Sunday, December 6, 2015

ගුරුපාරෙන් තාරපාරට


හ හුගක් අහස කළු කරල යාන්තමට වැහි පොදයක් කඩාගෙන වැටුනෙ රත්වෙලා තිබුණ තාර පාරෙන් දුම් වලාවකුත් අහසට නග්ගන ගමන්. ඊයෙ අතට අරගත්තු මහපොලෙන් රුපියල් විසි පහක් වියදම් කරල  පාන් කාලක් විතරක් අරගත්තෙ මාසෙ වියදම ගනන් බැලුවොත් ඒක මදි බව හොදටම දන්න නිසා.

තියන ඇදුම් දෙක තුන බෑග් එකට දාගෙන තාරපාර දිගේ ඇවිදගෙන එද්දි හතර පස්දෙනෙක් ඇගේ වැදුනත් ඒක ඒ අයටවත් මටවත් ගානක් නොවුනෙ ඒ තරමටම ඒක දැන් සාමානයය සිද්ධියක් වෙච්ච නිසා. ටික දුරක් එද්දි දැනුන කුණු ගද ඉවසන්න බැරි තරම් වුනත් කාක්කො රෑනක් එකතුවෙලා මීකුණ එහාටයි මෙහාටයි අදිනව දැක්කම උදේ කෑම එක උගුරට එන එක නවත්තගන්න  අහක බලාගෙන දුවල දුවල ගිහින් සිටි ෆාමසි එකට ගොඩවුනේ තාත්තගෙ බෙහෙත් ටික අරගන්න.

ෆාමසියෙන් සුදුපාට කවරෙක ඔතල දුන්න බෙහෙත් ටික ඇඳුම් දෙකතුන අස්සෙ හංගගත්තෙ වෙන කවුරුවත් ගනී කියල බයට නෙමෙයි පරිස්සමට. මිනිස්සුන්ට එහා මෙහා යන්න කියල හදල තියන පේමන්ට් එක දෙපැත්තෙ ඉදන් පාට පාට අරුමෝසම් බඩු මගෙ දිහා බලල හිනාවෙනව. මමත් ඒව එක්ක යන්තම් හිනාවෙලා රටකජු ගොට්ටක් ගත්තෙ නංගිට ගෙනිහින් දෙන්න.

"කොහාටද"
"තිස්සමහාරාමයට"
"ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම්"

කඳුළු ඇස්




වරගිරින් ඉර බැහැල යන්න ඔන්න මෙන්න. හැන්දෑ අහස රතුම රතු පාටයි. පෙරලිකාර හුළගත් එක්ක ඔට්ටුවෙන හිතුවක්කාර කෙහෙරැල්ලක් ඔයාගෙ අතින් අල්ලල නවත්ත ගද්දි මෙච්චර වෙලා හිරකරගෙන හිටපු හිත ඇස් අගිස්සෙන් නිහඩවම එළියට පැන්නෙ මගේ අවසරයක් නැතුව.

"අඩන්න එපා මයෙ මැණික"

එහෙම කියල කම්මුල් වලින් පහලට වැටෙන්න නොදී ඔයාගෙ ඇගිලි තුඩුවලට හිරවෙච්ච කඳුල යට කරගෙන තවත් කඳුලක් එළිය‍ට ආවෙ ඔයාට ඔච්චමට වගේ.

"අවුරුද්දයිනෙ අවුරුද්දෙන් මම එනව. ආපු ගමන් මැරි කරමු . හරිද කෝ ඉතිං චුට්ටක් හිනාවෙන්නකො. මම යන්න ඕන පරක්කුවුනා. "

හිනාව වහගෙන ඉස්සර වෙච්ච ඉකිය මම නවත්තගත්තෙ ඔයාගෙම පපුව අස්සෙ ඔළුව හංගගෙන. ඒ අත ආදරෙන් එහාට මෙහාට යද්දි හිත සුවපත්වුනා.

"අවුරුද්දයි කියන්නෙ මාස දොලහයි. ඊට පස්සෙ මම ඔයාලග" එහෙම කියල නලළට හාදුවක් දෙනකොට මම ඇස්පියාගත්ත. "ගිය ගමන් කෝල් කරන්න බුදුසරණයි!"

"ඔයත් පරිස්සමෙන් ඉන්න මම එනකන්. බුදුසරණයි!"

අසංක රට ගියේ අවුරුද්දකට. ඒත් මට ඒක කල්පයක් වගේ දැනුනෙ ඇයි කියල මම දන්නෑ. පොරොන්දු වුනා වගේම එයා ගිය ගමන් කෝල් කරා. ඊට පස්සෙත් නිතරම කතා කරපු නිසා මට දැනුනෙ එයා මාලග මා එක්ක ඉන්නව කියල. ඒ සුවඳ මම හදවතින් විදගත්ත.
දවල් කෑම කනවට වඩා, හවස තේ එකට වඩා මට ලොකුවුනේ එයා එක්ක කියවන එක. විස්තර අහන එක

 "මිස් තේ එක නිවිල"
"හා කමක් නෑ මම නිවිල බොන්නෙ"

මේ දවස්වල තමයි ඔෆිස් එක ලග තියන පේමන්ට් එකට සිමෙන්ති ගල් ඇල්ලුවෙ. ඒව කපන සද්දෙත් එක්ක මට පුදුම තරහක් තිබුනේ. ඒ ඉතිං අසංක කියන දේ මට ඇහෙන්නැති නිසා. ඒත් පේමන්ට් එකේ ඇවිදින්න පුළුවන් දැන් තමයි කියල මට පස්සෙ හිතුණ.
මාස තුනක් විතර යද්දි අසංකට මට කතා කරන්න අමතක වෙන වෙලාවල් වලට ඔෆිස් එක ලග ඉදල බස්හෝල්ට් එකට යනකම් සිමෙන්ති ගල් ගනින්න මම පටන් ගත්ත. ඒත් කවදාවත් ගැනල ඉවර කරන්න ලැබුන්නෑ. ඒ මගක් යද්දි එයාට මාව මතක් වෙන නිසා.

"මොකද සුද්දි කලේ"
"පේමන්ට් එකේ ගල් ගැන්න"
"ගැනල ඉවරද"
"හ්ම්ම් ඔයා කතාකලානේ"
"බුදුසරණයි මයෙ මැණික පරිස්සමෙන් ඉන්න" කියල ෆෝන් එක තියන්නෙ හිතකින් නෙමෙයි කියල මම මටම කියාගත්ත.

මම තාමත් දින ගනිනව. දැන් අසංක ගිහින් හරියටම මාස හයක්. ඒත් එයාට හරියට වැඩලු කතාකරන්න වෙලාවක් නැතිලු.

"මිස් තේ එක උණුයි"
"කමක්නෑ මට තිබහයි"

පිච්චි පිච්චි බොන තේ එක මගේ ඇස්වලින් පිටවෙන්න හදන හිත පුච්චල දානව කියල මට තේරුනෙ පස්සෙ. කොහොමත් තව මාස හයනෙ.

හැමෝම හඳ දිහා බලාගෙන හූල්ලනව ඒ හඳ අල්ලන්න බැරි නිසා. ලබාගන්න බැරි නිසා. ඒත් මට හඳ තියාගන්න එපා. මගෙ දුක අහන් ඉන්න ටිකක් නතරවුනානම් ඇති. මගෙ දිහාවත් බලන්නැති හඳ වලාකුළු අස්සෙ හැංගුන. තනියම කියවන්න මම පුරුදුවුනේ කවද්ද කියලනම් මට මතක නෑ. ඒත් හැම රෑටම මම හඳත් එක්ක කතාකරනව. කතානොකරන ජංගමය ලග තියන් හදත් එක්ක කියවනව.

"මොකද ඔයකරන්නෙ"
"ගනිනව"
"මොනවද"
"මෙතන ඉදල බස්හෝල්ට් එකලඟට තියන ගල්"
"පිස්සුද ඇත්තටම"
"නෑ අනේ කවදාවත් ගනින්න වෙන්නෑ අසංක කෝල් කරනව"

බස්හෝල්ට් එකට පුංචි දුරක්හරි තියෙද්දි එන කෝල් එක මට හැමදේම අමතක කරවනව. පුංචි වෙලාවක් හරි මට ඒක ලොකු කාලයක්.

"අවුරුද්දත් ඉවරයි ඔයා එනවද"
"කියන්නකෝ"
"එන්න ඕනනෙ වීසා ඉවරයිනෙ"
"කවද්ද එන්නෙ"
"ඉකමනටම එනව ඔයාව බලන්න"

එදා මම ගෙදර ගියේ කිරිල්ලියක් වගේ මම හරිනම් ඔයා මේ සතියෙ එන්නම ඕන ඔයාගෙ වීසා ඉවරයි. දන්නව නොකියම එනව කියල මාව පුදුම කරවන්න.
ඔයා හෙට එයි ගෙදර යන්න කලින්ම මාව බලන්න එයි ඒ මාව පුදුමකරවන්න. මම රැවටෙන්නෑ. සුද්දි හෙට නිවාඩු දාන්න කියයි. ඔයා එහෙමනෙ. ඒකනෙ මම ඔයාට මෙච්චර ආදරේ. මම හීන දකිනව වැඩිද මන්ද?
දවස් දෙකක් ගියා තාම කතාවක් නෑ මට තවත් මාව පාලනය කරගන්න බැහැ මොකක්දෝ දෙයක් හිත පහුරු ගානව තුවලයක් වගේ වේදනාවයි. වයිබර් මැසේජ් එකක් දැම්මෙ ඉදල ඉදල බැරිම තැන

"ඔයා කවද්ද එන්නෙ"
"මම ආව"
"ආවා"
"කවද්ද ආවෙ"
"දවස් දෙකක්"
"දවස් දෙකක්"
"ඔව්"
පහුරුගාන හිත එහෙම්මම ඇස්පියන් උඩ දගලන්න ගත්ත. නතරකර ගන්න බැරි තරම් වුනත් හැමෝම බලන් ඉන්න නිසා තදකරගෙන හිටිය.
"මිස් තේ එක"
සරාං ගාල බිමට වැටුන තේ එක , ටයිල් පොලව උඩ සුදුපාට කෝප්පෙ කෑලි.
"සමාවෙන්න"
"කමක් නෑ මිස් මම අස්කරන්නම්. වෙන තේ එකක් ගෙනත් දෙන්නම් ඉන්න."
"එපා කමක් නෑ"
"කමක් නෑ මිස් ඉන්න"

තප්පරයකටවත් නතර කර ගන්න බැරි ඇස්වල කඳුළු ගෙදර යනකම් නවත්තගන්න ඕන. ඒත් කොහොමද?.


ෂෝට් ලිව් එකක් දාල එළියට ආපු මම බිම බලාගෙන පේමන්ට් එකේ සිමෙන්ති ගල් ගැන්න හරියටම 158 ක් තිබුණ.ඒත් බස්එකට නැගල වාඩි වෙලා තප්පරයක් යද්දි තෙමෙන ඇස් මට කිව්වෙ දැන් ඉතිං මේ ඇස්වල කඳුළු නවත්තන්න පේමන්ට් එකේ ගල් ගැනල හරියන්නෑ පුංචි පුංචි වැලිකැටත් ගනින්න ඕන කියල.