Wednesday, May 22, 2019

138

මළ දාක තනිකමට දවසක් හරී..
ඇවිදිල්ල තනි රැක්කොතින් මට ඇතී...😭😭😭


කාලයකට පස්සෙ බස් එකකට ගොඩ වුණේ සුරංග නාලකට ඉතා ප්‍රිය වූ ගීත සමුචයක් අසන්නට ලැබේවිදෝ යැයි අහිංසක බපාපොරොත්තුවකින් වුවද සිදු වූයේ  කොන්දොස්තර මහතා පසුබිම් සංගීතයකින් තොරව ගායනා කළ එකම ගීතයට සවන් දෙමින් ගමනාන්තය දක්වා ගමන් කිරීමටය... එකම ගීතය නිතර ඇසීමෙන් ලද චිත්තප්‍රිතිය නිසාවෙන් ඇස් පියාගත් සැනින් නුගේගොඩ නගරයද පසුවී තිබීමම මට ඉමහත් සතුටට කාරණයක් විය.

නුගේගොඩ පසුවෙද්දී අවදි වූවා නොව ගැස්සී අවදි කර වූයේ කොන්දොස්තර මහතාගේ සහ නැගනියකගේ කණට මිහිරි වදන්  කිහිපයක සුන්දරත්වය වේග රිද්මයෙන් ඇසුන නිසාවෙනි... ඇයගේ මුහුණ පුපුරන්න ඔන්න මෙන්න ස්භාවක් ඇතිබව මා දුටුවේ මා ළඟින් වාඩි වූ මොහොතේ සිටය.. එනමුදු ඒ දෙදෙනා ඇවිලීමට හේතුව මා නොදන්නේ සිහිනයක් දකින්න ඔන්න මෙන්න සිටි නිසාවෙන් විය යුතුය..

කෙසේ වෙතත් කොන්දොස්තර මහතා කිසිම වැඩිහිටියෙකුට සිටගෙන ඉන්නට ඉඩක් නොදුන් අතර ගෑන් ළමයින් සීට්වලින් නැගිට්ටුවේද නැත. ⁣ඒ අවස්ථාව නිතරම පිරිමි ළමයෙකුට පුදන්නට තරම් සද්භාවයෙන් කටයුතු කළේ වෙසක් සතිය නිසාවෙන් පිං ලබා ගන්නට  අවස්ථාවක් උදා කරමින් විය යුතුය...

138 නම් කොහොමත් අවුලක් නැත.. හිත වද දෙන්නේම 128 ගැනය...😔 කොපමණ සෙනග හිටියත් 138 මට කිසිදාක අකාරුණික වී නොමැති බව දන්නෝ දනිති... 😂

හිතේ දුකටත් එක්ක නෙස්කෆේ එකක් එක්ක මාළුපාන් (එහෙම කිව්වට ඒකෙ මාළු නෑ හොඳේ) ගෙඩියක් කාලා සැනසුම් සුසුමක් හෙළන ගමන් 128 බසයක් සොයා යන්න වූයෙමි.... හම්බෝ ඉතිං මගේ වාසනාවක මහත බස් එකක් නොව දෙකකි... ලංගමයා ළඟින්ම ප්‍රයිවට් එකකුත් සහජීවනයෙන් අතිනත් පටලා නොගෙන.. දික්කසාදයට සූදානම් වන විවාහක යුවලක් සේ එකිනෙකාට පුප්පමින් ගස්සමින් වුණ්නේය... මා ළඟට යනවාත් සමඟම ලංගමයා ගස්සගෙන යන්නට ගියේ අහළ පහළ අපටද පුස්පාට් එකක් දාගෙන දුම් කෝච්චියක් පාරට අතාරිමිනි.

අතේ කනේ කරේ කටේ එල්ලගන තනිකකුලෙන් යන්න හිටි ගමන ඉතා සැහැල්ලුවෙන් යා හැකි චිත්තප්‍රිතියෙන් යුතුව බසයට නැගී අයිනක් අල්ලා සිට ගත්තේ තව පැය කාලක්වත් එතැන ඉන්නට බලාපොරොත්තුවෙනි... ඉස්කෝලෙ ගිය කෙල්ලො කොල්ලෝ දෙතුන් දෙනා බසයට ගොඩවූනේ ඔය විනිවිද පේන ටියුලිප් බෑග් මල්ලක් කරේ දාගෙන නෙමෙයි හැබැයි... එවුන්ගේ කාලෙට එවුන්ගේ තාලෙටය...එවුන්ට ගැලපෙන ආකාරයට තමයි ඉතිං. ළඟම සිටියේ පාසල් පෙම්වතුන් යුවලක් ... ඒ කාලෙ අපි ලොකු අයියලා කියා සිතන්නට ඇත්තේ මේ ⁣වගේම ඇටිකිච්චන් කොල්ලන්ට බව ඒ මොහොතේ මගේ සිහියට ආවේ කොහොමද දන්නෑ ඒ එක්කම අතීතය මතක් වී හිනාවක් ගිය එක නවත්තගන්න  බැරි වුණා ඉතිං... තනියම හිනාවෙන්නේ පිස්සු ද කියා කවුරුත් ඇහුවෙ නැති වුණාට වට පිට බැලුනේ ඉබේටමය....

ළඟ හිටියේ කොල්ලෙකි. සුදුත් නැත කළුත් නැත. ඊට අතරමැදි නමක් නැති පාටක් නිසා කොල්ලා හැන්ඩියෙකි. රැවුල් කට්එකට නම් සුපිරිය. සූටියට ස්ක්‍රින් ෂොට් එකක් ගහගෙන මම අහක බලා ගත්තට මොකද එයා හැරි හැරී මා දිහාම බැලුවේ මම තනියම හිනාවෙන එක දැකලද නැත්නම් එයාට හිනාවෙන්නට හිතිලද කියල හිත හිතා එන අතර ඒ බැල්ම එන්න එන්නම වැඩි වීම හේතුවෙන් මම කෙළින් නොබලා හොරෙන් බලන්නට තීරණය කර ඉදිරිය බලා ගතිමි....  බස් එකෙන් බහින තැනටත් කිට්ටු වීම නිසාවෙන් දොර ළඟටම ආ විට පාසල් පෙම්වතිය මා ළඟය.

එයාගේ බැල්ම මෙයා කවුද ? මෙයා මොකද මෙහෙ වගේ වූයෙන්.. "බය වෙන්න එපා ඉතිං මම ඕක ඔයාලගෙ ගෙදරට කියන්න යන්නෑ..." කියා මම මටම කියා ගන්න ගමන් බස් එකෙන් බැස්සෙමි. ටික දුරක් යද්දී මා දිහා හැරි හැරි බලපුවම ය⁣කඩෝ කෙල්ල විතරක් නෙවෙයි කොල්ලත් බස්එකෙන් බැහැලා මා පසුපසය....

ඔයා මේ මෙහෙ මම කවදාවත් දැකලා නෑනේ...

ඔව් ඉතිං දකින්න විදියක් නෑනේ... මම හිටියත් නෑ වගේනෙ ගෙදර ඉන්නේ අනෙක ඉතිං මෙහාට අලුත් නේ....

එයා එහෙම ඇහුවෙත් නෑ මම කිව්වෙත් නෑ... බැල්මෙ තිබ්බ කුතුහලය නිසා හිතුණා ඉතිං...

ඔන්න ඉතිං එක රිංග් එකක්වත් නොගිය කෝල් එකකට ආන්සර් කරපු එයා... මේ පාරෙ ග්‍රවුන්ඩ් එක ළඟ ඉන්නෙ කියලා කතා කරපු යාළුවට කිව්වා....

(හරි ෆ්‍රෙන් දැනුවත් වුණා... ඔයා වැඩිපුර හිංදි ෆිල්ම් ටැමිල් ෆිල්ම් බලන්න එපා ඒ වුණාට හොඳේ.... 😂)


එයැයිගෙ ගෙවල් දැන ගන්න ඉතිං මේ පාරෙ ග්‍රවුන්ඩ් එක තියෙන තැන දැනගන්ට එපැයි... ඒ කොහොම වුණත් මම මෙතැනින් හැරෙනවා ඔයා ගේ දැන ගත්තා කියලා ගෙදර එන්නනම් හිතන්ට වත් එපා හොඳේ😂 අනතුරු අඟවන එක කෝකටත් හොඳානේ...නැද්ද මම අහන්නේ....


මම මේ කල්පනා කලේ මේවගේ රස කතාවක් එක්ක හැමදාම බස් එකේම ගියානම් ඉවරයි කියලා...මේ ස්⁣ටාෆ් වෑන් එක පැත්තකටම දාලා... කෝමත් ඒක අතවශ්‍යම දවස්වල එන්නෑනේ...😂

රෝජා

Sunday, April 21, 2019

පිපාසිත මිනිස්සු

අපි හිනාවක් උරුම නැති රටක මිනිස්සු

උඹ හොඳින්ද ? අහන හැමෝටම කියන්න තියෙන්නෙ මම හොඳින් ඒත් ඇත්තටම මම හොඳින් නෙවෙයි කියලා. මිනිස්සු මේ තරම් ලේ පිපාසයකින් පෙලෙන්නෙ ඇයි. පුංචි කාලෙ ඉදන් අද මේ වෙනකම් රටක් බෙදාගන්න කුලල් කා ගන්න එකයි.. ඒ ලේ විල පාලනය කරන්න කුලල් කා ගන්න එකයි දැක්කේ... ⁣මොන තරම් දේවල් දැක්කද මොනතරම් බයේ ගැහි ගැහි හිටියද?

පුංචිම කාලෙ තාත්තා ලොරියෙ වැඩට ගියාම බෝම්බයක් පිපිරුණා කිව්වම බයේ ගැහි ගැහි බලා හිටියා. සමහර දවස්වල තාත්තා දුරින් ඉන්නැද්දි බෝම්බය පුපුරා ගිය හැටිත් ගිනි දළු නැඟුන හැටිත් කියන හැටි රස කතාවක් වගේ කට ඇරගෙන කම්මුලේ අත් දෙක ගහගෙන අහගෙන හිටියා.  ඒ අපේ නොතේරුම් කමට.

ඒ වගේම ගෙදර ඉන්නත් බයේ හිටිය කාලයක් තිබුණා. කුප්පිලාම්පු පත්තු කරන්න එපා කිව්වම එළියක් නැති වුණාම බයේ කෑ ගහන මම වෙනුවෙන් බාල්දියක් ඇතුලෙ කුප්පිලාම්පුව පත්තු කරලා තියලා මට නින්ද යනකම් බලා ඉන්න අම්මටයි තාත්තාටයි සිද්ධ වුණා ලාම්පුව නිවන්න...

ඇයි ඒකට එච්චර බය කියලා නොදන්නව වුණත් අපි බයේ මුළු ගැන්විලා හිටියා.. ඒ අතීතය අමතක කරන්න ලේසි නෑ..

නුගේගොඩ නෝ ලිමිට් බෝම්බය ඔන්න මෙන්න තියෙද්දි එතැනට කිට්ටු කරලා හිටපු අපි නෝ ලිමිට් එක පිච්චෙන හැටි බල බලා ගෙදර එන්න සිද්ධ වුණා.

අද අායෙමත් ... ඇයි මිනිස්සු  ලේ හලන්න මෙච්චර කැමති. ජීවත් වෙන පුංචි කාලයට රටක් බෙදාගන්න ඉඩමක් බෙදාගන්න බලය බෙදාගන්න ලේ හලන්න ඕනිමද?

ජාති ආගම් බේදයකින් තොරව මිනිස්සු මිනිස්සුන්ව මරණ්න සූදානම්.. නැතිවීමක් ශෝකාන්තයක් මිස අන් යමක් එතැන තියනවද?

ඒ වුණත් අපි ඇඟිල්ලක් කැපුනත් මර හඬින් කෑ ගහන මිනිස්සු. අනුන්ට හැර තමන්⁣ට වුණොත් වඩාත් දැනෙන මිනිස්සු

Wednesday, April 17, 2019

නිදිමතනම් නිදාගන්න

නිදිමත නම් නිදාගන්න

මේ අවුරුදු නැකතට කොහා හඬන හඬට වඩා ඇහුනේ කඳුළු කඩා වැටෙන ඉකිබිඳුම් හඬ. අවුරුද්ද සරුද අහන හැමෝටම මූනිච්චාවට හිනාවෙනවා ඇරෙන්න හිත පිරෙන්න හිනාවෙන අවුරුද්දක් දැන් තියනවද කියන එක ප්‍රශ්ණයක්.

අවුරුදු ඒ නිසා නෑගම් යන්න ඕනා.. නෑ ගම් ගියාම ඒ ගෙදරින් දෙන අඩියක් හෙම ගහලා මහ රෑ වෙනකම් පාටි දාලා ගෙදර එන්න පිටත් වෙද්දි තමයි අපි කාටත් හදිස්සිය. මහ පාන්දර නිසා පාරෙ මොකෙක්වත් නෑ කඩාගන යන්න පුළුවන්. කියලා පැයට හැතැප්මෙක වේගෙන් වාහනය ඩ්‍රයිව් කරන් යද්දි නිදිමත එන්නෙ අපිටත් නොදැනීමයි.

වෙනදට හැටට කැරකෙන මීටරය සීයට කැරකෙවෙන්නෙ පාර හිස් කියලා දැනුණාමද හදිස්සිය වැඩි නිසා ඉගිලෙන්න හිතාගෙනද කියලා දෙයියොවත් දන්නෑ.. හැබැයි වැඩේ වැරදිලා අනතුරක් වුණාම තමයි අපිට දෙයියො මතක් වෙන්නේ....

වාහනයක් අත⁣ට ගත්තාම නිදිමත එනවනම් කරුණාකරල නිදා ගන්න. නැතිනම් නිදිමත නැති කෙනෙකුට වාහනය දීලා පැත්තකට යන්න. මොකද ඔයාට නින්ද ගියොත් අනතුරක් වෙන්නෙ ඔයාට විතරක්ම නෙවෙයි.. තවත් කිහිප දෙනෙකුගෙම ජීවිත ඒ අනතුර මත තීරණය වෙනවා.

නිදිමත නම් නිදාගන්න... හදිස්සියට වඩා පරිස්සම වැදගත්

Tuesday, April 9, 2019

මුං කැවුම් සහ අවුරුදු

"මැණිකෙ මුං කැවුම් ටිකක්වත් ගෙදර හදමුද?"

අද උදේම අම්ම මගෙන් අහපු ප්‍රශ්ණය තමයි ඔය. ඉතිං මට හිතුණා අවුරුදු ගැන ලියන්න. රෝජා පුංචි කාලෙනම් මුං කැවුම් හදනවා කියන්නෙ පට්ට ගේමක්. මුං ඇට ටික ගරලා සෝදලා බැදලා වතුරට දාලා තියනවා පැය ගාණක්  පෙගෙන්න. ඕන්න ඉතිං ඊට පස්සෙ තමයි යුද්ධෙ. මේ මුං ඇට ටික වනේ ඒ කිව්වෙ වංගෙඩියෙ දාලා කොටන්න ඕනා.  කොටනවා කොටනවා පුළුවන් තරම් ශක්තිය යොදලා කෙටුවත් හම්වගේ තමයි. රෝජා ඉතිං එ⁣තකො⁣ට පුංචි බබෙක් නිසා හරිම ආසයි පිටි කොටන්න. ඒ වුණාට අපිට බෑ කියලා අත්තම්මා දෙන්නෙ නෑ. ඔය විදියට පැයක් හමාරක් කෙටුවට පස්සෙ තමයි මුං ඇට පිටි කරලා හලා ගන්න පුළුවන්. හොඳට රත්වුණාම තමයි මුං ඇට පිටි වෙන මට්ටමට කෙටෙන්නේ. ඒ මුං පිටි දාලා හදන කැවුම්වල රස මට අදටත් දැනෙනවා දැනෙනවා වගේ.

ඒ වුණාට දැන් තාක්ෂණය දියුණුයි. මිනිස්සු අතපය හොල්ලන්න කම්මැලියි. මුං ඇට පිටි කර ගන්න එක විනාඩි දහයක් යන්නෑ. හරිම පහසුයි. ඒ වුණත් ඒකටත් මොකට මහන්සි වෙනවද ? ඒව දැන් පහසුවෙන් කඩෙන් ගන්න පුළුවන්. ලේසියි පහසුයි. ඒ කෑම හදන්න දන්න අයත් අඩුයි.

පුංචි කාලේ අත්තම්ම එක්ක හිටිය නිසාදෝ රෝජට නම් ඕවා ටික ටික හුරුයි. ඒ වුණත් මේ අවුරුද්දෙ කඩෙන් ගමු කියලා හිටියට අපේ අම්මට එහෙම බෑ ගෙදර මොනා හරි හදන්නම ඕනා. පටන් ගන්නෙ මුං කැවුම් වලින් වුණාට මම දන්නවා තව ජාති දෙක තුනක්වත් හදලා තමයි ඉතිං නතර වෙන්නේ. නැත්නම් අවුරුද්ද දැනෙන්නෑ. අපේ අත්තම්මල ගෙදර කෑම ජාති හදපු හැටියට අපි කරන්නෑ. ඒත් ඒ චාරිත්‍ර නොකරත් බෑ. නොකලොත් හිතට හරිත් නෑ.

අපි රැඩිකල් මොනාද මේ විකාර.  අවුරුදු, තෙල් කෑම ජීවිතේට ඇඳුම් අරන් නැද්ද එකපාරක් විතරක් ඕක ගන්න ඕනැද. මොනාද මේ චාරිත්‍ර මළ සමයං ඔව්ව මොඩිෆයි වෙන්න ඕනා තාම හනමිටි කාලෙනෙ කියලා කටින් කිව්වට. හිතින් අපි අවුරුද්ද එක්ක බැඳිලා. ඒක හරිම සුන්දරයි. ඔව් ම⁣ට තාමත් සිංහල අලුත් අවුරුද්ද සුන්දරයි. එදා පුංචි කාලෙ වගේම අදත් අවුරුදු එනකම් මම බලා ඉන්නවා. මට ලැබෙන තෑග්ග මොකක්ද බලන්න... ගෙදර සේරමල එක්ක ඇවිදින්න යන්න. නෑ ගම් යන්න. ඒත් කොහා අතරමං වෙලා මේ අවුරුද්දෙනම් වෙළද සැල්වලිනුත් කොහාට කුඩම්මගෙ සැලකිලි. කිසිම කොහෙක් කෑ ගහනව ඇහුනෙ නෑ.. අපි අවුරුදු සමරනවා කොහාට වුන් හිටි තැන් නැතිවෙලාද? ඇත්තටම මේ කොහා කෝ...

රෝජා🌷

Sunday, April 7, 2019

පමුණුව

අද රෝජගෙ ඇහිපිල්ලම් තෙමුනේ ⁣අතීතය ඇස් ඉස්සරහ මවන්න පුළුවන් මුහුණුපොත් පලවූ සටහනක් නිසා. එනම්

උපුටනය:

"මහරගම පසුකරන්නට ‍‍‍‍‍‍පැය දෙකක් ගතවෙන බවට මැසිවිලි නැගේ.. එමෙන්ම කිරිබත්ගොඩ පසුකරන්නට පැයකට ආසන්න කාලයක් මේ දිනවල ගතවේ...!

කිසිදු වට්ටමක් නැතත් (ක්‍රෙඩිට් කාඩ් වට්ටම් ඇර) මිනිසුන් පොදිකමින් ඇදුම් විතරක් ම ගන්නේ ඇයි..?"

උපුටා ගැනීම මනෝරම වීරසිංහයන්ගේ facebook පිටුවෙනි.

සීසන් එකට මහරගම ඇයි ⁣මෙච්චර සෙනග මේ මිනිස්සු ඇඳුම් ගන්න මෙච්චර පොරකන්නෙ ඇයි. ඇත්තටම මහරගම එන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ්වලින් ඇඳුම් පැලදුම් ගන්නා මිනිසුන් ද? ලාබ නැතත් සේල් බෝඩ් එල්ලෙන්නෙ මහරගම විතරයි ද?

හැම තැනම සේල් බෝඩ් එල්ලුනද මිනිස්සු පොරකකා මහරගම එන්නේ පුරුද්දට වඩා මළ නොකෑ ඇඳුම් අඩුමිලට ගන්න යැයි නොදන්නා අය කොපමණ ඇත්ද? ලොකු ලොකු නම් ඇති කඩ සාප්පුවල සේල් යැයි එල්ලා ඇත්තේ විකුණා ගත නොහැකි පැරණි ඇඳුම් ආයිත්තම්වල වුවාට එහි එතරම්ම මිළ අඩුවක් නැත. සේල් වුවද රු.500/=ට වැඩිය. නැතිනම් කුණුම කුණු පාටය. මහරගම එසේ නැත.  මහරගම පමුණුව දුප්පත් මිනිසාට අවුරුදු දෙන ගමන් අවුරුදු මිලට ගන්නේද තවත් එවැනිම දුප්පතෙක් නොවන්නේද? දුප්පතෙක් නොවුනද ඔහු හෝ ඇය මධ්‍යම පාන්තිකයෙක් බවනම් කවුරු කවුරුත් පිළිගන්නවාට සැක නැත.

කතාව නම් එය නොවේය. රෝජාගෙ පුංචි කාලයයි. කටුමැටි ගෙදරක ජීවත් වූ රෝජාටද ඇඳුමක් ලැබුණේ වසරකටම එකම එක දවසකි එනම් අවුරුදු දවසටය. එයටද පමුණුව කරා ඇඳී යන්නේ ලාබෙට පොඩි ගවුමක් මිල දී ගන්නට වාගේම අතේ ඇති මුදලට සියල්ලන්ටම නැතත් ආත්තම්මාට සහ සීයාටද සරමක් චීත්තයක් මිලදී ගත යුතුම නිසාවෙනි. අයියාටත් මටත් ආත්තම්මාටත් සීයාටත් ඇඳුම් ලැබුණද අම්මාටයි තාත්තාටයි ඇඳුම් මිලදී ගත්තේ කී වතාවක් දැයි මම නොදන්නෙමි. එවකට එපමණක් තේරුම් ගන්නට තරම් මට දැනීමක් නොතිබුණි.

පමුණුවට යෑමේ අරමුණ මම දනිමි. අනෙක් අයට මෙන් ඇඳුම් ගොඩක් නැති එක ඒ කාලයෙද මට නොදැනුනි. මට ලැබුණ එකම ගවුම ලෝකයක් තරම් වටිනවා යැයි සිතා ආඩම්බරයෙන් ඇවිද්දෙමි. රෝජා රතුපාටටත් සුදුපාටටත් බොහෝ සෙයින් මනාපය. එ නිසාම රතු සහ සුදු ඇඳුම් පමණක් තෝරා ගෑනීම රෝජාගෙ පුරුද්දය. කළුම කළු කෙල්ලක් රතුපාට ඇන්දම කෝමද? දෙමළ කෙල්ලක් වගේ. ඒ අපේ රටේ හැටිය. ඒ වුණත් රෝජා රතුපාටට කැමතිය. රතුපාට රෝජාට හැඩය. ලස්සනය. ඒක මාරය.

අදද මම මහරගම පහුකරමින් යමි. පැය දෙක තුන මහරම ට්‍රැෆික් එකේ ඉද්දී මට මගේ පුංචි කාලය මතකයට එයි. අදද අවුරුද්දකට එකම වතාවක් ඇඳුමක් ගන්න ⁣බලා සිටින පොඩි එවුන් කී දෙනෙක් නම් මහරගම පමුණුවේ ඇත්ද? ළමයින්ට අරන් දී සතුටුවන අම්මලා තාත්තලා කොතෙක් නම් ඇත්ද? . පිස්සුද දැන් කොහෙද එහෙම අය ඔබට සිතෙන්නට පුළුවන නමුදු ඔබ වැරදිය අදද එසේ දරුවන් සිටී දෙමාපියන්ද සිටී මම මගේ දෑසින් දකිමි. ඔවුන් ඒ විඳින විඳවන දෙයට මම කැමතිය. මන්ද ඔවුන් හෙට ඒ තුළින් මා මෙන් පන්නරයක් ලබනු ඇතැයි මම විස්වාස කරමි.... එදා මම විඳී ඒ බලාපොරොත්තුවේ වේදනාව අදද මට ඉවසීම කියා දී ඇත. ඒ තුළින් පන්නරයක් ලබා දී අැත. ලද දෙයින් සතුටක් ලබන්නට පුරුදු වී ඇත. මහරගම පමුණුව අද, අතීතය සිතුවමක් සේ මවා දෙමින් සිනාසෙමින් මා දෙස බලා අත වනමින් සිටී...

රෝජා🌷

Friday, March 29, 2019

තරුවක්

හුඟක්ම දුක හිතුණ වෙලාවට අපිට ළඟම ළඟම ළඟින්ම ඉන්න යාළුවෙක් ඕන වෙන්නෙ ඒ දුක වේදනාව පිට කරගන්න හිතේ හිරකරගන ඉන්න දුක වේදනාව කඳුළුවලට හැරෙද්දි හිතේ බර ටිකෙන් ටික අඩුවෙලා හිත සැහැල්ලු වෙනවා.

මට හිතයි දැන් නතර වෙන්න. මම හිතන්නෙ මම හුඟක් ඇවිද්දා. හුස්මක් නොගෙන වේගෙන් ඇවිද්දා. ඒත් මම දිව්වෙ මිරිගුවක් පස්සෙ. ඒක මට තේරුනේ හරියටම මේ සඳුදා උදේ. ඔව් මේ සඳුදා උදේ. දැන් මම නතර වුණා නම් හොඳයි කියලා තමයි හිතන්නේ.

ඇයි කියලා අහන් නැද්ද?

ඇයි

හ්ම්ම්... ඒක හොඳයි

මොකක්ද

ඔයා එහෙම අහපු එක

ආයෙමත් දිගු නිහැඩියාවක්. ඒක උහුලන්න බැරිතරම් දිගු නිහැඬියාවක්. මම හිතන්නෙ තත්පර ගාණක් වෙන්න ඕනා.. මට ඒක කල්පයක් තරමට දැණුනා.

එයා මාව අතින් අල්ලගන එක්ක ගියා ලොකු දුරක් ඔව් ඒක ලොකු දුරක්. මට ඕන වුණා පිටිපස්ස හැරිලා බලන්න. ඒත් මට බය හිතුණා. එයා හිටියෙ මගෙ ඉනවටේ අත දාගන මාව තුරුළු කරගන.. අපි ඇවිද්දා.. මම හිතුවෙ ඒක ලොකු දුරක් කියලා හරියටම දවස් හතරක් පහක් වෙන්න ඕනා..

පොරොන්දු වෙන්න මාව දාලා යන්නෙ නෑ කියලා..මොනව වුණත්

මගේ හිත ගැස්සුනා. විදුලියක් වගේ දෙයක් පපුව පුච්චගෙන ඇදිලා ගියා මම හිතුවා මගෙ හුස්ම නතර වෙයි කියලා. මම එයාගෙ පපුවට බර වුණා එච්චරයි මට මතක.

ඒත් ඒ එදා විතරයි . ඊට පස්සෙ එයා මගෙ ඉනවටේ අත දාගත්තෙ නෑ. අපි ඇවිද්දා කතා කර කර ඇවිද්දා එදත් මට පස්ස හැරිලා බලන්න හිතුණා. ඒත් මම බැලුවෙ නෑ මොකක්දෝ බයක් මගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

ඉතිං

ඉතිං ... මම එයාගෙ අත අල්ලන් ගිහින් තිබුණා පස්ස හැරිලා බලද්දි එයා නැහැ එයා නතර වෙලා.

හරිම සාමාන්‍යයි

ඔව් ඒත්

ඇයි ඒත් කිව්වෙ

එයා නතර වුණාට මම ඇවිද්දා හරියටම අවුරුද්දක් නෑ... නෑ අවුරුදු එකහමාරක් .... ඒක මහ පිස්සුවක්...
ඔයා හිතනවද මම තවත් ඇවිදින එක හොඳයි කියලා.

නෑ

ඇවිදපු එක

ඒත් නෑ

ඔයා හරි සේරම වැරදී.. ඒත් ඉතිං වැරදි නොකර ජීවිතේ හදාගන්නත් බෑ. හරියටම ගිය සඳුදා මම හැමදේටම හිත හදාගත්තා. නවතින්න තීරණය කරා. ඒක මහ පුදුම සැහැල්ලුවක්. ලොකුම ලොකු කන්දක් උස්සන් ඉදලා බිමට දැම්මා වගේ.

ඒත්

ඇයි ආයෙමත්

මම දැන් හිස්.... ඒක ඊ⁣ටත් වඩා ලොකු බරක්. ඉතිං දැන් මට හිතයි නතර වෙන්න මේ ඇති මම ඇවිද්දා. බලාගත්තු අත බලා හිටියා බලාපොරොත්තු ඇති කරගත්තා නැතිකර ගත්තා. දැන් මට මහන්සියි . හොඳටම මහන්සියි.


මම කියවගන කියවගන ගිහින් එයා දිහා බැලුවා. කිසිම සද්දයක් නැතිව එයා අහස දිහා බලාගන දුම් වලලු අහසට විසික්කරනවා. අපි දෙන්න හිටියෙ කුරුදු ගහක් යට බංකුවක ඉදගන හඳ දිහා බලාගන. එයා මොනවදෝ හිතනව.


අර... අර... අර බලන්න

මොකක්ද?

කඩාවැටෙන තරුවක්

අපි දෙන්නම ඇස් පියා ගත්තා...

Sunday, March 24, 2019

හඬනිහඬ

ජීවිතය යනු තනිරූල් පොතක් නම් එහි නිල් ඉරි ඇදුන සුදුපාට පිටු අප විසින් දිනෙන් දින ලියනු ලබන්නේ වෛයි වර්ණ පෑන් තුඩු වලිනි. එකම පාටකින් ලියාගන යා නම් එහි ඒකාකාරි බව අප සිත විඩාවට පත්කරනු ලබයි. එවන් මොහොතක යම් වෙනසක් සිදුවන්නේ නම් යැයි ඇතුලු සිත මුරගා කියනු ලබයිනම් බොහෝවිට අප හුදකලා වීමට කැමැත්තක් දක්වයි.

ජීවිත පොතේ පිටු වැරදුනා යැයි නැවත මක මකා ලියන්නට නොහැක. හැකි වන්නේ අලුත් පිටුවකින් අලුතින් අරම්භ කිරීම පමණි. එයින් පැරණි පිටු ඉරා වීසිකළ හැකිනම් අතීතය අමතක කළ හැකි නමුත් අපට එය කළ නොහැක. වරද හදුනා ගත් පසු එතැන අතහැර ඉවත්ව යාම කෙතරම් අපහසුද යන්න මගේ සිත වේදනාවෙන් පුරවයි.

කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කළ හඬනිහඬ මා අතට පත්වන්නේ  ආදරණීයයකුගෙන් ලද තෑග්ගක් ලෙසය. නැතිනම් එය බලහත්කාරයෙන් ලබාගත් තෑග්ගක් කියාද පවසන්නට හැකිය මම වඩාත්ව කැමති ලෙස එලෙස සඳහන් කරමි.

හඬ නිහඬ මා කම්පනය කළ තරම මෙතැකැයි කියා කිව නොහැක. අප දුරදිග නොබලා ප්‍රකාශ කරන එක පුංචි වදනක් පුද්ගලය මානසික මට්ටම පහළ හෙළීමට සමත් වන්නේ යැයි සිතන්නට පුළුවන් ද? නමුත් එය එසේය. ළමා කාලයේ සිදුවන ඇතැම් සිදුවීම් අපට කෙතරම් බලපාන්නේද යන්න හඬනිහඬ තුලින් පවසයි. එය කුතුහලය උපරිමයෙන් රදවාගත් කාවකි.


බොහෝවිට එහි අනුකම්පාව ත්‍රාසය කුතුහලය ඇලීසියා බෙරන්සන් සතු වුවද ? මාසිත වඩාත් කම්පාවට පත්කළේ තියෝ නම් මානසික චිකිත්සකවරයා යැයි කීවොත් ඔබ පුදුමවනු ඇත. මුළු කතාව පුරාම මම කියවූයේ අැලීසියාගේ ඛේදවාචකයක් නොව තියෝ නම් ළදරුවාගේ කතාවය. තියෝ නම් පුද්ගලයාගේ ආත්මානුකම්පාවය. ඇත්තෙන්ම ඇලීසියා බෙරන්සන් නොවන්නට තියෝ ගැන මෙපමණ වේදනාවක් මා සිතට නොදැනෙනු ඇත. මම තවමත් ඒ තුල අතරමන්ව සිටිමි. ඇලිසියාව සහ ඇයගේ නිහඬබව නොව මම තියෝව සොයමින් සිටිමි.

රෝජා🌷

Wednesday, March 20, 2019

ගැහැනිය ඟගකි

තත්පරයක ප්‍රමාද වීමකින් ජයග්‍රහණය පරාජයක් බවට පත්විය හැකි බව රෝජාට මතක් වූයේ තත්පරයකිනුත් ඇසිල්ලකිනි.

ජීවිතය හැමවිටම අපට කියා දෙන්නේ සෘජුව ගලා යෑමට නොව වංගු වංගු වලින් හැරී ගල්පරවල වැදි වැදී ගමන් කරන්නටය.

මට ඇය හමුවන්නේ ඉතා අහම්බයකිනි. ගඟක් ලස්සන නිසසලව පහළට ගලා යද්දීට වඩා ගල්පරවල හැපී ඒවා අතුරිං රිංගා මහා වේගයකින් ගලායන විටදීය.  ඇයද ගඟක් යැයි මට සිතුණි. ජීවිතය වෙනුවෙන් යකඩ හිතක් සවිකරගන හැම බදාවකටම නොබියව මුහුණ දෙමින් ඇය මට ද ජීවිතයේ පාර පෙන්වන්නීය.


ඈ කවුද ? එය ඔබට පැණයක්වන තරමට මට කැමැත්තක් අැති වන්නේ ඔබගේ කුතුහලය අවුස්සා අතරමං කරනු රිසි නිසාවෙනි.

ඇය දුවකි, පෙම්වතියකි , බිරිඳකි අම්මා කෙනෙකි. නැන්දම්මා කෙනෙකි. ආච්චිඅම්මා කෙනෙකි ඒ සියල්ලටම වඩා ඈ ගැහැනියකි. එහි සුන්දරත්වය ගැබ්ව ඇත්තේ එනිසාමය.

හැම ගැහැනියක්ම සඳට උපමා කරන කවියන් අතර මම ගැහැනිය ගඟකට උපමා කරන්නට කැමතිය. ඒ මන්ද මා දුටු ගැහැනු අතරින් බොහෝ පිරිසක් සඳක් නොව ගඟකි.

ඇය ජීවිතය සමඟ අනේක දුක් විඳින්නීය. ඒ සෑම දුකක්ම පැණිරසක් සේ විඳගන්නීය. ඉතිං අද මම කියන්නට යන ඈ කවුද?

ඇය එක්තරා බැංකු නිළධාරිනියකි. අහම්බයකින් හමුවූ ඈ මා සමඟ සුහඳ වචන හුවමාරුවක යෙදී වුන් අවස්ථාවක ඇගේ කතාවෙන් පුංචිම කොටසත් මා හා දිගහැරියේ වේදනාව මුසු සිනහවක්ද සමඟිනි.

මෙය එක්තරා බැංකුවක සිදුවූ සිදුවීමකි. එය දුගී ජනයාට ණය පහසුකම් යටතේ ආධාර සපයන අතර එක්තරා බැංකු ශාඛාවකි. ඇය එහි සේවය කරන අතර එක්තරා වකවානුවක දිලිදු පවුල් සඳහා සුළු ව්‍යාපාරික ණය දෙනු ලබන වැඩ සටහනක් ක්‍රියාත්මක වූ අතර එහි අනුමත වූ ණය ලිපිලේඛන සියල්ලෙහිම අනුමත වූ ණය මුදල ලබාගෙන ඇත්තේ බැංකුවේ කලමනාකරු විසිනි.

ලොක්කො ඉදිරියේ සොක්කන්ට හිස නමන්නට වෙනවා හැර අන්යමක් නැති වුවද? අනුමත මුදලින් යම් මුදලක් වෙන්කොට එම පාර්ශව සඳහා මහන මැෂින් නිවෙසටම ලබා දුන්නද අදාල වටිනාකමෙන් කොටසක් පිරිසක් අතර හුවමාරු වන්නේ අත යටිනි.

කෙසේ වෙතත් එවන් අවස්ථාවක එකෙක් අහුවුණොත් අනෙකා කරපු වැරදිත් අල්ලා දී රංචුවම අරගෙන යෑමට තරම් අපේ වුන්දලා බොහෝම අර පරිස්සම් බව කවුරු කවුරුත් හවුලේ වැරදි කිරීමට පෙර දැන ගත යුතුය.

වැඩේ මාට්ටුවූවාට පසු අර පරික්ෂණ මේ පරීක්ෂණ පවත්වන විට එකම එක දවසක එක් ණය අයදුම් පතකට පොත් තැබීම කළ ඇයද හසුවන්නේ වරදට සහය දුන් අයකු ලෙසය. කවුරු කළත් වරද වරදමය. ලොක්කා කියූ විට ඔයාට දෙන්න බෑ අදාල කෙනාට පමණයි දෙන්න හැකි කියන්නට තරම් තවම අපේ පිට කොන්ද සවිමත් නැත.

ලොක්කා දුටු තැන හතරට පහට නැවෙන කොඳු. මිස ඍජුව හිටගන්නා කොඳු සොයා ගැනීම කළුනික සොයා ගන්නවාට වඩා අපහසුය.

අද ඇය එම වරදට දඩුවම් විදිමින් වසර හතත පමණ වැඩ තහනමට ලක්ව නිවසේ කාලය ගෙවයි. වරදක් කළ එකාට වඩා නොකළ එකාට එය මානසික වදයකි. මිනිසුන් විත්තිකාරවෙකු වූ සැනින් වරදකරුවෙකු බවට හංවඩු ගසන සමාජයක මෙවන් සිඳුවීමක් යනු මවට පියාට පමණක් නොව සැමියා දුවා දරුවන්ට පවා ⁣එම ලේබලයම අලවා තැන තැන කැලෑ පත්තර ගසන්නට දෙවරක් නොසිතන මිනිසුන් අතර ඔබත් ලේබල් ඇලවීමට පෙර වරක් දෙවරක් නොව සියවරක් සිතිය යුතු බව මතකයේ තබා ගන්න.

රෝජා🌷

Friday, March 15, 2019

කොනිත්තන මතක

අද රෝජට කියන්න තියෙන්නෙ හුඟක්ම රසබර කතාවක් නොවුණට ඒ කතාව ඇතුලෙ හුඟක් දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලටත් ඒ වගේ කතාඇති බොහෝම.

මේ සිද්ධිය රෝජට සිද්ධ වුණේ ඉස්කෝලෙ යන කාලෙ. දැන් මෙහෙමනේ ඒ දවස්වල රෝජා බොහෝම චුට්ටන් පංතියේ මුළු ගැන්විලා හිටපු අහිංසක කෙල්ලක්. ඒ වුණාට පණ්ඩිත කමනම් චුට්ටක්වත් අඩුවක් නෑ.

මේ දවස්වල ඉස්කෝලවල වාර විභාග වලට ලෑස්තිවෙනව ඇති. ඉතිං මමත් මේ වැඩේ කලේ වාරවිභාගයකදි. හැමෝම දන්නවනෙ සිංහල ප්‍රශ්ණ පත්තරේ මුළින්ම තියෙන්නෙ මාතෘකාවකට රචනාවක් හෝ වචන 150ක 200ක කෙටිකතාවක් ලියන්න කියලනේ.

ඔන්න ඉතිං රෝජට එදා පේපර් එක හම්බුණාම සේරම කියවලා ඉවර වුණාම හිතෙනවා හැමදාම රචනා ලියන එකේ මේ පාර කෙටි කතාවක් ලියල බලන්න ඕනි කියලා. ආයෙ මොකටද දෙපාරක් හිතන්නෙ කියලා ඕන් ඉතිං කෙටි කතාව ලියනවා. දැන් රෝජ හිතන්නෙ එයා තමයි වැඩ්ඩා මේ පාර සිංහල ප්‍රශ්ණ පත්තරේට වැඩිම ලකුණු ලැබෙන්නෙ එයාට තමයි කියලා. 

පෙරුම් පුර පුර බලන් හිටියට ඒ පාර සිංහල පේපර් එකට ලකුණු අඩුම හම්බුණේ රෝජට. ඒ නිසාම පංතියෙ තමන්ගෙ ස්ථානය රැක ගන්නවත් රෝජට ලැබෙන්නෑ. ඇයි එහෙම වුණේ සමහරවිට රචනාව වගේ කෙටිකතාව හොඳට ලියල නැතිව ඇති හොඳම වැඩේ පණ්ඩිත වැඩ කරනවට කියලා රෝජා තමන්ටම  ආඩපාලි කියන්න පටන්ගත්තා.

නිවාඩු කාලෙත් ගිහින් ආයෙමත් ඉස්කෝලෙ පටන් ගත්ත කියමුකෝ. දවස් දෙක තුනකට පස්සෙ උදේ රැස්වීමෙදි සිංහල ටීච කතාවක් කරලා මේකෙ ඉතිං ඉන්නෙ රචනාව ලියාගන්න බැරිව කෙටිකතා ලියන මොට්ට ළමයිනේ කියලා කතාව අතර මැදදි මගෙ හිතට බෝම්බයක් අතෑරියා. ළමයි එකා දෙන්නා කසු කුසුව කවුද කතාවක් ලිව්වෙ කියලා. රෝජට සිංහල කියන විෂය වහ කඳුරු වුණේ ආන් ඒ දවසෙ ඉඳලා. එදයින් පස්සෙ කවදාවත් සිංහල පේපර් එකට මට වැඩිය ලකුණු ලැබුණේ නෑ. මොන තරම් හොඳට ලිව්වත් ලකුණු අඩුයි.

ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකු හැකියාවක් ඉහළ නංවන්න වගේම පහළට ඇඳලා දාන්නත්. එදා මම පහළට වැටුණා. මම ලියන කිසිම දෙයක් කාටවත් පෙන්වන්න බය වුණා. හැමදේම හංගන්න පුරුදු වුණා. ඒ වුණත් සිංහලවලට A එකක් අරං මම ඒ ගුරුවරියට පෙන්නුවා. නමුත්   A/L වලට සිංහල විෂයන් හැර වාණිජ්‍ය විෂයන් තෝරා ගන්න පෙලඹුනා. අද මම ආයෙම සිංහල විෂය හදාරන්න උත්සහ කරනවා. එදා එහෙම නොවුණ නම් අද මට ආයෙම සිංහල විෂය හදාරන්න ඕනි වෙන එකක් නැති වෙන්න තිබ්බා.

ඔන්න ඕකයි රෝජට සිංහල භාෂාව වැඩිදුර ඉගෙන ගන්න තියා හිතන්නවත් අකමැති වෙච්ච කාරනාව. පුංචි කාලෙ දෙයක් වුණාම ඒ දේ හිතට තදින් බලපානවා. අපි කාට කාටත් මේවගේ දේ යම් යම් අවස්ථාවල බලපාන්න ඇති.

රෝජා🌷

Tuesday, March 12, 2019

හර්දසාක්ෂිය

අම්මා කෙනෙකු දරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු බලා ගැනීමට විදින දුක මෙතකැයි කියා කිව නොහැක. බොහෝ අම්මාවරු දරුවා පෙරපාසලට හෝ පාසලට දමා පැය දෙක තුනක් නිදහසේ සිටීමට බලා සිටී. එය නැහැයි කියා කියන්නට හැකි අම්මාවරු සිටීනම් ඒ අතලොස්සක් පමණි. දරුවාට මාසයක් නිවාඩු දුන්නාම හපොයි මාසයක් කියා ඉහට අත ගහ ගන්න දෙමව්පියෝ අද සමාජයේ කොතෙක් නම් ඇතිද? ඔබ තට්ටු කර ගත යුත්තේ ඔබේ හර්දසාක්ෂියටය. ඔබ කෙසේද යන්න ඔබ විමසිය යුත්තේ ඔබෙන්ය. ඔබ ඔබට පිළිතුරු දෙන විට වංක නොවන මුත් අවංක වීමට අකමැතිය. හිත කුමක් කීවත් පිළිතුර අනෙකක් විය යුතුය.

ඔබ නිකමට සිතුවාද ඔබ එක දරුවෙක් වෙනුවෙන් යොදවන කාලය ගුරුවරයෙක් ළමයි තිහක් හතලිහක් වෙනුවෙන් කැප කරන බව. ඔහු හෝ ඇය තනිව දරු දැරියන් පිරිසක් පැය ගණනක් බලා ගන්නා බව. ඔබේ රාජකාරියෙන් කොටසක් ඔවුන් ඉටු කරන බව.

"ඒවට තමයි පඩි ගෙවන්නේ"

ඔබ සතුව එවන් පිළිතුරක් ඇති බව මම දනිමි. ඔවුන් වේතන ලබන්නෙ ඉගැන්වීමට මිස දරුවන් බලා ගැනීමට නොවේ නමුත් ඒ කාල සීමාව තුළ යම් අකරතැබ්බයක් වුවහොත් ඔහොමද ළමයි බලා ගත්තේ යැයි නැවත ඔබේ ඇඟිල්ල ඇය හෝ ඔහු දෙසට එල්ලවනු ඇත.

පවුලේ එකම දරුවා බලා ගැනීමට නොහැකිව පුංචි දේටත් පහරපිට පහර දෙන අම්මලා තාත්තලා මම අනන්තවත් දැක ඇත්තෙමි. එවන් දෙමව්පියන් ගුරුවරු හෝ වෙනත් වැඩිහිටියකු තම දරුවාට තරවටු කරනවාට අකමැතිය. ඒ මන්ද?  එතුල ගැබ්ව ඇති අපේය මගේය යන සිතුවිල්ල නිසාමය. ගුරුවරු යනුද මනුස්යෝම නොවේද?. නමුත් ඔවුන් ඔබට මට වඩා ඉවසීම ප්‍රගුණ කළ ඇත්තෝ වීම පුදුම සහගතය.

මම පංතිභාර ගුරුතුමියගෙන් ගුටි කෑවේ බාලාංශ පංතියේ සිටියදි මහ වැස්සේ තෙමි තෙමි බෝට්ටු යවන්නට ගොස්ය. එදා සිට අද වෙනතුරු ගුරුවරයෙකුගෙන් ගුටිකා නැතත් අපේ පංතියේ නසරානි කොල්ලන් ගුටි කා අත ගස ගස එනු බලා හිද ඇත. එවකට අපේ පාසලේ සිටි විදුහල්පතිතුමා වේවැල සගවාගන පාසල පුරාම ඇවිදින්නේ දෙතුන් දෙනෙකුට කසාය දෙන ගමන්ය. තනිකර සුදු අදින ඔහු පාසල් ළමුන්ගෙන් වෙන්කර හදුන ගැනීම ඉතා අපහසුය. ළඟට පැමිණෙනතුරු හඳුනාගත නොහැකි බැවින් සැඟවීමට කාලයක් නැතිය. එනිසාම අපේ පාසලේ විනය තිතට තිබුණේය. දඩබ්බර වැඩක් නොකල බාලකාලයෙන් පලක් නැත. ඒවා කළද නොහික්මුණ සේ දඩුවම් කළේ නැත.  ඔහුට හෝ ඇය⁣ට කිසිදා අමතක නොවන සේ දඩුවම් කළේය. එකම වරද දෙවරක් නොකරන්න ළමුන් පෙලඹුනේ එබැවිනි.

රජයේ අඩුම අදායම් ලබන වෘත්තිකයන් සිටින්නේ ගුරු වෘත්තිය තුළ වුවද ඔවුන්ගේ සේවයේ අඩුවක් ඇත්තේම නැත. මේ අතර අප සිතා බැලිය යුතු තවත් යමක් ඇත එදා ඉතා ගෞරවයෙන් සැලකූ ගුරුවෘත්තිකයන් මෙදා මේ තරම් පහළට වැටුණේ කෙසේද? තම වෘත්තියේ ගෞරවය කෙලසා ගැනීම ඔවුන්ගේම වරදකි. අද ෆේස්බුක් හී ඇතැම් ගුරුවරු හැසිරෙන ආකාරය දුටු විට ගෞරව කරන්නට තබා ඒ පැත්ත බලන්නවත් සිතෙන්නේ නැත. දරුවන්ට දඩුවම් දීම යනු සිතේ තරහ පිරිමහ ගැනීමකට පත්ව තිබීම එක්තරා ඛේදවාචකයකි.

අද ගුරුවරුන් බහුතරකට නොමැති එකමදේ ඉවසීමය. ගෙදර ප්‍රශ්ණ ගෙදර නොතියා පාසලට ගෙන යාමය. ගුරුවරු ගුරුවරියන් අතර සම්මත/අසම්මත ප්‍රේම සබඳතා දරුවන් ඉදිරියේ රඟ දැක්වීමය. ඇතැම් දරුවන් මේවා රසකර කියනු අසා සිටින්නට ලැබෙන්නේ ගමනාගමනයේදීය. ඔවුන්ට වටක් පිටක් ගාණක් නැත. ඔහේ කියවන්නේය. අවට සිටින අපට අපේ පාසල් කාලය මැවී පෙනෙන්නෙ එවිටය.

අද ගුරුවරු පාරට බැස තිබෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසාය. ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය එ්කපාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය.


රෝජා🌷


Tuesday, March 5, 2019

කහ ඉරි, සුදු ඉරි සහ පදිකයා

දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න

මේ අපි පුංචි කාලෙ අහපු කියපු කවියක් නෙව. අද සිද්ධ වෙච්ච අලකලංචියක් නිසා රෝජට ඔය කවිය මතක් වුණේ කහ ඉර ආ නෑනෙ සුදු ඉර ගාවදි ( දැන් ඉතිං ලංකාවෙ කහ ඉරියි සුදු ඉරියි දෙකම තියන නිසා ඩිංගක් පැටලෙනවා)

රෝජා කොහොමත් පාර පනින්න බය ඩෑල් එකක්. පාර පනින් ගිහින් පාර මැද බට්ටො පනින්න එපා කියලා තමයි රෝජට අම්ම කියලා තියෙන්නෙ. ඒ කිව්වට මම පාර පනින හැටි දන්නෝ දනිති. හරි හරි දැන් ඒ කතාවෙන් වැඩක් නෑ කියමුකෝ.

අද උදේ රෝජා මගින් බැස්ස නිසා තමයි මේක දකින්න ලැබුණේ. ඕන්න ඉතිං මම සලාකා එකට ගිහින් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන සාන්ත දාන්ත විදියට පාර අයිනෙන් ඇවිදගෙන ඇවිත් සුදු ඉර ඉස්සරහ හිටගෙන ඉන්නවා පාර මාරුවෙන්න. කොච්චර වුණත් තව කෙනෙක් හිටියොත් තමයිනෙ ගට්ස් එන්නේ...

ස්කූටියක් ඉස්සරහින් විතරක් නෙවෙයි කාන්තා පාර්ශවය ඩ්‍රයිව් කරන ඕනෑම වාහනයක් ඉස්සරහින් පාර පනින්න දෙපාරක් හිතලා තවත් දෙතුන්පාරක් හිතන්න ඕනි නිසාම රෝජා ඒව ඉස්සරහින්නම් පාර මාරුවෙන අවදානමක් කවදාවත් ගන්නෙ නෑ.. ඒ විතරක් නෙවෙයි 138 හෝමාගම බස් එකක් ඉස්සරහින් පාර පනින්න ඕනි ජීවිත අවදානම අතේ තියන් තමයි ඉතිං... එව්ව සේරම කගවේනා එක්ස්ප්‍රස් මරුවා සමග වාසේ බස් නිසා.


ඕන්න ඉතිං අද කතාවට එමුකෝ ට්‍රැක් පනින එකත් දැන් පුරුද්දට ගිහින්ද මන්දා...

දැන් රෝජා සුදු ඉරගාව බලා ඉන්නවා. ට්‍රැෆික් ලයිට් වෙනුවට පොල්ස් මාම කෙනෙක් තමයි එහාට මෙහාට අත වනන්නේ. රෝජ ළඟින්ම තවත් දෙන්නෙක් ඇවිත් හිටගත්තා. අපි සේරම දකුණු පැත්ත බලා ඉද්දි එතැනට ආපු අනෙක් අක්කට වම දකුණ මතකවත් නැතිව ආපු ගමන් පාරට පැන්නා.. "අයියෝ" රෝජට කියවුනේ වෙන්න යන දේ බලා ඉන්න බැරිව කෝමින් හරි බස් ඩ්‍රැයිවර් උන්නාන්සෙ හොඳ සිහියෙන් ඇවිත් දන්න සෙල්ලමක් දාලා නූලෙන් වැඩේ ගොඩදාගත්තා. (පුදුමයි ඒකත් 138ක්) තව වාහනයක් පිටි පස්සෙ නොතිබුණේ වෙලාවට නැත්නම් තවත් අනතුරක්.

බස් එක නවත්තල තිබුණත් එයා විතරයි පාර පැන්නෙ අපි බයවෙලා බලා හිටියා.

මම කල්පනා කළේ කහ ඉර හෝ සුදු ඉර පදිකයින්ට පාර මාරු වෙන්න තමයි තියෙන්නෙ ඒ වුණත් දෙයියනේ ඒව උඩිනුත් වාහන යනවනේ. මොකද ඒක අපට ලියල දීලා යෑ. පදිකයින් වුණත් පාර මාරුවෙන්න ඕන පිළිවෙලක් තියනවා. බැරි වෙලාවත් අද ඒ උන්දැ හැප්පුනා නම් සුදු ඉරේදි හප්පල කියල නිව්ස් එක යයි. වටේම ඉන්න සෙට් එක බස් එකටයි ඩ්‍රයිවර්ටයි හොඳම පදෙන් අමතලා ගුටි පූජාවකුත් තියයි. ඒත් එයා පාර පැනපු විදියට බස් එක නවත්ත ගත්තු එකම ලොකු දෙයක්. වාහන ඩ්‍රයිව් කරන්නෙත් මිනිස්සු මිස දෙවියො නෙවේනේ.

ඔය කොයි කවුරුත් සුදු ඉර අපේ කියල හිතාගන ඉන්නව නම් ඒ අදහස අදම අතෑර ගන්න හොඳේ මොකද ඒක වාහනවලටත් අයිතියි ....

රෝජා

Sunday, March 3, 2019

බැරිවැඩ නොකරන් අඹරෝ...

ඒ කාලෙ ඔහොම කතාවක් කිව්වෙ කට කහනවට නෙවේ කියලා රෝජට හරියටම තේරුනේ ඊයේ තමයි. ඉස්කෝලෙ යන කලෙ රෝජට තිබුණ පුදුම අාසාවක් ඒ කවදහරි සභාවක් මෙහෙයවන්න ඕන කියන එක.  ⁣ඒ කාලේ රෝජා මාර ලැජ්ජයි. බයයි ඒ වුණාට හිනාවෙච්ච ගමන්මයි කවුරු මොනා කිව්වත් හිනා වෙනව ඇර දෙයක් රෝජ කරන්නෙ නෑ.

ඉතිං එහෙම එකෙකුට පුළුවන් ද ස්ටේජ් එකට නැගලා සභාවක් මෙහෙයවන්න. 😂 කවුරුත් වගේ රෝජත් හිතුවෙ එහෙම. ඔයාල දන්නවද ඒ වගේම රෝජට තිබුණ තවත් ආසාවක් රඟපාන්න සිංදුකියන්න නටන්න.. ඔය එකකටවත් අවස්ථාවක් ලැබුණ් නෑ. පළවෙනියටම ඉස්සරහට ආවෙ රෝජගෙ හමේ පාට. ලස්සන ළමයි තමයි ඉස්සරහට පේන්න ඉන්න ඕනෑ. ලස්සනට නැටුවට වැඩක්නෑ අනේ ඊට හොඳයි ඕව එකක්වත් නොකර පාඩුවෙ ඉන්නවා. එහෙමයි රෝජා හිතුවෙ. ඒක සමහරවිට රෝජගෙ හීනමානය වෙන්නත් පුළුවන්.

කාලයත් ගෙවුනා කියන්නකෝ රෝජ දවසක් ඒ ආශාව ඉෂ්ඨ කරගත්තේ පොතක් ජනගත කරන අවස්ථාවක. පපුව ඩිග් ඩිග් ගාල ගැහුණා. මොකද සමහර වචන රෝජට ශබ්ද වෙන්නෙ වැරදියට. අනෙක මීට කලින් එහෙම දෙයක් කරලම නෑ. ඒත් ස්ටේජ් එකට නැග්ගම රෝජට ඉන්න තැන අමතක වෙනවා. මයික් නැතත් කට්ටියකට ඇහෙන්න කතා කරන්න පුළුවන් මේක දැන ගත්තෙ දහම් පාසලේ නාට්ටියක් රගපාන්න ගිහින් ඒකෙ තත්පර ගාණක පුංචි චරිතයක් රෝජට ලැබුණා. හැබැයි මුළු නාට්ටියෙම ඒ තත්පර ගාණ ගැන හැමෝම කතා කරන තැනට ගේන්න රෝජට පුළුවන් වුණා. ඕන්න ඔය මතකය තමයි රෝජට හයියක් වුණේ. කෝමින් කෝමින් හරි එදා වැඩේ ලස්සනට කළා කියලා හැමෝම ප්‍රසංසා කළා.

ඒ වුණාට රෝජ දන්නවා නිවේදන වෘත්තියට එයා එච්චර දක්ෂ නෑ කියලා. අද වෙන කොට උත්සව කීපයක්ම මෙහෙයවන අවස්ථාව වගේම වෙබ් රේඩියෝවක වැඩසටහන් හසුරවන්න අවස්ථාව ලැබිල තියනවා. රෝජගෙ හීනෙ හැබෑ වුණේ එහෙමයි. හීනය සැබෑ වුණද කිසියම් හිස්තැනක් ඇතිබව රෝජගෙ හැඟීමයි.

මේ සේරම මතක් වුණේ ඊයෙ හිරු ස්ටාර් අවසාන ෆයිනල් එක බලන්න ගිහින් දෙයියනේ.  ඕක මට මුලින්ම එපා වුණේ උද්ධික⁣ගෙ නිවේදන කටයුත්ත නිසා. ඒ තරම් දක්ෂ නළුවෙක් හඬ පෞර්ෂවයක් අර විදියට පීචන් වෙනව දකිද්දි කාටද දරාගන්න පුළුවන් දෙයියනේ. රෝජා ආසම නළුව ⁣ඒ විදියට රොජටත් නොතේරෙන එයාටත් නොතේරෙන දේවල් කියද්දි රෝජට හිතුණා දැන් ඔය මදැයි ඔයා ගෙදර යන්න කියලා මුලින්ම එයාව රනවුට් කරන්න.

කිරුළ කවුරු දිනාගත්තත් උද්ධික මේ රියැලටි තරගයෙන් පරාදයි. මෙය උද්ධික තේරුම් නොගත හොත් ඉදිරියට ඔහුගේ චරිතයට ඔහු විසින්ම පහර දී ගත්තා යැයි රෝජාට සිතෙනු ඇත. ඉතිං ආදරණීය උද්ධික දැන් ඉතිං ඔබ ඔබේ වෘත්තියට පිවිසෙන්න. ඊළඟ හිරු ස්ටාර් තරගයෙදී උද්ධික නැවත වරක් පරාදවෙනු දකින්නට නොලැබේවා යන්න රෝජාගේ ඒකායන පාර්ථනයයි

Friday, March 1, 2019

මම  දුර ගමන් යන්නට කැමති මැක්කෙකි. ඒ නමුත් ලැයිකා නම් මහා කම්මැලියෙකි. ලයිකා යනු මගේ ගජයාය. කෙතරම් කැමති වුවද ලැයිකා දමා දුර ගමන් යාමට මම අකමැතිය. (එය නොහැකියාව යැයි නොසලකන්න) ලැයිකා නැතිව පැවැත්මක් මට නැතිය. ඒ ඔබ සිතන හැටිය. ඇත්තම කතාව මා නැතිව උෟට පැවැත්මක් නැතිය. අපේ මිතුරුකමේ සීමා මායිම් කිසිත් නැති වීම නම් මට සතුටකි. ලැයිකා... ලැයිකා... කියා කීවට මේ ගෙදර මුරට ඉන්නා මුර සෙබලා  මූය. එ් නමුත් මුළු ගේම උස්සන් ගියත් ඌ දන්නෙ නැත. සීයා කට ඇරගෙන බුදිය ගන්නා ඇඳි පුටුව යට ලැයිකා ඔළුව බිම ඇණගෙන සැපට බුදිය. සද්දයක් බද්දයක් ඇහුනොත් ඔළුව උස්සල  බලලා නකුට දෙපාරක් පොළොවෙ ගැසීම පමණක් ඔහු රාජකාරිමය වශයෙන් කරන්නේය. මූ වගේ කම්මැලියෙක් එක්ක දුර ගමන් යන්නට හිතන මටද පිස්සුය. නමුදු උත්සහය අතහැරිය යුතු නැත.

මේ මචං උඹට හිතෙන්නැද්ද පාරට ගිහින් ටිකක් ඇවිදලා එන්න

එක ඇහැක් යාන්තමට ඇර මා දෙස ඔරවා බැලූ පොර මාව තුට්ටුවකට මායිම් නොකලේය. උෟ එහෙම හිතුවට මම ගේම අතහරින්නේද නැත

තමුසෙ හිතන්නෙ මුළු ලෝකෙම මෙච්චරයි කියලද?

කොච්චර වුණත් මට මොකෝ.. කියන්නැහෙ හොම්බ ගස්සා මෑන් ආයෙමත් බුදිය

තමුසෙ දන්නවද මේ ලෝකෙ හරි විශාලයි. තමුසෙ නිකම්ම ගෙයි ගෙම්බෙක් වගේ බලනවකො තමුසෙගෙ වරිගයෙ එවුන් පාරක් පාරක් ගානේ තමන්ගෙ අණසක පතුරගෙන ඉන්න හැටි. තමුසෙ නිකම්ම නිකම් දාසයෙක් වෙලා. ෂික් වරිගෙටත් එක්ක ලැජ්ජයි.

මට මේ ගේ බලා ගන්න තියනවා. තමුසෙට ඕන නම් ගිහින් එනවා

නෙදකින් මූ වගේ කම්මැලියෙක්.

උඹ දන්නවද අද ගෑනු ළමයි පාරට එන දවස තමුසෙට හිතෙන්නැද්ද ලස්සන නෝන කෙනෙක් දකින්න. එයාට ආදරේ කරන්න.

ඒ පාරනම් මෑන් පැණි හිනාවක් දාගනම මා දෙසට හැරුණාය. ඒ සැනින්ම අහක බලා ගත්තාය. ඉන්පසු ලැයිකගෙ කකුලට හේත්තුවෙලා කකුලක්පිට කකුලක් දා ගන්න ගමන් මම වැඩේට එන්ටර් වුණා.

මට ඕව තේරෙන්නෑ ඕයි. තමුසෙට ඕන තරම් නෝනල ඉන්නෙ ඔය මගෙ පිටේ.

උන්ට ඕන තරම් මහත්තුරුත් ඉන්නවනෙ ඕයි. මට දුක තමුන් ගැන.
යමුද ටිකක් ඇවිදලා ගෑනු ළමයෙක් සෙට් කරගන්න.

උඹ මට හෙල්ප් කරනවද?

එකෙන්ම. උඹට නොකරන උදව් වෙන කාට කරන්නද?

දාහක් කරුණු කාරනා කිව්වට පසු ලැයිකා ගමනට සූදානම් විය. මම වීරයකු සේ ලැයිකාගෙ පිට උඩ නැග ගතිමි.

දඩිපඩි ගා නැගිට ගත්තට ලැයිකාගේ ගමන පාන්කඩයක් එහෙට මෙහෙට වැනෙනා තාලෙටය. මෙහෙම ගියොත් නාඹර ලමිස්සියෙක් තියා නාකි බලු නකුට්ටියෙක්වත් මූට සෙට් කරන්නට තියා ඇහැක් ඇර බලන්නටවත් කැමති වෙන එකක් නැතිය. බලාසිටියොත් වෙන්නේ අඩි දහයක් දොලහක් ගිහින් නැවත හැරී එන්නටය.

මොකක්ද බං මේ ගමන ටිකක් කොල්ලෙක් වගේ දඩිපඩිගාලා ඇවිදහන්කෝ ..  කෙල්ලො කැමති ඒවගේ ඇක්ටිව් කොල්ලන්ටනේ

වචනය පිටවෙන සැනින් ලැයිකා ගමනේ වේගය ටිකාක් වැඩි කළේය. ඒ සැනින් එය දෙගුණයක් වැඩිවිය දැන්නම් ගමන පාළු නැත. ලැයිකා පාර දෙපසම පීරන්නේ නාඹර කැකුලියක් දැක ගැනීමේ අටියෙනි. මම කුරුල්ලෙකු සේ සුළඟේ පහස විදිමින් ගීතයක් ගයන්නට වීමි.

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා...... මා අමතන්න සනසන්න මගෙ වාසනා....

ටික දුරක් හැල්මේ දුවන් ආ ලැයිකා හතර ගාතේ දමා ඇදගන වැ⁣ටුනේ මා නොසිතූ මොහොතක වූයෙන් දන්නා වැඩ කිඩ සේරම දමා ලැයිකාගේ කෙස්ගසක තනි අතින් එල්ලී ජාම බේරාගන්නට මට හැකිවිය.

ලැයිකාගේ දකුණු පය තුවාල වී ඇත. වේදනාවෙන් කඳුළු පෙරමින් ලැයිකා බෙරිහන් දෙන්නට විය. එතැන් සිට පේන තෙක් මානයට යනතෙක් පාර පුරා වලවල්ය කඩතොළුය. පාරෙන් ගැලවී විසිවුණ තුන්කාර ගල් කෑලි උඩින් මනුස්සයෙක් බැරි බැරි ගාතේ ඇවිදන් එන්නේ දැන් වැටෙයි දැන් වැටෙයි කියා හිතමින්ය. එ් මත ඇවිදින මිනිස්සු දැක්නාම මට සිනහ නොවී සිටීමට නොහැකි විය. ලැයිකා කෝපයෙන් මගෙ සිනහවට ගෙරවීමත් සමඟ මම නිහඬ වීමි.


අද ඔහොම යනවා හෙට යන්න පාර හදාගත්තනම් මොකද

ඒකට තමයි රජයක් තියෙන්නේ. රජය බදුගන්නේ ඕව හදන්න තමයි

ගන්න බදුවලින් මොකද කරන්නෙ කියලා හොයල බලන එක මිනිස්සුන්ගෙත් යුතුකමක්.

එව්ව හොයන්න ගියොත් උඹයි මමයි මේ පාරට දාලා තාරදායි... හොඳම දේ අපි ගෙදර හිටපු විදියට පාඩුවෙ සැනසිල්ලෙ ඉන්න එක.

ලැයිකා කියන්නෙත් ඇත්තය ඒත් කොකාට වාරයක් අාවනම් තිත්තයටද වාරයක් එන බව තිත්තයා දැන සිටිය යුතුය. ඒ බව කොකාට අමතක වුණා වගේ තිතිතයටත් අමතක වෙච්ච එක තමයි කරුමේ

ලැයිකාගෙ කැඩුන කකුලට බේත් කරන්නට ආයෙමත් ගෙදර එන අතර දුර ගමන් සිහිනය වෙනත් දිනකට කල්දමා සිත සනසාගන්නටද මට ද සිදුවුණි

මැක්කා




Tuesday, February 26, 2019

ගඟ

සඳක් ඇවිදින් තුරක හැපි හැපි
හඬාවැටුනට
ගඟක් පහළට ගලායන එක
නවත්වන්නට බෑ
කුණාටුවකට පසුව හමුවුණ
හුදකලාවක විරාමය මැද
උඹෙයි මාගෙයි මතක විතරක් මකාගන්නට බෑ

වසන්තයකට පිපෙන්නට බැරි
මලක් සිසිරයෙ තනිව පිපුණම.
ඉකිගසන්නට කැමති කිසිවකු
ලොවේ ඉපදී නෑ....
උඹත් ඈතට යන්න ගිය පසු
මගේ තනිකම දරාගන්නට
සිසිරයට මිස වසන්තයකට බෑ


ඈත දි⁣ලිහෙන පුංචි තරුවක්
ඉල්ලලා පොඩිඑකෙක් හැඩුවිට
ජීවිතේ අපි ලියපු පාඩම්
හොයා ගන්නට නෑ
මගෙයි උඹගෙයි පෙම් කතාවට
කොමාවක් මිස විරාමයකුත් නෑ

Sunday, February 24, 2019

 මඳ සුළඟකින් පවා රිඳුම් ඇතිවිය හැකි දරුවකුගේ සිත සුසිනිඳුම මල්පෙත්තක් මෙනි. උදෑසන පිනි බිංදු නැහැවී ආදරය දෝරගලමින් සිනාසෙන මල්පෙති දැඩි හිරු රශ්මිය හමුවේ මලානික වී බෙරිකරගත් මුහුණින් බලා සිටිනු ඔබ අනන්තවත් දකින්නට ඇත.

කුඩා දරුවකුගෙ සිතද එපරිද්දෙන්ම සියුම් ස්පර්ශයන් හඳුනයි. ආදරය සෙනෙහස ළඟ මෘදු මොලොක් වන සිත වෛරය ක්‍රොධය හමුවේ මැලවී බොඳවී යයි. අද මම උත්සහ දරන්නෙ එවන් දරුවන් ගැන ඔබට යමක් පවසන්න.

මාගෙ නිවෙස අහල පහළ වෙසෙන ඇය කුඩා දියණියකි. නිරතුරුව කේන්ති ගන්නා දෙමාපියන් ප්‍රතික්ශේප කරන ඇය තම අත්තම්මමා සහ සීයා සමඟ වැඩිපුර බැඳී වු⁣ණ්නේය. ඒ හේතුව නිසාම අම්මා සහ තාත්තා අැයට තව තවත් වෛරකරන්නට විය. එම මවගේ අනෙක් දරුවන් මෙන් නොව පැහැයෙන් අඩුවූ ඇය එයටද වැරදි කාරියක වූවාය. මූසලී යැයි නිතර දොස් කීවාය. නිතර සිනාසී සිටින ඇය සිනාසීමද  ඇගේ අම්මාට වදයක් සේ පෙනුනෙන් එයටද දොස් කීවාය.

තම නිවසේ සිදුවන මෙවන් අකටයුතුකම් පුංචි පුංචි සිත් රිඳවීම් හිත තුළ සඟවා සිටීමටත් කිසිවෙකුටත් නොපවසා සිටින්නට ඇය උත්සහ කළාය. කෙටි කාලයකට පසුව සිඳුවූ යම්කිසි හේතුවක් මත මෙම දැරියට අත්තම්මාගේ නිවසට යාම තහනම් කරන ලදින් ඇය තම නිවස තුලම සිරවී කල්පනා කරන්නටත් තම සිත සමග තනිව අරගල කරන්නටත් පටන්  ගත්තේ කිසිවකුටත් රහසිනි.

කෙමෙන් කෙමෙන් ඇය රෝගී වූවාය. ඇඟ වෙවුලා සිහිසුන්වී වැටෙන්නටත් විනාඩි ගණනක් එලෙසම සිහිනොමැතිව සිටින්නටත් දරාගත නොහැකි පපුවේ වේදනාවකිනුත් පෙළුන ඇය අවසන රෝහල් ගතකරන ලදී. මනසින් වැටුණ දරුවා තොරතෝංචියක් නැතිව කියවන්නටත් හඬන්නටත් වූවාය. හැම පොට්ටුවකටම පිපෙන්නට කාලයක් අැත. ඇතැම් ලෙඩ රෝග සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නැත. ඇත්තේ ආදරයම පමණි.  ළමා මනස කියවන්නට හැකි සුන්දරම පොතකි. එය කටුක කටු කම්බියකින් ඔතා වසා දැමිය යුතු නැත.

අපි කිසිවෙකු එකවර අතපය උස්මහත් වී වැඩී ලොකු මිනිසුන් වූයේ නැත. අපද ළමාවිය ගත කර අද මහ මිනිස්සුන් වූ අයනම් අපට අපගේ ළමා කාලය අමතක වී තිබිය හැකිද? එසේ අමතක වූයේ නම් එය කේදවාචකයකි. අපි කුඩා කළ සෙව් ආදරය සෙනෙහස කරුණාව දයාව විනෝදය සියළු දේ අපේ දරුවාටද විඳින්නට අයිතියක් ඇත. ඉතිං අපි අපේ දරුවාගේ ළමාවිය සොරකම් නොකරමු. ඔවුනටද ළමාවිය ගත කරන්නට ඉඩ දෙමු.