Saturday, April 23, 2016

ගල්ලෑල්ල



අද නිවාඩු දවසක් වෙන්න ඇති ඉස්කෝලෙ යන කවුරුත් දකින්න නැත්තෙ. නැත්නම් ම වෙලාවට සාප්පුව පිරෙන්න සෙනග. පොත් සාප්පුව ඉස්සරහ කුණු ගොඩේ පරණ ටින් කබල් යකඩ කෑලි වගේ විකුණන්න පුළුවන් එක එක දේවල් හොය හොයා හිටිය මටයි මල්ලිටයි කිසිම දෙයක් හම්බුනේ නැහැ. බලාපොරොත්තුසුන්වුන මූණින් ඔලුව දෙපැත්තට හොලවල  අපි දෙන්න එතනින් පාරට ආවා.
" අක්කෙ අද නිවාඩුද"
"වෙන්න ඇති"
“අක්කේ මටත් ආසයි ඉස්කොලේ යන්න මාවත් එක්ක පලයන්කෝ”
“අන්න අන්න”
“මොකක්ද”
“තව එකක් එනවා හිටපන් පොඩ්ඩක් බලන්න”
ඒ එක්කම ආපු තවත් කාර් එකක් පාර අයිනෙන් නවත්තල එකේ ආපු මහත්තය  කුණු  මල්ලත්  අරගෙන බැස්ස  නිසා මම මල්ලිව නවත්ත ගත්ත. කොහෙද මේක හීනෙන් ඇවිදිනවා වගේ කොයිවෙලාවෙත් . කාරෙක ඇතුලේ නෝනා කෙනෙකුයි බේබිල දෙන්නෙකුයි ඉන්නවා. නෝනා කියන කතාව  අපි දෙන්නත්  අහගෙන හිටිය.
"ඉස්සරනම් ඔය වගේ පොත් තිබුන්නෑ මගෙ පුතේ"
"එතකොට අත්තම්ම ලිව්වෙ
"ගල්ලෑල්ලෙ"
"
ඒ මොකක්ද ඒ"
"
කළුපාට ලෑල්ලක් වගේ එකක්"

එච්චරයි අහගන්න හම්බුනෙ. කාර් එක එතනින් ඉස්සරහට යන්න ගියා. තවත් ඈතට යනකම්ම ඒ දිහා බලාගෙන හිටපු මල්ලි මොකක්ද ලොකු කල්පණාවක. හැමදාම ඉස්කෝලෙ යන ළමයි දැක්කම හූල්ලන්නෙත් ඔහොම්ම තමයි.

"
යමු යමු ඒකෙවත් ටින් එකක් නැද්ද බලන්න"

ම්හ් ගල්පිලිමයක් වගේ ඉන්නව හෙලවෙන්නෙවත් නැතිව. තවත් බලා ඉදල වැඩක් නැහැ ඒකව උරහිසින් අල්ලල පැත්තකට තල්ලුකරපු මම ගිහින් උරදෙක ඉරල බැලුව. වැඩක් නෑ ප්ලාස්ටික් කෝප්ප දෙකක් විතරයි හම්බවුනේ.කුත්ම නැතිවට වඩා ඒකත් ලකු දෙයක් නෙ.

"මේක මොනව කරන්නද බං. අද දවසට තව මොන මොනව හරි හොයාගන්න ඕන නැත්තම් අර ගෑණිගෙන් බේරෙන්න හම්බෙන් නෑ"

මම තනියම කියව කියව යනව ඇහුණ නෑහුන ගානට මේක වෙන කල්පණාවක. තවත් කථා කරල වැඩක්නෑ ඇදගෙන යනව මිසක්. මේකගෙ ඔළුවට භූතයෙක් වැහෙනවනෙ හිටපු ගමන්.
ඉටිරෙදි වහලේටයි කාර්ඩ් බෝඩ් වලිනුයි බැනර් කටවුට් වලින් හැදුන  බිත්ති  හතරටයි ගෙවන්න ගාන හොයා ගන්නම වෙනවා නැත්නම් මටත් වෙන්නේ රෑ තිස්සේ ලයිට් කණුවක් යටට වෙලා ඉන්න දවාලට කියල වෙනසක් තියනවද අර ගෑනිට. තව කොච්චර දවසක් මෙහෙම බේරිලා ඉන්නනද. එකිත් දැන් රස්සාව පටන් ගන්න කළේ හරි කියල ඊයෙත් කිව්වා.
මම කුණු ගොඩ පෙරල පෙරල ප්ලාස්ටික් කෑලියි ටින් කබලුයි හොයද්දි මේක වෙන මොනවද හොයනව. මට තරහෙ ඉන්න බෑ. කෑ ගැහුවත් වැඩක් නෑ බීරෙක් වග ඉදියි.

"අක්කේ"

මහා හයියෙන් කෑගහපු හැටියට මම ගැස්සිල වැටෙන්නත් ගියා. නහය වහගෙන පිට්ටනිය පැත්තට දුවන්න යන නෝනා කෙනෙක් යාන්තමට හැරිලා බලල තව ටිකක් මුණ අකුලගත්ත

"ඇයි මොකද  බන් බෙරිහන් දෙන්නෙ" මම ඒතරහින්ම ඒදිහා බැලුවට ඒකගෙ මූණෙ හිනාවක් දැකපු පලවෙනි වතාව තමයි ඒක.

" අක්කේ අක්කේ මට ලෑල්ලක් හම්බවුනා."

ඒකත් උස්සගෙන ඒක නටපු හැටි දැක්කම මටත් හිනාවක් ගියා. ඒත් ඒ එක්කම ඒකගෙ මූණ වෙනස්වුනා.
“මොකද”
“වැඩක් නෑ “
“ඇයි”
"ඒත් මේක කළුපාට නෑ"

"
මොකටද"

"
ගල්ලෑල්ල"

මට කාරණය වැටහුනේ එතකොට මම අත්හැරපු ඉස්කෝලෙ යන හීනය  තාමත් මේකගෙ හිතින් අයින්වෙලා නෑ. පවු අහිංසකය.

"අපි කළුපාට කරමු"

"
කොහොමද"

"
තීන්ත" ඒත් තීන්ත අපිට කොයින්ද?

ඒ එක්කම කුඩුවෙච්ච බැට්රියක් අතට අරන් "අක්කෙ මේ මේක ගාමු"

මම ඔලුව හොල්ලල ආයෙමත් ටින් කබල් එකතු කරන්න පටන් ගත්තා. රටක් වටින තෑග්ගක් ලැබුණ වගේ ලෑල්ල අත් දෙකෙන්ම අල්ලගෙන පේමන්ට් එක දිගේ එන ගමන් එකම එක වචනයක් කථා කළේ නෑ. තනියම හිනාව.

"
මොකද  උඹල දෙන්න මෙච්චර පරක්කු. කොහෙ මකබෑ වුනාද මෙච්චර වෙලා ..... කියල පටන් ගත්ත කියවිල්ල දැන් පුරුද්දටම ගිහිල්ල නිසා ඇහුනත් නෑහුනා වගේ ඉන්න දැන් මට පුළුවන් නිසා හොදයි

"මේකි තමයි කොල්ලවත් නරක් කරන්නෙ" ඒ තමයි අවසානය.

පේමන්ට් එකේම ඉදගෙන පේමන්ට් එකේම නිදාගත්තු අපිට ගෙදරත් පේමන්ට් එකම තමයි. ඒ ත් මෙතැන ඉන්න එකත් ලේසි නැහැ.

"
අක්කෙ මේකෙ කොහොමද ලියන්නෙ"

"
මොකක්ද බං ඔය"

"
ගල්ලෑල්ලක්"

"
මොකක්"
"
යි හුන් නැද්ද ඒක ගල්ලෑල්ලක්" මම කිව්වෙ තරහින්

"
මේකෙ කොහොමද ලියන්නෙ මාමෙ"

මහ හඩින් හිනාඋනාට   හුණුකූරක් ගනින් කියල රු. 10ක් අතට දිල කනේ ගහගෙන හිටපු බීඩියකුත් පත්තු කරගෙන යන්න ගියේ මටත් ඔලොක්කුවට හිනාවෙන ගමන්

එක පිම්මට රෝද නැති  බයිසිකලයට නැගපු මල්ලි  කඩයක්  කඩයක් ගානේ ගිහින් සුදුපාට කූරක් අරගෙන ආවෙ හතිපෙරා ගෙන.
"අක්කෙ මේ"

ගල්ලෑල්ල මැද්දෙන් තියාගෙන දෙන්නම  හරි බරි ගැහිල වාඩි වුනා
හුණුකූර අතට අරං ඒ දිහා ටික වෙලාවක් බලා ඉදලා  " අක්කෙ" කියපු මල්ලි . හුණු කූරත් ගල්ලෑල්ල උඩම තියල රෝද නැති බයිසිකලයට නැගල පේමන්ට් එක දිගේ   ඈතට යනකම් මම බලාගෙන හිටිය.



Saturday, April 16, 2016

(අ) සම්මතය


මන්දාරම් අහස හොදටෝම  ගැබ්බර වෙලා. මොරසුරන වැස්සක් තව මොහොතකින් මිහිතලය සිපගනිවී . ජනෙල් කවුලුව ලග හිටගෙන අරමුණක් නැතිව පාර දිහා බලාගෙන ඉන්න මට හිතුනේ මගේ ජිවිතෙත් හරියට ගැබ්බර අහස  වගෙයි කියල. පුංචි පුංචි වැහි බින්දු එක දෙක ඇවිත් අත උඩට වැටෙනකොට මම හැගීම් දැනීම් නැති එකියක් වගේ තව තවත් ජනෙල් කවුළුවට තුරුළු වෙලා පාර දිහා බලාගෙන හිටියා. පුංචි පුංචි වැහි පොද ටිකෙන් ටික ලොකු වෙලා මහා වැස්සක් වෙලා වැටෙනකොට මම මගේ අත් දෙක ජනේලෙන් එලියට දැම්මේ හරියට පුංචි කාලේ කළා වගේ.

අතට වැටෙන වැහි බින්දු අත දිගේ ඇවිදගෙන ඇවිත් රෑ  ඇදුමට වැටෙනකොටත් ඒක ගානකට ගන්නේ නැතිව වැහි වතුරේ සෙල්ලම් කළේ හරියට පුංචි එකියක් වාගේම කිව්වට ඒ පුංචි වුන් වැස්සේ සෙල්ලම් කරනකොට තියෙන සතුට සැහැල්ලුව මාලග තිබ්බේ නැහැ . මලානික ඇස් දෙකක් එක්ක නිකම්ම නිකන් හිස් බැල්මක් විතරක් තියාගෙන මම වැස්සට මාව තෙමන්න ඉඩදුන්නා. මෙහෙම කොච්චර කාලයක් ගෙවුනද මට මතක නැහැ. වැහි වතුරත් එක්ක හිටියට මගේ හිත තිබුනේ  ඊට වඩා දුර ඈත. ඒ හිත ඇතුලේ ඔයා වගේම එයත් හිටියද කියල මට මතක නැහැ. මොකද මගේම සිතුවිලි වලින් වැහිච්ච මගේම කයත් මාව දාලා  හුගක් ඈතට ගිහින් තිබ්බ නිසා.

වෙලාවකට මට හිතෙනවා මේ කතාව කාටහරි කියන්න ඕන කියලා. ඒත් කාට කියන්නද ? හිතේ මේ තරම් දුකක් තියාගෙන ලෝකෙට පෙන්න හිනාවෙන්න ඕනද ? ඒ හිනාව ඇතුලේ විදවන හිතක් තියෙනවා කියලා කවුරුවත් තේරුම් ගනීවිද ? මමත් හරියට ඉඩෝර කාලයක වැටෙන පුංචි මල් වැස්සක් වගේ. අවුවට පිච්චිලා වාෂ්පවෙන මගේ වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව අනෙක් අයගේ හිනාව ගැන විතරක්ම හිතන.

”අමා .... අමා..........”
“දේයියනේ මොකද දරුවෝ  මේ කරන්නේ. ඔයා හොදටම තෙමිලානේ “

උරහිස් වලින් අල්ලලා මාව ජනේලේ ලගින් ඈතට ගත්ත මගේ අම්ම තමයි මගේ තනි නොතනියට ලග  ඉන්න එකම ගෑණි

”වහන්න ඔය ජනේලය . ඔයත් හරියට පොඩි ළමයෙක් වගෙයි වෙලාවකට ”

ඒ වෙලාවේ මම එයාගේ පපුවට තුරුළු උනේ ඒ සෙනෙහස එදත් අදත් හෙටත් වෙනසක් නොවෙන නිසාත් මගේ කදුළු එයට හොරෙන් පිහදා ගන්න ඕන නිසාත්.

“බලන්න ඔයාගේ පොත් මෙසේත් තෙමිලා.... ඔයත් තෙමිලා ... යන්න වෙන ඇදුමක් දාගන්න නැත්නම් අසනිපවෙයි .. හ්ම්ම්ම් කෝ ඉක්මනට ඇදුම් මාරු කරගෙන එන්න කෑම කන්න.”

එහෙම කියපු අම්ම යන්න ගියේ මගේ අතට තුවායත් අරන් දීලා. උඩුකය වැහිවතුරට තෙත බරිත වෙලා කියල මම දැක්කේ එතකොට. වැහිවතුරට තෙමිච්ච නයිටියෙන් විනිවිද පේන මගේම පපු පෙදෙස  දිහා මම බලා හිටියේ කන්නාඩියෙන්. ටිකක් වෙලා බලා ඉද්දි මට හිතුන කන්නාඩියටත්  ලජ්ජා හිතෙන්න ඇති කියල. අතේ තිබුන තුවායෙන් පපුව වහගත්තු මම නාන කාමරේට වැදුනේ ඇග සෝදාගෙනම ඇදුමක් දාගන්න හිතාගෙන.

“දරුවෝ එන්නකෝ මොකද කරන්නේ ඔයා මට බඩගිනි”
“එනවා අම්මා” අඩියට දෙකට පඩිපෙළ බහින ගමන් මම කිව්වා
“අද ඔයා කැමති දෙයක් හැදුවා දුවා ඔන්න ඔක්කොම කන්න ඕන” කියපු අම්ම මගේ පිගානට ඉදිආප්ප බෙදුවා. එයා මා වෙනුවෙන් මහන්සිවෙන එක මට දුකක් උනත් ඒක අමම්ට සතුටක්. ඒ නිසා මම එයාට මා ගැන උනන්දුවෙන්න නිදහසේ තීරණ ගන්න ඉඩදීලා තිබුණා. කෑම කාල අම්මට වැදලා කාමරේට ආපු මම එයාට කවියක් ලිව්වා.

තරුකටක් වී නිල අහසේ
ඈත හිද නුඹ දිදුලනා
නින්ද නැති රෑ යාමයේ
මගේ නෙතු යුග විමසනා
රහස් කියනට නුබ ඇවිත් අද
ජනෙල් කවුළුව දිලිසුණා
සමාවෙනුමැන නුඹ එන්න පෙර
සිහින අසපුව ඇරබුනා....................
............................................................................................................................................................
දන්නවද මම මගේ පුංචි කාලෙට හුගක් ආදරෙයි. ඒ තරම් සුන්දර ඒ තරම් ආදරණිය කාලයක් මගේ ජිවිතේ තවත් තිබුනේ නැතිතරම්. ඒ වගේම මම හරිම දගකාරියක් ගමේ කොල්ලෝ රෑනක් එක්ක එකතු වෙලා හරි හරියට සරුංගල් යවන්න වෙල් යායපුරා දුවපු හැටි. තිත්ත පැටවූ අල්ලන්න ඇලේ බැහැල අම්මගෙන් ගුටිකාපු හැටි මට අද වගේ මතකයි. වතුරත් එක්ක අතට ගන්න තිත්ත පැටවූ වතුර ටික බෙරුනාම අත උඩ දගලන කොට දැනෙන කිතිය මට තාමත් මතකයි. එකට බයේ කෑගහල දොලේ වැටෙනකොට නම් අම්මගේ කොටු පාර මතක් උනේම නෑ කියලනම් මට සහතික වෙන්න පුළුවන්.

අපේ වත්තේ තිබුණා ටිකක් උස පේර ගහක්. ලේනියක් වගේ අත්ත දිගේ ගිහින් ගහ උඩම ඉගෙන ගෙඩි කාපු හැටි , දවසක් ඒ ගහෙන් වැටිලා ඔලුව පලාගෙන අම්මත් එක්ක සතියක් ඉස්පිරිතාලේ ඉන්නකොට මට මොකුත්ම නොකිව්වට ඇස් වල කදුළු පුරෝගෙන අම්ම මා දිහා බලාගෙන හිටපු හැටි මට තාම මතකයි.
සතියකට පස්සේ මම ගෙදර එද්දී අපේ වත්තේ තිබ්බ ලොකුම වෙනස තමයි පේර ගහ තිබ්බ තැන නොතිබිච්ච එක. මගේ දගකාරකම් වලට දඩුවම් ලැබුනේ පේරගහට. එයාව මුලෙන් වෙන් කරලා ඈතට අරගන යද්දී මොන තරම් දුකක් හිතෙන්න ඇත්ද ? සමහර විට එකම එක සැරයක් අමායව බලල යන්නම් කියල කියන්නත් ඇති. ඒ දුප්පත් පේර ගැහෙ කන්නලව්ව මගේ අප්පච්චිට ඇහෙන්න නැතිව ඇති . නැත්නම් පේරගහ මට ආදරේ කළාට වඩා මහා ගොඩක්  මයේ  අප්පච්චි මට ආදරේ කරන්න ඇති.

“පුතාව වට්ටපු ගහ මම අයින් කළා”

මුලෙන් වෙන් කරපු පෙරගහේ කදදිහා බලාගෙන හිටපු මට අප්පච්චි එහෙම කිව්වේ ඒක නිසා වෙන්න ඇති. ඒත් අදත් මම ඒ පෙරගහට ආදරේ කරනවා. මගේ බරත් උස්සගෙන මගේ බඩ පිරෙන්න පෙරගෙඩි දුන්න ඒ ගහට මම ඇත්තටම ආදරේ කරනවා. මම නිසාම මේ බිමෙන් සදහටම සමුගත්ත පෙරගහ වෙනුවෙන් පුංචි කදුළු කැට දෙකක් මගේ ඇස් වල හැමදාමත් තියේවි. ඒ වගේම මම හිතනවා ඒ පේරගහ මට සමාව දේවි මම එයාට ගොඩක් ආදරේ කළනිසා.
...........................................................................................................................................................
“ඇයි අමා ඔයා ඇඩුවේ මා එක්ක එන්න බැරිවද ? නැත්නම් අම්ම අප්පචි දාලා එන්න බැරිවද?”
“දන්නේ නැහැ තේමිය”

නිත්‍යානුකුලව මගේ සම්පුර්ණ අයිතිය තෙමියට බාර වුණේ කසාද සහතිකයකින්  විතරක් උනත් එයාට මා එක්ක ඇවිදින්න යන්න ඕන කිව්වම මම බය වුණේ ඇයි කියල මම දන්නේ නැහැ, දවස් දෙකක ගමනක් නිසා සමහරවිට මට බය හිතෙන්න ඇති, සමහරවිඅට පලවෙනි වතාවට අම්ම අප්පචි නැතිව ඒ වගේ ගමනක් යන පලවෙනිවතාව නිසාත් වෙන්න ඇති.

“මෙයා හරියට අඩන්නේ මම දැන්මම කැන්දන් යන්න හදනවා වගෙනේ”
“අපි නැතිව කොහෙවත් ගිහින් නැහැනේ පුතා එකයි”
“බය වෙන්න එපා අපේ අම්මලත් යනවා. අනෙක මගේ දේවල් මම පරිස්සම් කරනවා අමා”

එදා මාව පරිස්සමට එක්ක ගිහින් පරිස්සමට එක්ක ආපු තේමිය පිටරට ගියේ ආපහු ආපු ගමන් කැන්දන් යන්න බලාගෙන එච්චර ඉක්මනට කසාද බැන්දේ තෙමියගේ අම්මට ඕන නිසා. රට ගෑණියෙක් ගෙනෙයි කියල බයට වෙන්න ඇති. එයා එනකම් රස්සාවකට යන්න අවසර ලැබුන එක තමයි මම ලබපු එකම සතුට. අප්පච්චි පොඩ්ඩක්වත් සතුටු නොඋනත් තෙමියගේ ඉල්ලීමට ඉඩ දුන්න මට සමාජය එක්ක හැප්පෙන්න ඉගෙන ගන්න.

”දුවා තේමිය කියපු නිසයි මම ඔයාව රස්සාවට යවන්න කැමති උණේ. එයා ලංකාවට ඇවිත් ඔයාව අරගෙන යනකම් හොදලමයෙක් වගේ ඉන්න ඕන. ඔයාට තේරෙනවනේ මම කියනදේ. “

“ඔවු අප්පචි”
“අපේ දුව කවදාවත් නරක දෙයක් කරලා නැහැනේ ඔයා ඇයි එක පාරටම”
“අපේ දුව වුනත් එයා දැන් තෙමියගේ බිරිද”
............................................................................................................................................................
සිදත් නෙත්සර රැකියාවට ආවේ මම ගිහින් හරියටම මාස හයකට පස්සේ. මාස හයක සේවයේ පළපුරුද්ද තියෙන නිසා සිදත් පුහුණු කරන්න බාර උනෙත් මටමයි. සිදත් දැක්ක ගමන් කෙනෙක්ට තවත් සැරයක් බලන්න හිතෙන තරම් කඩවසම්. ඊටත් වඩා එයා කතාවට රුසියෙක්. මෙයා එක්කනම් ගොලුවොත් කතා කරයි. බොස් එහෙම කිව්වේ මගේ දිහා බලාගෙන.

“ ඇත්තටම අමා ඔයා ඉස්සර කතා කලීම නැද්ද ?”
“කවුද කියන්නේ මම ඉස්සරත් හොදට කතා කළා. මම ගොළුවෙලා හිටපු බවක් මටනම් මතක නෑ.”
“නෑ නෑ මොඩියේ”
“එහෙනම් මෝඩයෝ”
“අමා මම කැමති නෑ මට මොඩය කියනවට”
“එහෙනම් මට මෝඩි කියන්නේ”
“ඒ ඉතින් ආදරේටනේ”
“ඉතින් මමත්” කියවෙන්න ගිය ඉතිරි වචන මම ගිලගත්තා
“ඉතින් මමත්”
“හරි හරි මම මිටපස්සේ නොකියා ඉන්නම්”
“ඔයා හරි ලස්සනට කතාවෙන් පිට පනින්න දන්නවා”
බොරු තරහක් මවාගෙන සිදත් යන දිහා මම බලාගෙන හිටියේ හිනා වේවි.
කාලය පියාබුවේ හරි අපුරූ විදිහට. ගෙදරට වඩා මම ආදරේ කළේ office එකට. අප්පච්චිත් කිව්වා මම දැන් හරිම සතුටින් කියලා.
“අමා මම කෙනෙක්ට ආදරේ කරනවා”
“ෂා මරුනේ ඉතින් ඇයි ඕක ඔච්චර දුකින් කිව්වේ”
“නැහැ දුකින් නෙමෙයි”
“කෝ එයාව මට පෙන්නන්නේ නැද්ද ?”
“මේ ඉන්නේ එයා”
“වාවු හරිම ලස්සනයි. ඔයාටම ගැලපෙනවා”
“හ්ම්ම් එත් ඊටත් වඩා මම දැන් වෙනකෙනෙක්ට ආදරේ කරනවා අමා”
“ ඒ කිව්වේ එතකොට මෙයා”
“ඒක ඉවරවෙලා දැන් අවුරුද්දක්  විතර වෙනවා”
“හ්ම්ම් එහෙනම් දැන් වෙනකෙන්ක්ට ආදරේ කරන්න බාදාවක් නැහැනේ”
“හ්ම්ම්ම් ඔව් ඒ ඇස් දෙක ලග ඒ හිත ලග මම නතර වෙනවා. ඒත් ඒ කිසිම දෙයක් මට අයිති නෑ අමා”
“මොනාද ඔයා කියවන්නේ අනෙ මට තේරෙන්නේ නෑ සිදත්”
“මොකුත් නෑ හලො”\

කියාගන්න බැරි දුකක් හිතේ සියුම් තැන් පහුරු ගානකොට   ආගන්තුක කදුලක් මටත් හොරෙන් එලියට ආවේ ඇයි කියන්න මම දන්නෙ නැහැ.
ජීවිතේ කවියක් වගේම සුන්දර උනේ නැහැ එක එක හල හැප්පීම් උණා . හිටිගමන් අප්පච්චි හොදටම අසනීප උණා. පපුවේ අමාරුවක් කියලයි දොස්ටරලා කිව්වේ. අම්මයි මමයි හිටියේ හරිම බයෙන්. තේමියවත් ලග හිටියා නම් කියල මට අනන්තවත් හිතුණා.

“බයවෙන්න එපා අමා අප්පචිට මොකුත් වෙන්නේ නැහැ. මම ලබන අවුරුද්දේ එනවනේ”
“ඒත් තේමිය”
“මම සල්ලි එවන්නම්. බයවෙන්න එපා අමා”
තවත් කතාකරල වැඩක් නැති නිසා මම නිහඩ උණා. මේ මගේ මිසක් එයාගේ අප්පච්චි නෙමෙයිනේ. අනෙක මට ඇයි බැරි මගේ අප්පච්චිව තනියම බලාගන්න.
“අමා”
“සිදත් ඔයා”
“doctor මොකද කිව්වේ අමා”
“හෙට ඔපරේෂන් එකට ගන්නවා කිව්වා”
බයිපාස් එකට පැයගානක් තියෙද්දී අප්පච්චිට ආයෙමත් හොදටම අමාරු උණා. දොස්තරලා කොච්චර මහන්සි උනත් අප්පච්චි අපිව දාල යන්න ගියා. ඒ කටුතු කොහොම කලාද කියන්න මම දැනගෙන වුන්නේ නැහැ. ඒත් හැම දවසකම සිදත් ඇවිත් හුගක් මහන්සි උණා.  මාව සනසන්න උත්සහ කරපු හැටිත් මට යන්තමට මතකයි.

“මේ අහන්න අමා. අඩන්න එපා. ඔයා ඔහොම අඩද්දී අම්මව බලා ගන්නේ කවුද?”
“මම උත්සහ කරන්නම් තේමිය”
“මට තේරෙනවා ඔයාටත් දුකයි තමයි ඒත්. මේ වෙලාවේ අම්මට ඔයාව ඕන අමා”
“මට තේරෙනවා තේමිය. ඔයාට ගොඩාක් ස්තුතියි මේ දවස්වල අපි වෙනුවෙන් මහන්සි උනාට”
“ඒව නම් ඉතින් මොනාද?”
පුරුදු සැහැල්ලුව එක්ක සුපුරුදු හිනාව. මම සිදත් ඈතට යන්කම්ම බලා හිටියා”
“මගේ අම්මට මම ඉන්නවනේ”
“අඩන්න එපා අමා අප්පච්චි කැමති නෑ අපි අඩනවට”

මට පුදුම හිතුණා ඒ දුකත් අම්ම දරා ගත්තා ඒ මම නිසා වෙන්න ඇති සමහරවිට.  මට හොරෙන් අම්ම අඩනවත් ඇති හුල්ලනවත් ඇති එත් අම්මා ගෙදර වැඩ වගේම තාත්තගේ අඩුව පුරවන්නත් කිසිම කතාවක් නැතිවම භාර ගත්තා.
සිදත් නෙත්සර කාරියවසම් ආදරය මගේ හිතේ අකුරුකලේ මටත් නොතේරෙන්න උනත් හරිම සුන්දර විදියට .
............................................................................................................................................................
කිසිම දෙයක් හරියට තොර බේරගන්න බරිවිදිහට බොස් මට දොස් කිව්වේ ඇයි. අගක් මුලක් හොයා ගන්න බැරිව පබගාලක පැටලිලා වේදනාව උහුලගන්න බැරිව ඇස් වලින් වැටෙන කදුලුවලට ඉඩ දීලා මම හුගක් වෙලා ඉන්න ඇති. කදුළු එක්ක වෙනද වගේ දුක දිය උනේ නැත්තේ ඇයි කියල මම දන්නේ නැහැ.
“අමා” ඒ ආදරණිය කටහඩ ලගින්ම ඇහුණා.

“මොකද වුණේ අමා”
“බොස් මොකුත් කිව්වද”
“මොකුත් නැහැ සිදත්”

මම ඒ ඇස් දිහා නොබලාම වචන අහුලගත්ත. ඒක බොරුවක් කියල සිදත් දන්නවා කියල මම දන්නවා. බොස් කියන විදිහට මම රාජකාරිය පැහැර හරියේ නැහැ. අනිසි විදියහට හැසිරිලාද නැත. එහෙනම් ඔහු එහෙම කිව්වේ ඇයි. මට නිදහසට කරුණු කියන්න අවස්ථාවක්වත් දුන්නේ නැත්තේ මම මොන වරදක් කලාටද.

“අඩන්න එපා අමා”

මගේ ඔලුවට අත තියාගෙන එහෙම කියපු සිදත් මගේ කදුළු පිහදලා ඔලුව අතගාද්දී ඒ පපුවට ඔලුව තියාගන්න මට නොහිතුනාම නෙමෙයි. එත් මම ලොකු උත්සහයක් අරගෙන මාව නවත්ත ගත්තා. මට තවත් මාව නවත්ත ගන්න බැහැ කියලා හිතුනම ඔයාගේ අතට හිරවෙච්ච ඔයාට අයිති නැති මගේ අත ගලවගද්දී ඔයාගේ අත මගේ හිස පුරා එහාට මෙහාට දුවන්න පටන් ගත්තා.

“අනේ එපා සිදත්  මට ඔයාගේ පපුවට ඔලුව තියාගන්න හිතෙනවා “

හිතින් කිව්වට ඒ වචන පිට නොකළේ එහෙම කිව්වනම් ඔයා ඒ වෙලාවේම මාව තුරුල්කර ගන්න බව දන්න නිසා. එත් සිදත්ගේ අත මගේ කම්මුල් වල හෙමින් හෙමින් දුවද්දී එයා මගේ නෙමයි කියල මට හිතුනෙම නෑ. ඒ ආදරණිය බව නිසාම මට තවත් මගේ ගැහැණු හිත පාලනයකරගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ. ඒ පපුව අස්සේ මුණ හංගගෙන මට ඇති වෙන්න අඩන්න ඕන වුනත් ඒ පපුව ගැහෙන සද්දේ අහගෙන මම ටිකක්වෙලා හිටියා. ඈත් වෙන්න උත්සහ කරන්න කරන්න ඒ පපුවට තව තවත් තද වෙද්දී මම නිහඩ උණා
ඒ පපුවෙන් ඈත් වෙලා වචන ගලපගන්න මට තවත් ගොඩක් වෙලා ගියා.

“මට සමාවෙන්න සිදත්”

එත් ඒ වචන ඇහෙන මානයක සිදත් හිටියේ නෑ. සිදත්  මට මෙතරම් ආදරනියයි කියා දැනගෙන සිටියත් මම එයාට  මෙච්චර  ආදරය කරන බවක් මා දන සිටියේ නෑ . ඉතින් එදා  මම අපි දෙන්නා  වෙනුවෙන්ම කදුළු එකතු කරගෙන ගෙදරට ආවා.

දයාබර සිදත්
ජිවිතේ සුන්දර තැන් පුංචි පද පේලියකින් කියන්න හැකිනම් ඒ මොහොත ඉතා ආදරණියයැයි මම ඔබට  කියමි. අපි බලාපොරොත්තු නොවන මොහොතක අපෙ හිත් වල ඔහේ පාවෙන්න ඉඩ දෙන්න පුළුවන්. හරියට ඔයාගේ පපුවට ඔලුව තියාගෙන මගේ හිතට නිදහසේ පාවෙන්න මම ඉඩ දුන්න වගේ.

ඉර හැංගෙන්න ඔන්න මෙන්න තියෙද්දී නිදහසෙ ඇදගෙන වැටෙන කදුලුවලටත් හොරෙන් මගේ හිත සුවපත් කරන්න වේදනාව අමටක කරවන්න ඔයාට තිබුණේ පුදුම බලයක්. ඇස් දෙක පියාගෙන අදත්  ඒ උනුහුමට තුරුලුවෙන්න මට පුළුවන් ඒ මොහොමත ඒ තරම්ම ආදරණියයි. ලෝකයක් බලා ඉද්දි මම මාව අමතක කලාද . මට දැනුන ආදරයට අවනත උනාද කියල පහදන් වචන මම දන්නේ නැති තරම්. කොහොම වුනත් ඔයාගෙන් සමාව ඉල්ලන්න කියලා හිත බල කරන්නේ  ඔයාගේ උණුහුමවත් ඔයාගේ ආදරෙවත් මට අයිති නැති නිසාම වෙන්න ඇති.

සත්තයි ඔයාගේ පපුවට ඔලුව තියන්නේ නැතිව ඉන්න මගේ හිත හඟ ගන්න මම ගොඩක් උත්සහ කළා. ඒත් ඔයා එකට ඉඩ දුන්නේ නැහැ එත් මට තව උත්සහ කරන්න තිබුණා නේද ?ඉතින්  මම වැරදි නේද ?
ඒත් එච්චර ආදරෙන් ඔයාගේ අත මගේ හිස  පුරා දුවද්දී කම්මුල් පුරා ඇවිදිද්දී ඒ උණුසුමෙන් හැංගෙන්න පුළුවන් කමක් මගේ ගෑණු හිතට තියෙන්න පුලුවන්ද ?

ඒ වුනත් මොකක්දෝ දුකකින් හිත හිරිවට්ටන තරම් සතුටකින් මට ඒ මොහොතේ තවත් ජීවත් වෙන්න පුළුවන් මගේ හිත මට ආපහු දෙන්න කියල ඉල්ලන්න හිතුනත් ඒ හිත ඔයාලග තුයාගන්න කියල කියන්න හිතෙන වාරත් අනන්තයි. එත් ඔයාට ඕන උන දවසක ඔයාගේ මතක පොතෙන් මගේ මතකය කටුගාල දාන්නත් මම ඔයාට අවසර දෙනවා. ඒ අපි අපිට ආදරේ නැති හින්දම නෙමෙයි අපි අපේ වෙන්න අවසර නැති හින්ද

මම
අමායා

මහා වැහි කොඩයක අකීකරු විදිහට වැසි වැටෙන අහස දිහා බලාගෙන සුන්දර අරුනැල්ලක් අරගෙන තේමිය ඉද්දමල්ගොඩ එනකන් මම ජනෙල් කවුළුවෙන් එපිට බලා ඉන්නවා. ඔයාගේ පපුව අස්සේ මම හොයපු ඒ ආදරය මහා වැස්සක් තරම් තේමිය ඉද්දමල්ගොඩගේ පපුතුරේ සැගව තිබේවා යැයි මම දස දහස් වාරයක් පාර්ථනා කරනවා.