක ඇතුලෙ හිගන අම්මෙක් මාස දෙක තුනක විතර පොඩි ළමයෙකුට කිරි දෙනව තවම අදුර  වැටිල නැති නිසාදෝ කවුරුවත් ඒ දිහා බලන්නෙ නෑ පොඩි දරුව නිදහසේ  කිරි බොනව.


මොකද ඔතන හිරවෙල
යන්නකො ඔතනින් ඉස්සරහට
ඔය නගින අය මාරු සල්ලි අරං එන්න
මාරු සල්ලි ගන්න මාරු සල්ලි ගන්න
ඉස්සර තුන්දෙනෙක් සල්ලි දෙන්න තියනව

කොන්දොස්තරගෙ කටට ඉවරයක් ඇත්තෙම නෑ. බස් එකට නගින අයව ගනන් කරනවද මාර මතකයක්. ඒත් ඉතිං ඔච්චර හයියෙන් ආසාවට කෑගහන එකක් යෑ. ඒකත් එයාගෙ රස්සාවනෙ. ඒ වුනත් මනුස්සයෙකුට එහා මෙහා යන්න ඉඩක් නැති බස් එකේ කොන්දොස්තරට එහා මෙහා යන්න ඉඩ ඕන තරම්. මට මතක් වුනා ඉස්සර අත්තම්ම කිව්ව අන්දරෙ කිරි කෑව කථාව. මගෙ ලග වාඩි වෙලා හිටපු අක්කා නැගිටල ඉස්සරහට යද්දි එතැන වාඩි උනේ තලතුනා මනුස්සයෙක්. මම බස් එකෙන් බැහැල යන අක්ක දිහා බැලුවා සාරි පොටින් වැහිච්ච පපුව පෙදෙස වෙනස් වෙච්ච මුහුණ තවමත් එහෙම්මමයි. එයා බිම බලාගෙනම ඉස්සරහට යනව.

බස් එක මැද කිටි කිටියට හිරවෙලා යන දෙන්නෙක් වටපිට ගැන කිසිම ගානක් නැතිව එක එක්කෙනාගෙ ඇස් වලට එබිල. මොනව වුනත් එයාලට ගානක් නැහැ. හෙමිහිට ගෑණු ළමයගෙ නලලට හාද්දක් දීපු ඒ කොල්ල ගෙ අතේ එල්ලිල හුරතල් වෙන ඒ කෙල්ල දැක්කම මට දැනුනෙ ඉරිසියාවක් බස්වල යන්නවත් දන්නෙ නෑමම මටම කියා ගත්තත් ඇස් දෙක බොදවෙනව යන්තමට වගේ දැනුන.

වැඩ ඇරිල ගෙදර යන අයගෙන් පිරුණ බස් එකේ ලස්සනට ඔසරියක් ඇදල ඉනට හවඩියක් දාල කොණ්ඩය ගෙඩියකට බැදල හිටපු අක්කගෙ කරට දාල තිබුණ ඇට මාලෙ සාරියටම ගැලපෙනව. එක පාරක් බලල තවත් දෙතුන් පාරක් එයා දිහා බලපු මගෙ දිහා බලල ඒ අක්ක ලස්සනට හිනා වුනා. තවත් ටික වෙලාවකින් එයා දිහා බලපු මම ඒ ලස්සන හිනාව දැක්කෙ නැහැ. එයා ගෙ පිටිපස්සෙ ඉන්න මනුස්සය හිටගෙනම නිදි. ඔසරි පොට අරගෙන යන්තමට පේන ඉන වටේ ඔතාගත්තු ඒ අක්කා මගෙ දිහා බැලුව. කොච්චර එහාට මෙහාට දැගලුවත් ඒ මනුස්සය නෙමෙයි හෙලවුනේ.

බස් එක මැද්දෙ මහා කාල ගෝටියක්. තරමක් තරබාරු හතලිහක් විතර වයස අක්ක කෙනෙක් මහ හයියෙන් කෑ ගහනව කවුරුත් ඇහුන්නැති ගානට හිටියත් හැරිල බලනව . හිනාවෙන ගමන් අහක බලාගන්නව.

මනමාල විසේ ඉහට ගහල බස් එකක යන්න දන්නෑ
එහෙම ඇගේ නොගෑවි යන්න නම් තමන්ගෙ වාහනේක යන එකනෙ තියෙන්නෙ

ඒ මනුස්සයත් අත් හැරියෙ නෑ. ටික වෙලාවකින් ඒ අක්ක ඇවිත් මම ඉන්න සීට් එක ගාවින් හිටගත්ත. ඇගටම හිරවෙන්න  ඇදගෙන හිටපු ලෙගින් කලිසම නිසා දෝ කැපී පෙනෙන කලවා පෙදෙස ඉනගාවට පමණක් දිග ටී ෂර්ට් එක නිසාත් ඇන්දත් නොඇන්ද වගේ.  කිටිකිටියට තද වෙච්ච පපුව ඉහලින් නොපෙනුනේ හරිම පොඩ්ඩයි. උරහිස ලගටම දිග කරාඹු කුට්ටමටම ගැලපෙන මාලය නම් ඉනෙනුත් පහලට දිගම දිගයි.

තවත් ටික දුරක් යද්දි තමයි මාව බස් එකේ ජනේලයට එන්න එන්නම හිර වෙනබව තේරුනේ. ලග ඉන්න මනුස්සය හොදටම නිදි. විනාඩියට හතර පස් වතාවක්ම ඔළුව පහලට කඩාගෙන වැටෙනව. ඒ හැම වෙලාවෙම වගේ මගේ ඉනටත් ඊට ඉහලිනුත් යන්තමට වගේ අත වදිනව. එහාට යන්න කියල තවත් ඉඩක් ඉතිරි වෙලා නැහැ. තවත් ඉදගෙන ඉන්න බැහැමම නැගිටල ඉස්සරහටම යද්දි වෙච්ච හැම දේම අමතක කරල ඊට නැවතුම් පලවල් හතරකට පසුව ආපු මගෙ නැවතුමින් බැහැ ගත්ත.

එක කකුලක් බිමට තියද්දිම ඉස්සරහට අද්දපු බස් එක ඈතට යනකම් බලා ඉන්න මට වෙලාවක් තිබ්බෙ නැහැ. ගෙදරට හැරෙන පාර ලග විදුලි බුබුල දැල්වුනාට එතනින් එහාට හොදටම කරුවලයි. පුංචි එළියක්වත් ලග පාත නැහැ. කොහෙද ජංගමයත් දවල්ම නිදාගත්තනෙ. මෙච්චර රෑවෙනකම් ඉන්න ගිය ගමනක් නෙමෙයිනෙ.

ඇයි ඔයා මාව රැවට්ටුවෙ එන්න කිව්වෙත් ඔයාමයි. වෙලාව තැන තීරණය කලෙත් ඔයාමයි. මම කලේ එන්න පොරොන්දු වුන එක. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි මම ගියේ. සමහර වෙලාවට මම ආවට පස්සෙ එයා ආවද දන්නෑ.  අනේරේල් පාර උඩ දාල ආපු හිත ආයෙමත් මාව හොයාගෙන ඇවිත්  එතකොට ඒ හිත මහව කෝච්චියට යට වුනේ නැද්ද? කොහොමද ඒක බේරුනේ. සමහරවිට ඔයාට වගේම මහව කෝච්චියටත් මගෙ දුක තේරෙන්නෙ නැතිව ඇති. නැත්නම් මාත් එක්කම පස්සෙන් ඇවිත් බස් එකට නැග්ගද?
ගේට්ටුව ලගට වෙලා අප්පච්චි පාර බලාගෙන ඉන්නව කවදාවත් මෙච්ච්ර කවදාවත් මෙච්චර පරක්කුවෙලා නැති විත්තිය මට මතක් වුනේ එතකොට.

මොකද පුතේ පරක්කුවුනේ දැන් වෙලාව කීයද?’

ඒ ප්‍රශ්න දෙකටම දෙන්න මා ලග තිබුණෙ මලානික හිනාවක් විතරයි අප්පච්චි ගේට්ටුව වහල මගෙ පස්සෙන්ම ගෙට ආවා මිසක් වෙන මුකුත් ඇහුවෙ නෑ.

කෙල්ලට හොදටම මහන්සි පාටයි තේ එකක් හැදුවනම

අම්මට මොකුත් අහන්නවත් කියන්නවත් නොදී අප්පච්චි ඉස්සරවුනා ඒ අවසරයෙන් කාමරයට වැදුන මම හෙමිහිට දොරවහල ඇදට වැටුණ. මෙච්චර වෙලා හිත අස්සෙ හිරකරගෙන හිටපු කදුල ඇහිදාරවලට නොරිද්දම කොට්ටෙ උඩට වැටුණ.

ආ තේ එක

අම්ම අප්පච්චිට තේ එක දෙනව කියල යන්තමට වගෙ ඇහුන ගමන් නාන කාමරේට ගියේ මෙච්චර වෙලා නවත්තගෙන හිටපු ඉකිය තවත් නවත්ත ගන්න මට බැරි නිසා. වතුර මලටයි කඳුළු වලටයි යට වුන හිත ඒ එක්ක හෝදල අරින්න හැකියාවක් මට තිබ්බෙ නැහැ. යන්තම් නතර වුන කඳුළු සොරොව්ව ආයෙ කොයි වෙලාවෙ ඇදගෙන වැටයිද කියල මම දන්නෙ නැහැ.

කොහෙද මෙච්චර වෙලා ගියේ
රෑවෙනව කියල තේරුනේම නැද්ද? ගැණූ ළමයි මෙහෙමත් රෑවෙනකම් රස්තියාදුවෙ යනවද? මම අහන්නෙ.කියල අම්ම එක දිගටම ප්රශ්ණ වැලක් අහගෙන අහගෙන ගියා.
යාළුවෙක්ගෙ ගෙදර නේද යනව කිව්වෙ. මෙච්චරවෙලා මොකද කලේ. අපි බය වෙනවනෙ පුතේ
එහෙන් එද්දි ටිකක් පරක්කු වුනා අම්මෙ
පෝන් එකට මොකක්ද වුනේ
බැට්රි බැස්ස අම්මෙ
හ්ම් කාල නිදාගන්න

බත් එක අතගගා හිටපු මම අත හෝදගෙන කාමරේට ඇවිත් පෝන් එක චාර්ජ් වෙන්න ගැහුව. පොත් මේසෙට ඔළුව ඔබාගෙන කල්පනා කරකරම කොලයක් පුරා බලි කුරුටු ගාපු මම ඒ බලි ගොඩේම මෙහෙම ලිව්ව.

හුස්මක් හුස්මක් ගානෙ
ආදරේ හොය හොය
හැමතැනම දුවන හිත
පුංචි මල් පෙත්තක් වගෙ
ඔයා ලගම නතර වෙනවා
සියුමැලිව අතට අරගෙන
පුංචි කුරුටු ගීයක් ලියන්න
තරමට ඔය හිත
ඉඩ නොදෙන්නෙ ඇයි
ඒ හුස්ම මම වෙනුවෙන්
වැටෙන්නෙ නැති නිසාද

යන්තම් වගේ ඇස් දෙක බොදවේගෙන එද්දි දඩාස් ගාලා තවමත් ඇරල තිබුණ ජනේල් කවුළුව හුළගත් එක්කම වැහිල කිරි කිරි හඩත් එක්ක ආයෙමත්  ඇරුන. ජනෙල් කවුළුවෙන් හඳත්  මට ඔලොක්කුවට වගේ හිනා වෙවී එබිල බලනව. හඳත් එක්කත් මට ආවෙ තරහක් තව පාරක්  ඔළුව උස්සල හඳට රවල බලපු මම ජනෙල් කවුළුව වහල අගුල දැම්ම.ආයෙමත් ඇරෙන්න බැරි වෙන්න. දැන් බලමුකො එයා මට හිනා වෙන හැටි.

ඒ එක්කම ජංගමය කෑ ගැහුවෙ කෙටි පණිවිඩයක් ආපු බව කියන්න. අතට අරගෙන කියවන්න හිතුනෙ නැති හින්ද ජංගමයටම කියවන්න ඉඩදීල මම අහගෙන හිටිය.

ෆෝන් එක ඕෆ් කරන් හිටියෙ ඔයාව රස්තියාදු කරන්න හිතන් නෙමෙයි හැමදාමත් හිත රිදවගන්න ඔයාගෙ හිත තවත් රිදවන්න බැරි හින්දඔයාගෙ පොඩි හිතට තේරුම් කරල දෙන්න මම කොච්චර උත්සහ කලාද ? එක අතකින් මමයි වැරදි ඔය හිතට දරන්න බැරි තරම් මහා මේඝයක් තරමට ආදරය දීපු එක. ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ මේතරම්  ආදරයක් ඔය හිතේ තියෙයි කියල සුලෝචනා

සුලෝචනා

ඒ කවුද ඒ මම සුලෝචනා නෙමෙයිනෙ මෙච්චර ඉක්මනට ඔයාට මගෙ නමත් අමතක වුනාද? පුදුමයි, ජංගමය අතට ගත්ත කොයිකටත් මමම කියවන්න හිතාගෙන. කාගෙන්ද මේ  පුංචි හිනාවක් ආව. ඔයාගෙන් නෙමෙයි. දන්නෙ නැති අංකයක් වැරදිල මට ඇවිත් ආයෙ කියවන්න ඕන නෑ ජංගමය උඩට හේතුවක් නැතිව කදුලක් ඇද වැටුන ඒ කඳුල ඇගිලි තුඩු වලින් පිහදාපු මම

" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්ර තිවාරයක් නොමැත"

පුපුරන්න තරමට වේදනාවක් දැනෙන්නෙ හිතද ඔළුවද කියල හිතාගන්න බැරි තරමට හිත පැටලිල. ජනෙල් කවුළුවෙන් එබෙන්න බැරිවුන හඳ වා කවුළු අස්සෙන් එබෙන්න පටන් අරන්. මගෙ දුක තේරුම් ගන්න බැරිනම් හඳ වුනත් මාව බලන්න මොකට එනවද? මම මුරණ්ඩු විදියට කියල කොට්ටෙ අස්සෙ මුහුණ හංග ගත්ත.

කට්ට කරුවල එක්ක නින්ද නැති ඇස් ඒත් හිත බොහොම දුරකට ගිහින්. ප්ලැට ෆෝම් ඵක උඩ ඉද්දි හිතට දැනුන වේදනාව හිත ඇතුලෙ තවමත් ඵහෙම්ම තියෙනව. මොකද වුනේ ඔයාට ඵද්දි කරදරයක් වත් වුනාද? නෑ නෑ ඵහෙම වෙන්න බැහැ. ඔයා ඵන්නෙ නැත්නම් මට කිව්වෙ නැත්තෙ ඇයි. මම බලා ඉන්නව කියල පොඩ්ඩක්වත් මතක් වුනේ නැද්ද?. අඩුම තරමෙ ඔයා හොදින් ඉන්නව කියල මට දැන ගන්න ලැබුණ නම්.

" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්රඔතිවාරයක් නොමැත"

ජංගමය පොලවෙ ගවන්න තරමට කේන්තියක් දුකක් හිතට ඵනව ඒ නිසා ඒක වේගයෙන් ඇද උඩට විසිකරල දැම්ම. යාළුවෙක්ගෙ අංකයක් වත් මා ලග නැහැනෙ ඔයාට කරදරයක් නැත්නම් අනිවාර්යයෙන් මාව බලන්න ඵනව කියලමයි මගෙ හිත කියන්නෙ.

පස්සට ඉර ඵළිය වැටෙනකම් ගැහැණු ළමයි නිදාගන්නෙ නැහැ කියල අපෙ අම්ම කොච්චර කිව්වත් සමහර දවස් වලට මට ඒක අමතක වෙනවා. ඊයෙ රෑ හුගවෙලාවක් නින්ද නැතිව හිටපු නිසාදෝ මම නැගිටිද්දි අටේ කණිසමත් පහු වෙලා.  නැගිටපු ගමන් බැළුවෙ ජංගමය ඔයාගෙන් කෝල් ඵකක් තියා කෙටි පණිවිඩයක් වත් තිබුණෙ නැහැ.

" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්ර්තිවාරයක් නොමැත"

රාත්‍ර ඇදුමට උඩ්න් හවුස් කෝට් ඵකක් ඇගට දාගත්තු මම කුස්සිය පැත්තට ගියේ අම්මව හොයාගෙන.

අපූරුයි ගැහැණු ළමය නැගිටින වෙලාව
මහන්සියට නින්ද ගියා අම්මා
තේ ඵකක් හදාගෙන බොන්න බෝතලේ වතුර ඇති
තේ ඵක බොන්න වාඩිවුන වෙලාවෙ ඉදල මේ වෙනකම්ම අම්මා මොන මොනවද කිව්ව ඒත් මට ඒ ඵකක් වත් මතක නැහැ.
මේකා මොන ලෝකෙද ඉන්නෙ
ඇයි අම්මෙ
අර මල් ගස් ටිකට වතුර ටිකක් දානව
අම්මා කිව්වෙ නම් සැරෙන් මෙච්චර වෙලා කියපුව නෑහුන හින්ද අම්මට කේන්ති යන්න ඇති.

වතුර මල අල්ලගෙන වටේ කැරකුනාට මගෙ හිත ඵක තැනක රැදුනෙම නැහැ. ඒක අතහැරල කාමරේට ගියේ ආයෙමත් ඇදට වැටිල මනෝ ගහන්න හිතාගෙන ඒත් මම යනකොට ජංගමය කෑ ගහනව. ඒත් මම අතට ගද්දිම නිහඩ වුනා. මිස් කෝල් දෙකකුත් ඵක කෙටි පණිවිඩයකුත් තිබුණ ඔයාගෙන්.  කෙටි පණිවිඩය දිගහැර ගත්තෙ හරිම කලබලෙන්

මම හදිස්සියෙම කතරගම ආවා. මගදි වෑන් ඵක කැඩුන සුදූ ෆෝන් ඵකේ බැට්රි තිබ්බෙත් නැහැ ඒකයි කෝල් කරන්න බැරිවුනේ තරහ ගන්න ඵපා සුදූ. මම ආපු ගමන් ඔයාට ගන්නම්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

මම අනෙක් අතට කෝල් ඵකක් ගන්න උත්සහ කලා
" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත"

දුකයි තරහයි ඵක්ක ජංගමය කෑලි කෑලි වලට වෙන්වෙලා තැනින් තැන විසිවෙන කොටත් මට ඇහුනෙ

" ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත"