Sunday, April 21, 2019

පිපාසිත මිනිස්සු

අපි හිනාවක් උරුම නැති රටක මිනිස්සු

උඹ හොඳින්ද ? අහන හැමෝටම කියන්න තියෙන්නෙ මම හොඳින් ඒත් ඇත්තටම මම හොඳින් නෙවෙයි කියලා. මිනිස්සු මේ තරම් ලේ පිපාසයකින් පෙලෙන්නෙ ඇයි. පුංචි කාලෙ ඉදන් අද මේ වෙනකම් රටක් බෙදාගන්න කුලල් කා ගන්න එකයි.. ඒ ලේ විල පාලනය කරන්න කුලල් කා ගන්න එකයි දැක්කේ... ⁣මොන තරම් දේවල් දැක්කද මොනතරම් බයේ ගැහි ගැහි හිටියද?

පුංචිම කාලෙ තාත්තා ලොරියෙ වැඩට ගියාම බෝම්බයක් පිපිරුණා කිව්වම බයේ ගැහි ගැහි බලා හිටියා. සමහර දවස්වල තාත්තා දුරින් ඉන්නැද්දි බෝම්බය පුපුරා ගිය හැටිත් ගිනි දළු නැඟුන හැටිත් කියන හැටි රස කතාවක් වගේ කට ඇරගෙන කම්මුලේ අත් දෙක ගහගෙන අහගෙන හිටියා.  ඒ අපේ නොතේරුම් කමට.

ඒ වගේම ගෙදර ඉන්නත් බයේ හිටිය කාලයක් තිබුණා. කුප්පිලාම්පු පත්තු කරන්න එපා කිව්වම එළියක් නැති වුණාම බයේ කෑ ගහන මම වෙනුවෙන් බාල්දියක් ඇතුලෙ කුප්පිලාම්පුව පත්තු කරලා තියලා මට නින්ද යනකම් බලා ඉන්න අම්මටයි තාත්තාටයි සිද්ධ වුණා ලාම්පුව නිවන්න...

ඇයි ඒකට එච්චර බය කියලා නොදන්නව වුණත් අපි බයේ මුළු ගැන්විලා හිටියා.. ඒ අතීතය අමතක කරන්න ලේසි නෑ..

නුගේගොඩ නෝ ලිමිට් බෝම්බය ඔන්න මෙන්න තියෙද්දි එතැනට කිට්ටු කරලා හිටපු අපි නෝ ලිමිට් එක පිච්චෙන හැටි බල බලා ගෙදර එන්න සිද්ධ වුණා.

අද අායෙමත් ... ඇයි මිනිස්සු  ලේ හලන්න මෙච්චර කැමති. ජීවත් වෙන පුංචි කාලයට රටක් බෙදාගන්න ඉඩමක් බෙදාගන්න බලය බෙදාගන්න ලේ හලන්න ඕනිමද?

ජාති ආගම් බේදයකින් තොරව මිනිස්සු මිනිස්සුන්ව මරණ්න සූදානම්.. නැතිවීමක් ශෝකාන්තයක් මිස අන් යමක් එතැන තියනවද?

ඒ වුණත් අපි ඇඟිල්ලක් කැපුනත් මර හඬින් කෑ ගහන මිනිස්සු. අනුන්ට හැර තමන්⁣ට වුණොත් වඩාත් දැනෙන මිනිස්සු

Wednesday, April 17, 2019

නිදිමතනම් නිදාගන්න

නිදිමත නම් නිදාගන්න

මේ අවුරුදු නැකතට කොහා හඬන හඬට වඩා ඇහුනේ කඳුළු කඩා වැටෙන ඉකිබිඳුම් හඬ. අවුරුද්ද සරුද අහන හැමෝටම මූනිච්චාවට හිනාවෙනවා ඇරෙන්න හිත පිරෙන්න හිනාවෙන අවුරුද්දක් දැන් තියනවද කියන එක ප්‍රශ්ණයක්.

අවුරුදු ඒ නිසා නෑගම් යන්න ඕනා.. නෑ ගම් ගියාම ඒ ගෙදරින් දෙන අඩියක් හෙම ගහලා මහ රෑ වෙනකම් පාටි දාලා ගෙදර එන්න පිටත් වෙද්දි තමයි අපි කාටත් හදිස්සිය. මහ පාන්දර නිසා පාරෙ මොකෙක්වත් නෑ කඩාගන යන්න පුළුවන්. කියලා පැයට හැතැප්මෙක වේගෙන් වාහනය ඩ්‍රයිව් කරන් යද්දි නිදිමත එන්නෙ අපිටත් නොදැනීමයි.

වෙනදට හැටට කැරකෙන මීටරය සීයට කැරකෙවෙන්නෙ පාර හිස් කියලා දැනුණාමද හදිස්සිය වැඩි නිසා ඉගිලෙන්න හිතාගෙනද කියලා දෙයියොවත් දන්නෑ.. හැබැයි වැඩේ වැරදිලා අනතුරක් වුණාම තමයි අපිට දෙයියො මතක් වෙන්නේ....

වාහනයක් අත⁣ට ගත්තාම නිදිමත එනවනම් කරුණාකරල නිදා ගන්න. නැතිනම් නිදිමත නැති කෙනෙකුට වාහනය දීලා පැත්තකට යන්න. මොකද ඔයාට නින්ද ගියොත් අනතුරක් වෙන්නෙ ඔයාට විතරක්ම නෙවෙයි.. තවත් කිහිප දෙනෙකුගෙම ජීවිත ඒ අනතුර මත තීරණය වෙනවා.

නිදිමත නම් නිදාගන්න... හදිස්සියට වඩා පරිස්සම වැදගත්

Tuesday, April 9, 2019

මුං කැවුම් සහ අවුරුදු

"මැණිකෙ මුං කැවුම් ටිකක්වත් ගෙදර හදමුද?"

අද උදේම අම්ම මගෙන් අහපු ප්‍රශ්ණය තමයි ඔය. ඉතිං මට හිතුණා අවුරුදු ගැන ලියන්න. රෝජා පුංචි කාලෙනම් මුං කැවුම් හදනවා කියන්නෙ පට්ට ගේමක්. මුං ඇට ටික ගරලා සෝදලා බැදලා වතුරට දාලා තියනවා පැය ගාණක්  පෙගෙන්න. ඕන්න ඉතිං ඊට පස්සෙ තමයි යුද්ධෙ. මේ මුං ඇට ටික වනේ ඒ කිව්වෙ වංගෙඩියෙ දාලා කොටන්න ඕනා.  කොටනවා කොටනවා පුළුවන් තරම් ශක්තිය යොදලා කෙටුවත් හම්වගේ තමයි. රෝජා ඉතිං එ⁣තකො⁣ට පුංචි බබෙක් නිසා හරිම ආසයි පිටි කොටන්න. ඒ වුණාට අපිට බෑ කියලා අත්තම්මා දෙන්නෙ නෑ. ඔය විදියට පැයක් හමාරක් කෙටුවට පස්සෙ තමයි මුං ඇට පිටි කරලා හලා ගන්න පුළුවන්. හොඳට රත්වුණාම තමයි මුං ඇට පිටි වෙන මට්ටමට කෙටෙන්නේ. ඒ මුං පිටි දාලා හදන කැවුම්වල රස මට අදටත් දැනෙනවා දැනෙනවා වගේ.

ඒ වුණාට දැන් තාක්ෂණය දියුණුයි. මිනිස්සු අතපය හොල්ලන්න කම්මැලියි. මුං ඇට පිටි කර ගන්න එක විනාඩි දහයක් යන්නෑ. හරිම පහසුයි. ඒ වුණත් ඒකටත් මොකට මහන්සි වෙනවද ? ඒව දැන් පහසුවෙන් කඩෙන් ගන්න පුළුවන්. ලේසියි පහසුයි. ඒ කෑම හදන්න දන්න අයත් අඩුයි.

පුංචි කාලේ අත්තම්ම එක්ක හිටිය නිසාදෝ රෝජට නම් ඕවා ටික ටික හුරුයි. ඒ වුණත් මේ අවුරුද්දෙ කඩෙන් ගමු කියලා හිටියට අපේ අම්මට එහෙම බෑ ගෙදර මොනා හරි හදන්නම ඕනා. පටන් ගන්නෙ මුං කැවුම් වලින් වුණාට මම දන්නවා තව ජාති දෙක තුනක්වත් හදලා තමයි ඉතිං නතර වෙන්නේ. නැත්නම් අවුරුද්ද දැනෙන්නෑ. අපේ අත්තම්මල ගෙදර කෑම ජාති හදපු හැටියට අපි කරන්නෑ. ඒත් ඒ චාරිත්‍ර නොකරත් බෑ. නොකලොත් හිතට හරිත් නෑ.

අපි රැඩිකල් මොනාද මේ විකාර.  අවුරුදු, තෙල් කෑම ජීවිතේට ඇඳුම් අරන් නැද්ද එකපාරක් විතරක් ඕක ගන්න ඕනැද. මොනාද මේ චාරිත්‍ර මළ සමයං ඔව්ව මොඩිෆයි වෙන්න ඕනා තාම හනමිටි කාලෙනෙ කියලා කටින් කිව්වට. හිතින් අපි අවුරුද්ද එක්ක බැඳිලා. ඒක හරිම සුන්දරයි. ඔව් ම⁣ට තාමත් සිංහල අලුත් අවුරුද්ද සුන්දරයි. එදා පුංචි කාලෙ වගේම අදත් අවුරුදු එනකම් මම බලා ඉන්නවා. මට ලැබෙන තෑග්ග මොකක්ද බලන්න... ගෙදර සේරමල එක්ක ඇවිදින්න යන්න. නෑ ගම් යන්න. ඒත් කොහා අතරමං වෙලා මේ අවුරුද්දෙනම් වෙළද සැල්වලිනුත් කොහාට කුඩම්මගෙ සැලකිලි. කිසිම කොහෙක් කෑ ගහනව ඇහුනෙ නෑ.. අපි අවුරුදු සමරනවා කොහාට වුන් හිටි තැන් නැතිවෙලාද? ඇත්තටම මේ කොහා කෝ...

රෝජා🌷

Sunday, April 7, 2019

පමුණුව

අද රෝජගෙ ඇහිපිල්ලම් තෙමුනේ ⁣අතීතය ඇස් ඉස්සරහ මවන්න පුළුවන් මුහුණුපොත් පලවූ සටහනක් නිසා. එනම්

උපුටනය:

"මහරගම පසුකරන්නට ‍‍‍‍‍‍පැය දෙකක් ගතවෙන බවට මැසිවිලි නැගේ.. එමෙන්ම කිරිබත්ගොඩ පසුකරන්නට පැයකට ආසන්න කාලයක් මේ දිනවල ගතවේ...!

කිසිදු වට්ටමක් නැතත් (ක්‍රෙඩිට් කාඩ් වට්ටම් ඇර) මිනිසුන් පොදිකමින් ඇදුම් විතරක් ම ගන්නේ ඇයි..?"

උපුටා ගැනීම මනෝරම වීරසිංහයන්ගේ facebook පිටුවෙනි.

සීසන් එකට මහරගම ඇයි ⁣මෙච්චර සෙනග මේ මිනිස්සු ඇඳුම් ගන්න මෙච්චර පොරකන්නෙ ඇයි. ඇත්තටම මහරගම එන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ්වලින් ඇඳුම් පැලදුම් ගන්නා මිනිසුන් ද? ලාබ නැතත් සේල් බෝඩ් එල්ලෙන්නෙ මහරගම විතරයි ද?

හැම තැනම සේල් බෝඩ් එල්ලුනද මිනිස්සු පොරකකා මහරගම එන්නේ පුරුද්දට වඩා මළ නොකෑ ඇඳුම් අඩුමිලට ගන්න යැයි නොදන්නා අය කොපමණ ඇත්ද? ලොකු ලොකු නම් ඇති කඩ සාප්පුවල සේල් යැයි එල්ලා ඇත්තේ විකුණා ගත නොහැකි පැරණි ඇඳුම් ආයිත්තම්වල වුවාට එහි එතරම්ම මිළ අඩුවක් නැත. සේල් වුවද රු.500/=ට වැඩිය. නැතිනම් කුණුම කුණු පාටය. මහරගම එසේ නැත.  මහරගම පමුණුව දුප්පත් මිනිසාට අවුරුදු දෙන ගමන් අවුරුදු මිලට ගන්නේද තවත් එවැනිම දුප්පතෙක් නොවන්නේද? දුප්පතෙක් නොවුනද ඔහු හෝ ඇය මධ්‍යම පාන්තිකයෙක් බවනම් කවුරු කවුරුත් පිළිගන්නවාට සැක නැත.

කතාව නම් එය නොවේය. රෝජාගෙ පුංචි කාලයයි. කටුමැටි ගෙදරක ජීවත් වූ රෝජාටද ඇඳුමක් ලැබුණේ වසරකටම එකම එක දවසකි එනම් අවුරුදු දවසටය. එයටද පමුණුව කරා ඇඳී යන්නේ ලාබෙට පොඩි ගවුමක් මිල දී ගන්නට වාගේම අතේ ඇති මුදලට සියල්ලන්ටම නැතත් ආත්තම්මාට සහ සීයාටද සරමක් චීත්තයක් මිලදී ගත යුතුම නිසාවෙනි. අයියාටත් මටත් ආත්තම්මාටත් සීයාටත් ඇඳුම් ලැබුණද අම්මාටයි තාත්තාටයි ඇඳුම් මිලදී ගත්තේ කී වතාවක් දැයි මම නොදන්නෙමි. එවකට එපමණක් තේරුම් ගන්නට තරම් මට දැනීමක් නොතිබුණි.

පමුණුවට යෑමේ අරමුණ මම දනිමි. අනෙක් අයට මෙන් ඇඳුම් ගොඩක් නැති එක ඒ කාලයෙද මට නොදැනුනි. මට ලැබුණ එකම ගවුම ලෝකයක් තරම් වටිනවා යැයි සිතා ආඩම්බරයෙන් ඇවිද්දෙමි. රෝජා රතුපාටටත් සුදුපාටටත් බොහෝ සෙයින් මනාපය. එ නිසාම රතු සහ සුදු ඇඳුම් පමණක් තෝරා ගෑනීම රෝජාගෙ පුරුද්දය. කළුම කළු කෙල්ලක් රතුපාට ඇන්දම කෝමද? දෙමළ කෙල්ලක් වගේ. ඒ අපේ රටේ හැටිය. ඒ වුණත් රෝජා රතුපාටට කැමතිය. රතුපාට රෝජාට හැඩය. ලස්සනය. ඒක මාරය.

අදද මම මහරගම පහුකරමින් යමි. පැය දෙක තුන මහරම ට්‍රැෆික් එකේ ඉද්දී මට මගේ පුංචි කාලය මතකයට එයි. අදද අවුරුද්දකට එකම වතාවක් ඇඳුමක් ගන්න ⁣බලා සිටින පොඩි එවුන් කී දෙනෙක් නම් මහරගම පමුණුවේ ඇත්ද? ළමයින්ට අරන් දී සතුටුවන අම්මලා තාත්තලා කොතෙක් නම් ඇත්ද? . පිස්සුද දැන් කොහෙද එහෙම අය ඔබට සිතෙන්නට පුළුවන නමුදු ඔබ වැරදිය අදද එසේ දරුවන් සිටී දෙමාපියන්ද සිටී මම මගේ දෑසින් දකිමි. ඔවුන් ඒ විඳින විඳවන දෙයට මම කැමතිය. මන්ද ඔවුන් හෙට ඒ තුළින් මා මෙන් පන්නරයක් ලබනු ඇතැයි මම විස්වාස කරමි.... එදා මම විඳී ඒ බලාපොරොත්තුවේ වේදනාව අදද මට ඉවසීම කියා දී ඇත. ඒ තුළින් පන්නරයක් ලබා දී අැත. ලද දෙයින් සතුටක් ලබන්නට පුරුදු වී ඇත. මහරගම පමුණුව අද, අතීතය සිතුවමක් සේ මවා දෙමින් සිනාසෙමින් මා දෙස බලා අත වනමින් සිටී...

රෝජා🌷