Sunday, September 25, 2016


හර්ද සාක්ෂිය

 

"යුෂ්මතී මේ සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?"

"නිවැරදිකරු ස්වාමීණී"

ටාං....ටාං....ටාං.....

මහ හයියෙන් කෑ ගහපු ඔරලෝසුව හෝරාවක් ගෙවුන බව සලකුණු කලා. තොරතෝන්චියක් නැතිව කෑ ගහන පලගැටියගෙ කණ්කරච්චලය මදිවට තෙමිල තෙමිල මඩ වෙච්ච පොලවෙ කොහෙදෝ මුල්ලක ඉදගෙන ගෙම්බෙකුත් බක බක ගානවා. හරියට මුන්ට මේ වැස්සා මදි වගේ. ම්ම්මම් එහෙමත් නැත්නම් මුන් දෙන්න මට හිනාවෙනව වත්ද?

"අනේ අම්මෙ දැන්වත් ගිහින් නිදාගන්නකෝ"

ඇහුන් නැති ගානට මම අනෙක් පැතතට හැරුණ.

"අම්මෙ"

"අම්මෙ කිව්වම අහල නිදාගන්නකො"

"මට බෑ උඹල ගිහින් නිදා ගනිල්ලා"

ලොකු එකී තරහින් අහක බලා ගත්ත. පොඩි එකීගෙ ඇස්වල නම් තියෙන්නෙ අනුකම්පාවක්.

"එහෙනම් ඉන්න තේ එකක්වත් හදල දෙන්න"

"මට ඕන නෑ"

"රෑට කෑවෙත් නැහැනෙ"

මොකුත්ම නොකිය මම මහපට ඇගිල්ලෙන් සිමෙන්ති පොලව හාරන්න පටන් ගත්ත. එක්කම වැටුණ කඳුළ සිමෙන්ති පොලවෙ සටහන් තියන්න හදද්දි මගෙම කකුලට පෑගිල අතුරුදහන් වුනා.

ඉස්තෝප්පුවෙ පිත්තල පහනට පොරකකා පියඹගෙන එන මෙරු පැටවු බේරන්න පහන් දැල්ල එහාට මෙහාට වැනෙනව. බැරිම තැන මහන්සියට ඩිංගක් නතර වෙද්දි පුංචි පැටව් හැප්පිල මැරෙනවා. දුක හිතුන පහන් දැල්ල ආයෙමත් එහාට මෙහාට වැනෙනවා.

.......................................................................

"යුෂ්මතා මේ සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?"

"නිවැරදිකරු ස්වාමීණී"

"හතර ගාතෙන් මහ පාන්දර මගෙ ගෙදරට පැනල ගේ කඩන්න හදපු එකා නිවැරදිකරුද? යකාගෙ කතාවක්නෙ ඒක"

"හොදම වැඩේ ඔය ගෑණිට"

"කෑ ගහන්න එපා අම්මේ"

"උඹනම් කියයි කෑ ගහන්න එපා කියල මේ වෙලාවෙ සද්ද නැතිව හිටියොත් මුන්ට අඩි අටක දහයක පාරකුත් දෙන්න වෙයි"

"හ්ම්ම්"

"මම දෙන්නෑ අඩි තුනකට වඩා. බලමුකො"

"අපේ ගේ තියෙන්නෙත් පාරෙනෙ අම්මෙ"

"ඉතිං, උඹ කටවහගෙන ඉදහං පැහෙන් නැතිව"

මගෙ ගෙදරට පහලින් තවත් ගෙවල් දෙකක්ම තියනව. ගෙවල් වලට යන්නත් තිබුණෙ අඩි දහයක පාරක් මගෙ ගෙදරට එන ටිකත් එක්කම පාර පුංචි කරල අඩි තුනක් කලේ මම. මොකද මට ඕන හින්ද?

අක්කරේකට කට තිබුණට මොකෝ සුමනලතා මහ මෝඩ ගෑණි. ගෑණිව රවට්ට ගත්තොත් ආයේ අරුන්දල ඔප්පු හදනව බොරු. හ්ම්ම් ඔප්පු නැතුව ඕකුන් මට මොනව කරන්නද?. වෙලාවෙනම් මගෙ මූණට ආවෙ කට්ට කයිරාටික හිනාවක්.

මෙතනින් පාර දුන්නොත් මගෙ ඉඩමෙන් අඩුවෙනව. ඒව කොහෙද මාත් එක්ක. හිතන තරම් ලේසියෙන් මාව පරද්දන්න බැහැ. පැරදෙන්නෙත් නැහැ මම

"උඹ එහෙම ඔප්පු හදන්න කැමති වෙන්න එපා අක්කෙ. වුන්ට පර්චස් දෙකක්ම වැඩියිනෙ"

"පිස්සුද නංගියේ මම මෝඩ නෑ එච්චර"

"මට ඔය ගේ පිටිපස්සෙන් අඩි දහයක පාරක් තියෙන්නෙ. උඹත් උන්ට පාර දෙන්න එහෙම එපා ඔන්න"

"අනේ මෙහෙමත් මෝඩ ගෑණියෙක්" යටිහිත එහෙම කියද්දි මම මහ හයියෙන් හිනාවුනා

"පිස්සුද අක්කෙ"

"මම දැනටත් පැත්තෙන් තමයි යන්නෙ එන්නෙ නංගියේ"

"හ්ම්ම්ම් පස්ස දොරෙන්. අනේ උඹලගෙ මොලේ." වචන ටිකත් හිතේම තියාගෙන මම ඒකටත් හිනාවුනා.

" නරකද අක්කෙ මේ ගෙට එන ප්රධාන දොරත් කුස්සිය පැත්තෙන්ම හයිකර ගත්තනම්.උළුවහු දෙක මාරු කරන එක විතරනෙ."

"ඔව් නංගියෙ සල්ලි ටිකක් ලැබුණ ගමන් ඒක කරන්ට ඕන"

"පර්චස් දෙකක් මගේ අප්පේ අක්කෙ පොඩ්ඩක්ද? අතහරින්න එපා උඹ ඕක. ඉල්ලලම ඉදපං තාප්ප කඩන්නත් එපා ඕන්. ගෙට එහා පැත්තෙන්ම ඉල්ලපං. මොකද උඹට ළමයි නැතුව යෑ."

දීකිරට බලල්ලුත් සාක්කි කියන්නැහෙ. මේ මෝඩ නෑදෑයො ටිකත් මගෙ ගැටේට අහුවෙච්චි. ඒත් ඉතිං අනෙක් ගෑණි රණ්ඩුකරලම පාර අඩි පහක් කරගත්තනෙ. මට මතක් වෙද්දිත් එන්නෙ පුදුම තරහක්.

තප්පර කටුව හෙමින් හෙමින් කැරකි කැරකි විනාඩි කටුවට තල්ලුවක් දුන්න ඔහොම ඔහොම පැය බාගයක්ම ගිහින්.

.......................................................................

ඉස්සර මගෙ අතේ එල්ලිල එහෙ මෙහෙ ගිය කෙල්ලො දෙන්න දැන් මගෙ අත අතඇරල තනියම ඇවිදින්න පටන් අරගෙන. පුංචි සන්දියෙ වගේ නැන්දලගෙ වත්තට පැනල එතනින් පාරට ගිය කෙල්ලො දෙන්න දැන්එහෙම යන්න කැමති නෑ.

හැඩට ඇදල එක එක්කෙනාගෙ අගුපිල් අස්සෙන් රස්සාවට යන්න කවුද කැමති. ඒත් ඉතිං ඉස්සර වගෙ නෙමෙයි දැන් තාප්පත් බැදලනෙ. කෙල්ලො දෙන්නම ලොකු ලොකු තැන්වල රස්සාව කරන එක ගැන මගේ හිතේ තිබුණෙ පුදුම සතුටක් ආඩම්බර කමක්.

"අම්මේ බත් එක හරිද"

"හරි හරි ලමයො"

"බුදුසරණයි පරිස්සමෙන් යන්න"

සාරියත් පටලගෙන අඩියට දෙකට දුවන්නෙ තාත්තට කිව්වනම් බයිසිකලේ ගෙනිහින් දානවනෙ. කොහෙද පොඩිකාලෙ වගේ මුන් ඒවට කැමති නැහැනෙ.

හෙමින් හෙමින් කැරකිච්ච විනාඩි කට්ට විනාඩි හතලිස්පහක්ම කැරකිල මා දිහා බලාගෙන ඉන්නව.

"මොකද උඹ මූණ හපුටු කරගෙන"

" කොහෙද මේ ගෙදරට එන්න හරි හමන් පාරක් තියනවද"

"ඇය් දැන් මේපාර උඹට යන්න මදිද"

"අපොය් ඇති පයින්ම ගාටන්න"

"මොන යකෙක් වැහිලද මේකිට"

සෙරප්පුදෙක ගලවල මට ගහන්න වගේ පුටුව යටට විසික්කරපු එකී කාමරේට ගිහින් ඇද වුඩ වාඩි වුනේ ඇදුම්වත් මාරු නොකර

"මොකද අක්කෙ"

"සමිත් අද මට හිනාවුනා"

"ඇයි"

"මේ හුංඩු පාරෙ යන්න පුළුවන්ද? මනමාලික් වෙලා යන්නෙත් ත්රිවිල් එකේද කියල"

"ඇත්තනෙ නංගි"

"කොහොමද එයාලගෙ අම්මලට එන්න කියන්නෙ"

"හරි වැඩක්නෙ වාහනේ නවත්තල පයින් එන්න කියපං" මම කෑගැහුව

එදා ඉදන් ලොක්කි මා එක්ක වැඩි කතාබහක් නැහැ.

"අම්මේ ...... අම්මේ"

"මොකද දරුවො"

"මට ඔෆිස් එකෙන් කාර් එකක් ලැබුණ"

"කෝ කොහෙද"

"පාර අයිනෙ නවත්තල ආවෙ අම්මෙ"

"ඇයි"

"මේ පාරෙ වාහනයක් ගන්න බැහැනෙ අම්මෙ දවස්වල අම්මල අපි ගැනවත් හිතුවනම් "

පොඩි එකී හෙමිහිට ඇනපු පිහිපාර පපුව පතුලටම කිදා බැස්ස වගේ දැනුන.

" යුෂ්මතී මේ සම්බන්ධයෙන් වැරදිකරුද නිවැරදිකරුද? "

"................ ස්වාමීණී"