Friday, January 22, 2016

රුපියල් දහස



අනුකම්පාවක් නැතිව රෑ පුරා වැටිච්ච වැස්සට මල්ලිකාගෙ ගේ විතරක් නෙවෙයි ලිප්බොක්කත් හොදටම තෙත් වෙලා. ඒ මදිවට ලිප පත්තු කරන්න ගන්න භූමිතෙල් බෝතලෙත් පතුලටම හිදිල කියල දැක්කම යන්තම් හුල්ලපු මල්ලිකා කාමරේ තිබ්බ කුප්පිලාම්පුව කුස්සියට උස්සගෙන ආවා.

යන්තම් ඉතිරිවෙලා තිබ්බ භූමිතෙල් ඩිංග ලිපට හලල ලිප මොලව ගන්න උන්දැ නොකරපු උත්සහයක් නැතත් යන්තම්වත් දුම් ටිකක් ඒ ලිප ඇතුලෙන් එළියට ආවෙ නැත්තේ මල්ලිකා එක්ක තරහට වගේ.

බක බක බක ......

ඒ මදිවට ඊයෙ රෑ වැස්සට ගේ ඇතුලට වැදිච්ච ගෙම්බෙක් තොර තෝන්චියක් නැතිව කෑගහන්න ගද්දි මල්ලිකාට තව ටිකක් කේන්ති ගියා.

"අම්මෙ මගෙ කොණ්ඩෙ ගොතන්නකෝ"
"හිටපං පුතේ අද මේ ලිප අවුලව ගන්නම බෑනෙ දරුවෝ"
"මට තේ ඕන නෑ අම්මෙ පරක්කුවෙනවා"

පුංචි කමට කෙල්ල එහෙම කිව්වම මල්ලිකාට කට කොනකින් හිනාවකුත් ගියේ අඩන්න බැරි කමට උනාට හිත ඇතුල ඉකිගහනවා කියල මල්ලිකාට දැනුනා.

තල තලා හිටපු පොල්කට්ට එහෙමම කුස්සිය මුල්ලට විසික්කරපු මල්ලිකා නැගිටින්න හදද්දි අතගාවටම ආපු ගෙම්බට හිතින් බැන බැන පොල්තෙල් බෝතලෙත් අරන් ඉස්තෝප්පුවට ගියේ අල්ලට පොල්තෙල් ඩිංගක් හලා ගන්න ගමන්.

"ගෑණු ළමයට තවම බැහැ නේද කොණ්ඩෙ අවුල කඩාගන්න. මම හැමදාම කියනවා කොණ්ඩෙ අවුල කඩාගන්න කියලා."
"මම අවුල කැඩුව අම්මෙ"
"ඔව් ඔව් අගේට අවුල කඩල තියෙන්නෙ"
"ආව්"
"ඒකතමයි මම කිව්වේ"
"රිද්දන්න එපා"

හෙමි හෙමිහිට කොණ්ඩ ගස් අස්සෙන් ඇගිලි තුඩු යවල අල්ලගත්ත උකුණෙක් දෙන්නෙක් මල්ලිකාගෙ මහපටගිල්ලෙ නියපොත්තට මැදිවෙලා චිරිස්ගාල සද්ද කරගෙන අවසන්ගමන් ගිය ගමන් කෙස්ගහෙන් ගහට වහල හිටපු ලේඩි අදින්න පටන් ගත්තු මල්ලිකාට කෙල්ලගේ චක් චුක් හඩ දැන් හොදට පුරුදුයි.

"අනේ අම්මෙ"
"මොකද උකුණො ඇතිකරනවද"
"පරක්කු වුනානේ"'

පැල කොණ්ඩවලට උකුණො වහන එක නවත්තන්න අමාරු වුනත් මේ කෙල්ල ඔලුවට අත තියන්න දෙන්නෙත් නැහැනෙ මල්ලිකා ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සහ කලා.

"අම්මෙ ටීච රු.1000/- හෙට ගේන්න  කිව්ව"
"මොන රු. දාහද"
"ඇයි මම කිව්වෙ තීන්ත ගාන්න"
"හ්ම්ම්"
මල්ලිකා එක පාරට විසික් කරපු සුසුම හුළඟටත් බර වැඩි කියල හිතුනත් කැරකි කැරකි ආපු සුළග ඒකත් අරගෙන අකමැත්තෙන්ම ඉස්සරහට ඇදිල යන්න ගියා.
"ඇහුනද ඔයාට"
"ඔව් ඔව් ඇහුන. තාත්තටත් සනීප නැනෙ පුතේ ලබන සුමානෙ දෙන්නම් කියන්න"
"අනේ මට බැහැ අම්ම ඇවිල්ල කියන්න"

එහෙම කියල දන නවල මල්ලිකාට වැදපු කෙල්ල ඇද ගාවට ගිහින් තාත්තටත් වැදල පාරට ගියේ සුදු ගවුම දනින් පහලට ඇද ඇද. හෝදන තරමට දියවෙච්ච සුදු ගවුම් දෙකේ වාටි දිග අරින්න කාලෙ හරි කියල හිතපු මල්ලිකා ආයෙමත් කුස්සියට ගියේ අදම ඒක කරන්න ඕන කියල හිතාගෙන. හැමදාම නැතිබැරිකම් කියන්න කෙල්ලටත් බැරිව ඇති.

යන්තම්වත් රත්වෙලා නැති ලිපට රෙදි පාංකඩ දෙක තුනක් ඔබල ගිනිකූරක් ගැහුවෙ දැන්වත් පත්තුවෙයන් කියල දෙයියන්ට කිය කිය. පොල්කටු කෑලි දෙක තුනට පිං සිද්ද වෙන්න යන්තම් ඇවිලෙච්ච ලිප උඩට කේතලේ ලංකරපු මල්ලිකා. තාමත් මුණින් අතට හැරිල නිදාන ඉන්න පුංචි එකාට චීත්ත රෙද්දක් පෙරෙව්වෙ යන්තමින් ඔලුව අතගාන ගමන්.

"මේ පාර කෙල්ලගෙ ගවුම මැහුවෙ නැද්ද මල්ලිකා"
"ම්හු"
"ඒකිගෙ ගවුම කොටවෙලා"
"හ්ම්"
"ඇයි ඔයා රෙදි ගේනන ගියා නේද?"
"හ්මම් ගියානම් තමයි ගවුමට රෙදි ගන්න ඒ කූපන් කෑල්ල මදි. තව තුන්සීයක්වත් ඕන කිව්ව. ඒකෙන් තමයි පොත්ටික ගත්තෙ"
"අනේ මන්ද"

මල්ලිකා කුස්සියට යනකොට පොල්කටු කෑලිටිකත් නිවිල. යන්තමින් රත් වෙච්ච වතුරෙන් තේ කහට කෝප්ප දෙකක් හදාගෙන සුමනපාලටත් දීල අල්ලට සීනි ඩිංගක් දාගෙන උගුරට දෙකට බීල දැම්මෙ ඇල් මැරිල තිබුණ හින්දම නෙවෙයි. කටේ තිබ්බ හුලන් සේරම ලිපටම පිබල පිබල වේලිලා තිබ්බ උගුරකට තෙමාගන්න ඕනා නිසයි.

 සුමනපාලගෙත් මූණකට සෝදල ඇදේ විට්ටමට හේත්තුකරලා පුංචි එකාව අවදි කරගත්ත මල්ලිකා තනපුඩුව කටට දුන්නේ කිරිතියනවටම නෙමෙයි නැගිටපු ගමන් රෑහියෙක් වගේ අඩන එක නවත්ත ගන්න හිතාගෙන. උරලා උරලා බඩ ගෙඩියට හුලන් පුරවගත්තු පුංචි එකා බෙල්ල බදාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.
..................................................................................................
මේ වගේම දවසක බයිසිකලේ වාහනයක හප්පගෙන සුමනපල ඇදටම නොවැටෙන්න හෙට කොහොමහරි මේ රුපියල දාහ හොයල කෙල්ලට දෙන්න තිබ්බා. එත් අද රුපියල් දාහක් කොහෙන් හොයන්නද ? .  හදුන්කුරු ඔතල එදාවේල හොයාගත්තට මෙච්චර මුදලක් නම් හොයාගන්න ලැබෙන්නෑ කියල මල්ලිකා දැනගෙන හිටියා.
ලැජ්ජාවයි බයයි දෙක කුස්සිය මුල්ලට විසික්කරලා පාරට බහින්න පුළුවන් උනානම් එත් එකට හිත හදාගන්න මල්ලිකාට බැරි උණා.

“මොකද උබ ඔතන හොරගල් අහුලන්නේ”
“මොකුත් නෑ මහත්තයා”

ලොකු මහත්තයාගේ මෙසේ උඩ කුට්ටි කරලා තිබ්බ දාහේ නෝට්ටු ටික දිහා බලාන හිටපු නිසාදෝ මන්ද මහත්තය ඒ ටික ඉක්මනට ලාච්චුවට ඔබා ගත්තා. එත් මට ඕනා දාහක් විතරනෙ.

“මහතතය මට පඩි සල්ලි වලින් කැපෙන්න ......”
“ හා හා මේ උබට තව නයට දෙන්නේ නෑ. අනෙක උබ වැඩ කරනවාට වඩා නිවාඩු. හ්ම්ම් පලයන් පලයන් වැඩ පරක්කු වෙනවා. පොඩි එකා එක්ක ඔට්ටුවෙනවා මිසක් උබ කරන ඇති වැඩකුත් නැහැනේ”

ගලෙන් පට්ටයක් ගත්තත් ඔය මිනිහගෙන් නායක ගන්නවා කියන්නේ දැන් ඉතින් බොරු
.....................................................................................................
පොදිඑකවත් කිහිලිගන්නගෙන මල්ලිකා දවල් කෑමට ඉක්මනට ගෙදර දිව්වේ කහට උගුරක්වත් නැතිව ඉස්කෝලෙගිය කෙල්ලට දවල්ට කන්න මොනා හරි රත් කල තියන්න ඕන නිසයි.

ඉර අවුව යන්තම් වැටිලා දරමැස්සටයි ලිපටයි පුංචි සහනයක් ලැබිල තිබුනට දුම්වලාවක් විනා ගින්දර හරිහැටි ඇවිලුනේ නැති ලිපෙන් කුස්සිය පුරාම මීදුමක් වගේ කැරකුණ දුම් වළල්ලට අහුවෙච මලිකාටයි පුංචි එකාටයි කැස්සක් පටන් ගත්තේ එකටම වගේ.

ඒක දැකලද මන්ද ලිපගාව හිටපු ගෙම්බා අයෙමත් බක බක ගාන්න පටන්ගත්තේ හරියට මල්ලිකා ට උඩ පැන පැන හිනා වෙනවා වගෙයි
යන්තම් මඤ්ඤොක්කා අලයක් තම්බල පොල්ටිකක් ගාලා තිබ්බේ රෑට වත් බත් ටිකක් උයල දෙනවා කියලා හිතාගෙන

“අම්මේ”
“මයේ පුතා ආවද”
“ඔන්න අම්මේ හෙට මට අර දාහ ඕනෑමයි”
“ ඒ මොකද”
“හෙට සල්ලි ගෙන්න ඕන හෙට තමයි අන්තිම දවස කිව්වා හෙට සල්ලි ගෙනියන්න බැරිනම් මම ඉස්කෝලේ යන්නේ නැහැ ඔන්න”
එහෙම කියද්දී කෙල්ලගේ ඇස් වලින් දොට්ට පැන්න කදුළු කම්මුල දිගේ බෙරෙද්දී පිටි අල්ලෙන්  පිහදා ගන්න හැටි මල්ලිකා බලන හිටියේ “මම මොනා කරන්නද දුවේ” කියන්න වගේ .

“ මම හෙට සල්ලි හොයල දෙන්නම් දැන් නාඩ ඉදින්’
සුදු ගවුමවත් ගලවන්නේ නැතිව පොතකුයි පැන්සලකුයි අරගෙන පිල්කඩේ වාඩි වෙච්චි කෙල්ල මොනවදෝ ලියන්න පටන්ගත්ත. ටිකක් වෙලා ඒ දිහා බලන හිටපු මල්ලිකා

“මල්ලිවත් බලාගෙන ඉදපන් මයේ පුතේ” කියල එලියට බැස්සේ අයෙමත් වැඩට යන්න හිතාගෙන
“අම්මේ........”
“ඇයි පුතේ මම සල්ලි හොයාගෙන එන්නම්”
“මේක තැපැල් කරන්න”
“මොකක්ද මේ කාටද”

ඒක ඇහෙන්න කෙල්ල ලග උන්නේ නෑ. මල්ලිකා හෙමිහිට කොලකෑල්ල දිග ඇරලා බැලුවා.

ආදරණිය ඇමති මාමේ !

මේපාර මට සුදු ඇදුමට රෙදි ගන්න කියල සල්ලිදුන්නේ මාමා කියල අපේ ඉස්කෝලේ ටීචර් කිව්වා. ඒකට බොහොම ස්තුතියි . ඒත් මට සුදු ගවුමට රෙදිගන්න බැරි උනේ ඒ සල්ලි මදිඋන නිසාය . ඒ වුනාට  මේපාර ඉස්කොලෙට අපි පොත් ගත්තේ ඒ සල්ලි වලින්ය.

අලුත්ම අලුත් සුදු ගවුමක් නැති උනාට අපේ අම්ම මට පරණ ගවුම වාටිලිහල මහල හදල දෙයි. අලුත්ම අලුත් පොත් නැති උනාට පරණ පොත්වල ලියපු නැති කොළවලින් මට පොතක් හදා ගන්නට පුළුවන්ය.

එත් ඉස්කෝලේ පන්ති කාමරයට තීන්ත නොගාම බැරිය. ඩේස් බන්කු පාට නොකරම බැරිය ඒ නිසා ලබන අවුරුද්දේ මට දෙන රුපියල් පන්සීයට තව පංසීයක් එකතු කර අපේ පන්තියේ තීන්ත ගාන්නට දෙන්නේ නම් පින්සිදු වන්නේය.

ස්තුතියි
මෙයට
සදුනි හිමයා




No comments:

Post a Comment