Sunday, September 25, 2016

හිනාවෙන කණ්නාඩි




හිත කීරිගහගෙන සිතුවිලි දෝන්කාර දෙනව. ඇස් අස්සට එබෙන්න බැරි හිත කොළුකමට යටවෙලා වෙනස් පාරක යනව.

"අම්මේ"

ඉවසන්නම බැරි තැනයි මට ඒ වචනෙ පිටවුනේ. ඒත් ඒක ඇහෙනමානෙක උන්දැ හිටියෙ නෑ. මටත් නොකියම පිටවුන තවත් සුසුමක් සුළඟක්වත් නැති හිස්තැනකට එකතුවුනා. ඇස්වලට උනන්නැති කඳුළු හිත ඇතුලෙන්ම ආයෙමත් පල්ලම් බැස්ස. දැන්නම් ඉවසන්නම බැරි තරම් හිස කකියනව. ඒත් ඒක කියන්න අහල පහල මට හිටියෙ මමම විතරයි.

ගිණිකබලට රත්වෙච්ච ඉර හිතුවක්කාර කමට මහ පොලව පුච්චනව ඒ ගින්න පොලවට නොදැනුනේ කොන්ක්‍රිට් ගල් වලට වැහිච්ච හින්ද වෙන්න ඇති. ඒත් ඒ ගින්නට මැදිවෙච්ච අනෙක් අයට වගේම මටත් හෙවනක් දෙන්න තරම් ගහක් කොළක් පේන තෙක්මානෙක තිබුණෙ නෑ. හැමතැනම තිබූණ උද්යාන වල පුංචි පුංචි ගස් වලටත් රට ඉදි ගස් වලටත් වේදනාව ඉසගන්න බැරිව ඇබරෙද්දි ඒසී කරපු බස් හෝල්ට් එකක් ඇතුලෙ ඉදන් ඇස් රවට්ට ගන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ. ගිණිකබලට රත්වෙලා පුපුරු ගහන ඔළුව හංගගන්න තැනක් හොය හොය හිත හැමතැනම ඇවිදිද්දි මම එතනම නතරවුනා. නොනවත්වාම කනගාවින් කම්මුල් දිගේ පහලට ඇදගෙන වැටෙන දාඩිය බිංදුවල ලුණුරහ ඉද හිට දිවටත් දැනෙනව. තොලකට වේලෙන හැම වෙලාවකම ඒ ලුණුරහ බලන්න මම පුරුදුවුනේ මෙහෙට ආවට පස්සෙයි.

"දිව ගිලෙන්න එනව"

"ඉතිං ගිලපං"

"පුළුවන්නම් අම්මප ගිලිනව"

"ඉවසන්න පුරුදුවෙයන්. හිතන තරම් සැප නෑ මෙහෙ"

"කවද කොහොම පුරුදුවෙන්නද"

"ඇයි උඹට බැරිද"

"නෑ මට පුළුවන්"

බිත්තියෙ එල්ලිල මගෙ දිහා බලා ඉන්න ඒ මිනිහ මට හයියෙන් හිනාවෙනව. ඔව් මම මටම හිනාවෙනව.

"දැන් උඹට ඇතිතරම් මට හිනාවෙයන්. ඒත් මම අඩන්නෑ. මට පුළුවන්. කවද හරි මම උඹට හිනාවෙනව"

ඔරලෝසුවෙ කටුව කැරකිල කැරකිල දවල් කෑම වෙලාව මතක් කරල දුන්න. හිතට දැනුනෙ සතුටක් හිතේ ගින්න නිවෙන්න කුසේ ගින්නට පුළුවන් වුනා. ඒත් කෑම වේල අතට ගත්තම ඒ ගින්න තවත් ඇවිළුන.

"ඇයි අම්මෙ අපි මෙච්චර පව්කලේ"

වේලුන රොටිය වතුර හොද්දත් එක්ක අනාගෙන කද්දි මට මතක් වුනේ ඉස්සර හීල් බතට රතුළුනු කපල දාල ලුණු ටිකක් ඉහල පොල්ටිකක් දාල අනල අපි ඔක්කොම එකතුවෙලා දියබත් කාපු හැටි. ඒ දියබත මොනතරම් රහද ? සුදුහාල් බතට පොල් සම්බෝලයක් හදල අම්මගෙ අතින් කවද්දි මට මහා ගොඩක් රහයි අම්මෙ.

"මොකද"

"ආයෙමත් හිස කකියනව. පුපුරන්න වගේ මේ වෙලාවට මට හිතෙන්නෙම ඔළුව රිදෙන එක නැතිවෙනකම්ම අර බිත්තියෙ ඔළුව ගහගෙන ගහගෙන යන්න"

"පිස්සුද බං. ඉවසන්න පුරුදුවෙයන්"

කණ්නාඩියකට වඩා පැහැදිලිව බිත්තියෙ එල්ලිච්ච මම මගෙ දිහා බලා ඉන්නව ඒ ඇස්වල තියෙන හැගීම මටවත් කියවන්න බැරි තරම් දුකයි. ඒ අස්සෙන් වැටිච්ච අම්මගෙ ඇස්වල කඳුලක් එක්ක ඩිරාමයක හෙවනැල්ල ආයෙමත් හිත අවුස්සනව. ඔළුව ඩිංගක් උස්සල බැලුවම ඔළුගෙඩි දාස් ගානක් එහා මෙහා යනව ඒත් ඒ කාවවත් මම දන්නෑ. මගේ කියන කෙනෙක්ගෙ සුවඳවත් මාලගට එන්නෙ නෑ. මිනිස්සු දාස් ගානක් අතර තනිවෙච්ච මම ජීවිතේ හොයනව. ඔයාලට දෙන්න ජීවිතේ හොයනව. රට සල්ලිවල හැංගිච්ච උජාරුව හොයනව.

ආදරණීය අම්මේ

මගෙ අම්ම සනීපෙන්ද ? අප්පච්චි තාම වෙනද වගේම මට බනිනවද? මම සතුටින් ඉන්නව. මෙහෙ යාළුවො ගොඩක් ඉන්නව. තනියක් ඇත්තෙම නෑ. ඔයාලව ගොඩක් මතක් වෙනව හැමෝම මතක් කලා කියන්න. මයෙ අම්මයි අප්පච්චියි පරිස්සමෙන් ඉන්න. පඩි හම්බුණ ගමන් සල්ලි එවන්නම්. තාම ලැබුන්නෑ.

 

මේ ඔයාලට ගොඩාක් ආදර පොඩි පුතා.

ගොඩාක් ලිව්වොත් අම්මට දුක හිතෙයි ඒකයි පොඩ්ඩක් ලිව්වෙ. තාම ගෙදරට ටෙලිෆෝන් නෑනෙ. දවස් විසිනමයක්ම දුක්වින්ද ඒත් අද හරිම සතුටුයි. වෙනදට වඩා ඉක්මනට නැගිට්ටෙ පඩි දවස හින්ද මෙච්චර දවස් ඇවිලෙච්ච ගින්නට යන්තම් සිසිලක් වැටෙන දවස ඒත් ඒ සතුට තිබුණෙ වැඩට යනකම් විතරයි.

හැමෝම මැනේජර් මහත්තය දිහා බැලුවෙ හිනාවෙලා ඒත්

"මොකද,

අද පඩිදාන්න විදියක් නෑ. ලබන මාසෙ දහය දාන්නම්"

 

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴.෴

 

"අම්මට සිරි මචං , කවද්ද ලංකාවට ආවෙ බලපංකො කොල්ල ලස්සන වෙලා සුදුවෙලා මහත්වෙලා"

"සැපනෙ බං අපිට වගේ යෑ. ඒව හරියන්නෑ අපිට පාටියක් ඕන හරිද"

"ඉතිං ඉතිං කියපංකො මාවත් ගන්න බැරිද මචං මෙහෙ ඉදල එපා වෙලා"

"මොනවද  එනකොට ගෙනාවෙ"

"පුතේ මේ නැන්දල ඇවිත්"

"කොහොමද පුතේ. කොල්ල ලස්සනවෙලා නේද අක්කෙ"

"මොනාද අපිට ගෙනාවෙ ඉතිං ඔයා"

බිත්තිය මැද්දට හිරවෙච්ච කණ්නාඩියෙන් මම ආයෙමත් මට හිනාවෙනව ඒ හිනාව මොනවගේද ඒක මටම තේරෙන්නෑ

 

ආයෙමත් අර හිසේ වේදනාව ඔහ් ඉවසන්න බැහැ

 

 

02

 

හෙමින් හෙමින් ගස්වල අතු ඉති උඩට වැටුන හිරිපොද වැස්ස වැලිකැට තරමට ලොකුවෙලා බොරළුකැට වලට හැරෙන්න මහ ලොකුවෙලාවක් ගියේ නෑ. මේ බොරළු කැට වැස්සට පිංදිදී මම කාමරේට වැදුනෙ සැනසුම් සුසුමක් වැහි වතුරට එකතු කරනගමන්මයි.

බලන්න එන අය වෙනුවෙන්, අම්මගෙ වුවමනාවට කපල දාපු කොණ්ඩෙ මගෙ හිත ගත්තෙ නැතත් වෙනසක් තියනව කියල නම් මටත් පස්සෙ හිතුන. හිත අස්සෙන් කණ්නාඩිය‍ට බැහැගත්තු ඇස් මගෙ දිහා බලා ඉන්නව. ඒ ඇස්වල සතුට උතුරනව.

"බලපංකො මුගෙ හිනාව"

"කොල්ල පෙම්පාටයි ඈ"

"එහෙම එකක් නෑ අයියෙ"

"අනේ මේ පලයං යන්න අපි නොදන්නව යෑ ඕව"

"අපිත් ඔය කාලෙ පහුකලා මල්ලී"

මෙච්චර කියලත් මට ගෑණු ළමයෙක් නෑ කියල කවුරුත් පිළිගත්තෙ නෑනෙ. තව පාරක් බිත්තියට ඇලවෙච්ච හිත ඇස්දිහා බැලුව "පෙම්පාටද" මම මගෙන් ඇහුව. "පිස්සු" කණ්නාඩිය උත්තර දුන්න.

.................................෴.................................

 

මොකද කරන්නෙ හෙට එනව කියල අම්මට කිව්වොත් ඒක හැමෝම දැනගන්නව. එතකොට ඒ සතුට මට බලන්න බැරි වෙයි. මම නොකියම යනව ඔව් එතකොට එයාල සතුටුවෙයි ඒ සතුට මටත් බලන්න පුළුවන්. කෑගහයි පුදුමවෙයි අම්මට කඳුළුත් එයි. තාත්ත ඉතිං වැඩිය සද්ද නෑනෙ.

ගෙදරට නොදන්වා එන්න මගෙ හිත දාහක් හේතු හෙව්ව. උදේ පාන්දරම අම්මලට මාව එක්ක යන්න එන්න බැහැනෙ. ඒකත් කරදරයක් ඔන්න ඔහේ මම කියන්නෑ එනව කියල. අන්තිම තීරණය තමයි ඒ. මාව දැක්කම එයාලගෙ ඇස්වල දඟලන සතුට මගෙ ඇස්වලින් එළියට පැන්නෙ ඔන්න ඔය වෙලාවෙයි.

අහස් යන්තරේට වඩා වේගෙන් මගෙ හිත ලංකාවට යනව. අම්මට කියන්න ගොඩක් දේවල් තියනව. තව අම්මට කියල බත්කවාගන්න ඔඩොක්කුවෙ නිදාගන්න කතන්දර අහන්න ඉලංදාරිකම යටකරගෙන පුංචි එකෙක් හිත ඇතුලෙ දගලනව. ඒ දැගලිල්ල තවවැඩි වුනේ එයාර්පෝට් එකට කකුලක් තියද්දිමයි. මහ හුගක් වචන එකපාර එළියට එන්න දගලනව ඒ නිසාමද මන්ද වචනත් පැටළුන.

"සමයං සිංහලත් මතක නැද්ද කොහෙද" එයාගෙ ඇස් කිව්වෙ ඒ වගේ කතාවක්. වටේම ඉදන් මා දිහා බලාඉන්න මට මම හිනාවුනේ හරිම සතුටින්.

"චූටි පුතා"

"අයියෝ කවුද ආවෙ මේ වැස්සෙ" හිත එහෙම අහද්දි මූණෙ තිබුනෙ නොසන්සුන් පෙනුමක්. කොහේවත් නැති හිනාවක් බලෙන්ම මූණට එකතු කරගත්ත මම දොර පැත්තට හැරුණ.

"‍ආ තේ බොන්න"

ඒක ඇහුනගමන්ම හිනාව පාට වෙනස් කලා. හිනාවත් හරියට කටුස්සෙක්වගේ හිතිච්ච හිතිච්ච ගමන් පාට වෙනස් කරනව.

 

ආවට පස්සෙම මූණූ පොතට ගොඩවෙන්න බැරිවුනා. ඒත් ඒක හිතුව විතරයි පට පටාස් ගාල කණගාවම අකුණක් පිපුරුව. ආයෙමත් ඇදට වැටිල ඇස්දෙක පියාගත්ත. නින්ද අහලකටවත් ආවෙ නැති නිසා ඕන කෙහෙල්මලක් කියල මූණු පොතට ඔළුව දැම්ම. ලස්සනම ලස්සන කඩුපුල් මලක් ඇස් ඉස්සරහ. සොයා දෙන්න, කවුද හොරකම් කරල.  ලස්සන නමක් ඒ පුංචි ඇස් මට මොනවද කියනව. වචන දෙක තුනක් ලියලම ඒ පොටෝ එක ශෙයාර් කලා. ඒත් මම පරක්කු වැඩියි කියල තේරුනේ තව ටිකක් එයා මෙහා යද්දියි. අකාලෙට පිපිච්ච කඩුපුල් මල හැමතැනම. පෙතිත් පොඩිකරල නටුවෙනුත් ගලවල පරවෙලත් ඉවරයි. 'දෙයියනේ මුන්ට හොදක් වෙන්නෑ' ඒ වචන පිටවුනෙ හිතින් ඒත් මට හොදට ඇහුන.

ඒ පුංචි කෙල්ල කටුපදුරක් අස්සෙ කොහොමද මේ තිරිසන්නු මේක කලේ. ඒ පොටෝ එක දිහා බලාගෙන ඉද්දි මට මැවුනෙ මේක කොහොම කරන්න ඇද්ද කියල. හිතට ආවෙ තරහක් කේන්තියක් 'ෂික් මුන්ට දෙන්න ඕන රජකාලෙ දඩුවම්' හිත කෑ ගැහුව. පුංචි ළමයි ලැජ්ජහිතුන වෙලාවට ඇදුමෙ කොනක් අල්ලගන්නව ඒක එහා මෙහා කරනව ඊයෙ අක්කගෙ දෝණිත් එහෙම්ම කලා මට මතකයි ඒත් මේ පුංචි එකීගෙ ඒවගේ පිංතූරයක මගෙ ඇස් නතරවුනේ ඒ පුංචි කලවා ලග. මටම ලැජ්ජ හිතුන මම ගැන කැතට නොහිතුවත් මහා කලකිරීමකින් පිංතූරෙන් ගලවගත්තු ඇස් දෙක කණ්නාඩියෙ එල්ලුව. ඒක මහා බැරෑරුම් බැල්මක්. ඕක සාමානයයි උඹට හිතන්න දෙයක් නෑ ගෑණු පිරිමි බේදයක් නැතිව කවුරුත් ඕක ඇස්දෙකේ දාගන්නව ඒ සිදුවීම මවාගන්න.

"නැහැ මම කැතට හිතුවෙ නෑ"

"ඒකතමයි මම කිව්වෙ"

"කොච්චර නෑ කිව්වත් ඔය රූප ටික කවුරුත් හිතේ ඇදගන්නව."

"ඕක උබේ වරද නෙවෙයි. හිතේ වරදත් නෙවෙයි"

"එහෙනම්"

"උඹ කලේ වේදනාවෙන් ඒ පුංචි එකීගෙ වේදනාව මවාගන්න එක"

 

ඇත්ත මම කලේ ඒක. ඒත් මේකෙ වරදක් තියනව අනික් පිංතූරවල ඒ මූණ විතරමයි මම දැක්කෙ. එහෙනම්

 

"මුන්ටත් දෙන්න ඕන ඒ දඩුවමම"

"එල්ලුම්ගහ ආයෙ ගේන්නම ඕන"

ඒක ඇහුනගමන් කණ්නාඩිය මහ හයියෙන් හිනාවෙනව. මේක විහිළුවක්ද? මම රවල බැළුව ගින්දර පිටවෙන ඇස්දෙක මැද්දෙන්.

කණ්නාඩිය ඇතුලෙ එල්ලුම්ගහ. චූදිතයො පෝලිමට,

කොච්චර වෙලාද ....... ඇයි එල්ලන්නැත්තෙ

ඇයි.

ඇයි.......

කණ්නාඩිය එක එල්ලේම මගෙ දිහා බැළුව .

 

 ඇයි මමද අළුගෝසුව.

 

 03

 

ඔරොප්පුවෙන්ම මුහුණු පොත වහල දාපු මම ඇදේ අනික් පැත්තට හැරුණෙ කණ්නාඩියෙන් මූණ හංගගන්නම නෙවෙයි යාන්තමට ඇස්පියවේගෙන ආපු හින්ද? මේ වෙනකොට බොරළු කැට වැස්ස පායල ආයෙමත් පුංචි මල් වැස්සක් වැටෙන්න පටන් ගත්තු නිසා තව කවුරුහරි එන්නත් බැරි නැහැ. නිදිමතට වඩා වටිහිත කිව්වෙම ඒ කතාව. බලාගෙන ගියාම නිදාගන්නත් හිත හේතු කන්දරාවක් හොයනව.

 

ඉර මුදුන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇස් ඇරගත්තෙ දාඩිය වතුර බිංදු වගේ ඇග දිගේ බේරෙද්දි. ඉවසන්න බැරුව.  ජනේලෙන් යන්තමට ඔළුව එළියට දාල වටපිට බැලුව පුදුමයි වැහැපු පාටක්වත් පේන්න නෑ. ඇවිල්ල සතියක් වෙලත් තාමත් අස්කරගන්න බැරිවුන ඇඳුම් බෑග් එක ඇදඋඩට ගත්තෙ අදවත් අස්කරගන්න. ඒත් අද ඒක ගෙනාවට වඩා සෑහෙන්න බර අඩුයි. එදා මේකත් අරගෙන ගුවන්තොටුපලෙන් එළියට එන්න හදද්දි මට මතක්වුනා සල්ලි මාරුකරගන්න

"එන්න එන්න මහත්තයා එන්න මෙතනට එන්න"

"සල්ලි මාරු කරගන්නද?"

"මම කරල දෙන්නම් මහත්තය"

"යමු මහත්තය"

"එන්න එන්න එන්න එන්න"

ඒ වෙලාවෙ මට මොකුත්ම හිතාගන්න බැරිවුනා කවුද හොද? කාගාවට යන්නද? හතර වටේම එක එක්කෙනා කෑ ගහනව අතේ එල්ලෙනව. මෙච්චර වෙලා අමතකවෙලා තිබ්බ මගේ ඔළුව කැක්කුම ආයෙමත් සැරයක් පටන් අරගත්ත. හිතට ආපු තරහත් එක්ක ඒ වේදනාව දෙගුණ තෙගුණ වෙද්දි බැංකු පෝලිම දිහාම බලල ඉස්සරහින්ම තිබුණ රජයේ බැංකු කවුළුවට කිට්ටුකලා. කොයිකටත් ඒක හොදයිනෙ. කවුන්ටරේ හිටපු කෙනාගෙ මූණෙ තිබුනෙ මෙයා අපේ ඈ කියනව වගේ කතාවක්.

"දෙන්න"

"ංආ හරි ස්තූතී"

ගනන් කරල බැලුව ගාන අඩුයි. ටක්ගාල ඇස්දෙක කවුන්ටරේට තිබ්බට 2% කමිෂන්. මැරිල මැරිල හම්බකරන් එන තුට්ටුදෙක මාරුකරල රුපියල් කරල දෙනවටත අපි ගානක් දෙන්න ඕන. අනෙු අම්මප මෙහෙමත් හිගන්නො. එක අතකට මේකත් ඒ වගේ වැඩක ඔන්න ඉතිං ඒ වෙලාවෙ මට මතක් වුනා යන්න කලින් දවසෙ අපිට කිව්ව අපි විදේශ විනිමය රටට අරන් එන විරුවන් කියල. රටවිරුවන්ගෙන් කමිෂන් "අයියෝ සල්ලි" කවුන්ටරෙන් ඇස්දෙක ගලවල ඉස්සරහට ගියේ ඒ කාලගෝටියේ බේරෙන්න

"මහත්තය ගෙදරින් ඇවිත්ද"

"වාහනයක්ද බැලුවෙ"

"එන්න මහත්තය. අඩුවට එක්ක යන්නම්"

"බයවෙන්න එපා මහත්තය"

"යමු යමු එන්න එන්න"

 

"අපොයි ඉවරයක් නෑ. මුනුත් හරියට කාක්කො වගේ" තරහත් පිටකරගන්න බැරි වුනාට හිසේ කැක්කුම තව තවත් වැඩි වෙන්න පටන් ගත්ත.

ඕන්නෑ එකක්වත් ඕන නෑ එයාර්පෝර්ට් එකේම ලියාපදිංචි වාහනයක් කතාකරගත්ත ආරක්ෂාවටත් ඒක තමයි හොද?

"කීයද"

"2500"

කමක් නෑ කීය වුනත් දැන් ගණන් වෙනස් වෙලා ඇති යමු. කියල වාහනේට ගොඩවුනා. ඩ්‍රයිවර් යන්තමට හිනාවුනා

"හෝමාගමට නේද සර්"

"ඔව්"

"මැප් එක ඔන්කරගෙන වාහනේ ඉස්සරහට ඇදුන. ඒ යනගමන් මම බැලුවෙ මාව එක්ක යන්න හදපු කතාකල මිනිස්සු දිහා. කාව හරි එක්කයන්න ඒ අය එන එන මනුස්සය පස්සෙ යනව. මගඇරල යන මනුස්සය දිහා තප්පරයකටවත් හැරිල බලන්නෙ නෑ. එක අතකට මේ දගලන්නෙ දවසෙ වියදම හොයාගන්නනෙ. මොනා කරන්නද මේක ඉතිං ඒ මිනිස්සුන්ගෙ රස්සාවනෙ. ඔය වාහනත් අනුන්ගෙද කවුද දන්නෙ. මට වුනත් මහත්තය මහත්තය කිය කියා පස්සෙන් ආවෙ ඒකනෙ. එහෙම කියල කැරකෙන ඇස් සයිඩ් කණ්නාඩියෙ ඇලවුනා.

"ඇයි උඹ මහත්තයෙක් නෙවෙයිද"

"උඹ විතරක් නෙවෙයි ඒ මිනිස්සුත් මහත්තුරු"

"හ්ම්ම්"

"ඒත් ඉතිං ඒ මහත්තය කිව්වෙ ඒක දැනගෙනද නැහැනෙ"

 

මිනිස්සු ජීවත්වෙන්න මොන මොන දේ කරනවද? ඒ වෙලාවෙ කරදරයක් කියල හිතපු මිනිස්සු වෙනුවෙන් දැන් හිත වෙඩරු වගේ දියවෙලා පල්ලම් බහිනව. මේ හිතත් මහා පුදුමාකාරයි.  එකපාරක් සයිඩ් කණ්නාඩියෙන් මගෙ දිහා බලපු ඩ්‍රයිවර් අයිය යන්තමට හිනාවුනා. "මේ පාරවල් ගොඩක් වෙනස් වෙලා අයියෙ"

"ඔව් මහත්තය"

"මහත්තය" මම ආයෙත් නිහඬ වුණා.

"මට මතක ලග පාරක් තියනව"

"එකෙන් යමු ඉස්සරහින් දකුණට දාන්න"

"මහත්තයට හොදටම මතකද"

ටික දුරක් යද්දි මම පහුකරන ගස්කොලන් මාව අදුනන් නෑ කියල තේරුණ. කෝ පෙට්ටි කඩ. පාර අයිනෙ තිබ්බ ගෙවල්. මට වැරදිල.

"මට පාර වැරදුන වගේ අයියේ"

"දන්න දුර පාරෙන්ම යමු"

"එකපාරට දැන් පාරවල් හොයන්න බැහැ සර්"

"හ්ම්ම්ම්"

 

ආපහු හරවගත්ත වෑන් එක ටික දුරක් යද්දි පුරුදු පාර කියල මට තේරුණේ අපිව පහුකරන් ඉස්සරහට ගිය බස්එකේ බෝඩ් එක දකිද්දි.

 

අපි එකතැනමයි කියල හිතුවට හැමදේම වෙනස් වෙනව මමත් වෙනස් වෙලා ඇති.

 

පුරුදු ගහකොල නැතත් අළුත් ගහකොළ මා දිහා බලා ඉන්නව. හරිය‍ට ඉස්සරත් මාව දන්නව මම දන්නෙ නැතුවට කියන්නා වගේ. එයාල මාව දන්නව ඒත් මම එයාලව දන්නෑ . මම දැක්ක මම දන්න අය දැන්නෑ. ඒත් පුංචි වැරද්දක් තියනව එයාල මාව දැක්කට මාව අදුනගත්තට මම එයාලව දැක්කෙ නැ දැකලත් අදුනගත්තෙ නෑ.

 

04

 

වෙනදටත් කලින් වැඩමුරය භාර ගත්තු ඉර දෙවියො ලා හිරුරැස් වෙනුවට ටිකක් උණුසුම් හිරුරැස් මහ පොලවට එව්වෙ ඒ තරම්ම උණුසුම්ව මාවත් පිළිගන්න හිතාගෙන වෙන්න ඕන. කාක්කො එකා දෙන්න නැගිටල කෑම හොයාගෙන යද්දිත් ගස් කොළන් වලට වැටිච්ච පිණි බිංදු වේලිල ගිහින් කියල මට හිතුණ. ගේ ගාවට ලංවෙන්න ලංවෙන්න වෑන් එකෙන් බැහැල දුවගෙන යන්න තරම් හිතුනෙ ඊට වඩා ඉක්මනින් ගෙදරට ගන්න හිත කලබල කරන හින්ද?

ඒත් ඉස්සර තිබිච්ච කටුමැටි ගේ වෙනස් වෙලා ඒ වෙනුවට තරමක් විශාල බාගෙට හදාගෙන යන ගෙයක් මගෙ ඇස් ඉස්සරහ හිනාවෙවී හිටිය. බිත්තිටික බැඳල වහලෙ ගහල විතරයි වුනත් හිතට දැනුනෙ පුදුමාකාර සතුටක්. ඉස්සර වැස්සට අම්ම තැන තැන තියපු භාජන ටිකට දැන් ඉතිං නිවාඩු හම්බ වෙලා ඇති. අවුරුදු හතරක පහක මගෙ දහඩියවල සුවඳ මා ගාවින් ආඩම්බරකමට හමාගෙන යද්දි ඇහිපිල්ලම්යට පුංචි කඳුළු බිංදු දෙකක් මිහිදන් වුනා. පිරිමින්ට ඇඩෙන්නෑ කියන්නෙ මොනතරම් බොරු කතාවක්ද?.

අම්මේ කියල කෑ ගහන්න ඉස්සර වෙලා දොරලගට දුවගෙන ආපු අම්ම එතනම නතර වෙලා බලගෙන හිටිය. දුවගෙන ගිහින් අම්මව බදාගන්න හිතුණත් බෑග් මළු දෙක අත්දෙකට හිරවුනා.

"දෙයියනේ මේ පොඩ්ඩ ඇවිත්"

"අනේ ඇයි පුතේ මේ. ඇයි නොකියම. කිව්වනම් එක්ක යන්න එනවනෙ"

"මේ ඇහුනද පොඩි පුතා ඇවිත්"

"මයෙ පුතා සුදුවෙලා මහත්වෙලා ලස්සන වෙලා"

අම්මගෙ ඇස් අස්සෙන් දිලිසි දිලිසි පහලට වැටෙන සතුට මගේ ඇස් වල එල්ලිල හිත ඇතුලටම කිදා බැස්සා.

"කොහොමද මයෙ පුතේ" කියල ඇස්වලින් අහන ගමන් ඔළුව අතගාපු තාත්ත ඉස්සරහ වේවැල් පුටුවෙ වාඩි වුනා.

" හා හා ඔය මදැයි කොල්ලව ගෙට එක්ක ගියානම්"

"මහන්සිත් ඇතිනෙ"

මගෙ අත අතඇරල අම්ම කුස්සියට ගියේ තේ එකක් හදාගෙන එන්න. ඒ වෙලාවෙ මම අළුත් ගේ පුරාම ඇවිද්ද. හුරුපුරුදු සුවඳක් එක්ක ආපු ආගන්තුක කමක් හිත අස්සට රිංග ගත්තෙ මගෙන් අවසරයක් නැතුවමයි. ඒ ආගන්තුක කමෙන් හිත ගලව ගන්න වත්ත පුරාම ඇහැ දියෙව්වට හුරුපුරුදු ගස් කොලන් ටික තිබුණෙ නෑ. ගෙයි වහලෙ එල්ලිල ඒව මා දිහා බලාගෙන හිටිය. උළුවහුවල හැංගිල මා එක්ක හිනාවුනා. ඒවත් ගේ ඇතුලටම ඇවිත්.

" මීට වඩා ඉවරකරන්න තිබුණ පුතේ ණය බේරන්න තිබුණනෙ." අම්ම කිව්වෙ මගෙ ඇස් දිගේ වහලය දිහා බලාන.

"හොදයි නේද පුතේ"

"ඔය කොල්ලට මහන්සි ඇති. තාත්තා ආයෙමත් ඉස්තෝප්පුවෙ ඉදන් කෑ ගැහුව.

"ඇගපත හෝදගන්න"

අම්ම එක දිගටම කියවගෙන කියවගෙන යනව සතුට වැඩි කමට වෙන්න ඇති. ඒත් හිතට ඇතුළු වෙච්ච නුපුරුදු බව හිතට මහා වදයක් අරගෙන එනව.

"මමනාගෙන එන්නම් අම්මෙ"

"ඉන්න ඔයා දන්නෑනෙ ලිද"

"ඇයි පිං ලිද"

"නෑ නෑ ඒකට යන්න ඕන නෑ ගෙදර ලිදෙන් නාගන්න"

 

මගෙ මූණ පැහැදිලිව පේන තරම් නිසසංසලව තිබුණ ලිදට බාල්දිය වැටෙද්දි රැලි රැලි විහිදෙන කොට බැහැල නාන්න තරම් හිතුණ.

 

" බඩගිනියි අම්මේ"

"පාන් ගේන්නද"

"වෙන මොකුත් නැද්ද?"

"ංආ මම ඉදි ආප්ප ගෙනාවා"

"එහෙදිත් ඕවමනෙ කන්න ඇත්තෙ එපා වෙලා ඇති"

තාත්ත වෙලාවකට හරිම පුදුමයි. මගෙ දිහා කෙලින්ම බැළුවෙ නැතුවට බලන් ඉන්නව ඇති.

"ඇයි පුතේ හදිස්සියෙම ආවෙ"

"හදිස්සියක් නැහැ අම්මෙ'

"නොකියම ආවෙ"

"ඇයි අම්ම සතුටු නැද්ද මම ආවට"

"සතුටුයි මගෙ පුතේ ඒත් මේ වැඩ ඉවරයක් වෙලාම ආවනම්"

"මම ආයෙත් යනව අම්මෙ"

"හරි හරි ඒව පස්සෙ කතාකරන්න බැරියැයි"

"ටිකක් නිදාගන්න ඕන"

"ඉන්න මම ඇද හදල දෙන්නම්"

 මම හිතුව අම්ම ඔළුව අතගගා මා ලග ඉදියි කියල. ඒත් මට නිදාගන්න කියල අම්ම කුස්සියට ගියා. මම කන්න කැමති කෑම වට්ටෝරුවක් අම්ම තාත්ත එක්ක කියනව මට යන්තමට වගේ ඇහුණ.  අම්ම කියන කථාවත් ඇත්ත මේ වැඩ ඉවර නෑනෙ තාම.

නලළට දැනුණ උණුසුම අම්මගෙ අතේ කියල තේරුම් ගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ. මගේ ලග වාඩි වෙලා අම්ම මා දිහා බලා ඉන්නව. අම්මගෙ චීත්ත රෙද්දෙන් එන රබර් කිරි සුවඳ තාමත් එහෙම්මම එනව. ඔළුව උස්සල අම්මගෙ ඔඩොක්කුවෙන් තියන්න ලොකු ආශාවක් ආවා.

ඒත්

"පොඩි පුතා නැගිට්ටද" දොර රෙද්ද ඈත් කරල අම්ම බලාගෙන ඉන්නව.

"මම කූද්දන්න ආවෙ හොදටම දවල් වෙලා. බත් කන්න එන්න"

 

බිත්තිය මැද්දෙ එල්ලිල ඉන්න පුංචි එකාව දකිද්දි ආයෙමත් ඒ කාලෙට යන්න හිතෙනව  ඒත් ඊට එහායින් බිත්තිට එල්ලුණ කණ්නාඩියෙන් මම දැන් ලොකු මිණිහෙක් කියල මතක් කරනව.

 

"එන්න ඔයා කැමති හැමදේම හැදුව ඔන්න"

 

.....................................................................

ඒ වරෙන් යන්න රවුමක්

"මේ වැස්සෙ  කොහෙද"

"මොකද මේ ආව දවසෙ ඉදන් ගේ අස්සෙමයි"

"කම්මැලියි ඇවිදින්න"

"යමු යමු බොන්න නෙවෙයි"

 

පුංච් කාලෙ ඉදල එකට හිටපු යාළුව නිසා බැහැ කියන්නත් බැහැනෙ ඒ නිසා ලෑස්ති වුනා.

"කොහෙද යන්නෙ"

"යමුකො"

යමුකො කියල මාව එක්ක ආවාට මොකද ආපු වෙලේ ඉදල මේක ජංගමේ එල්ලිල. ලොකු මලක් කඩනව ඒ අතර මම පස්සෙන් යනව. කහ ඉර ගාව වුනත් පාර පනින්න ඕන පරිස්සමට මොකද මේක අපිට ලියල දීල යෑ. කොයිකටත් මම අතින් අල්ලල නවත්තත්ත. කයිය මිසක් සිහියක් තියෙන එකක් යැ.

"හරි හරි බබා"

"නෑ නෑ මම මග ඉනනෙ"

"අදට විතරක් ප්ලීස් පැටියෝ"

හරියටම පාර මැද පොලිස්සියෙන් නවත්ත ගත්ත. මේකගෙ පරිප්පු මමත් කාපංකො ඉතිං.

"මොකද පාර පනිද්දිත් ඕක කනේ ගහගෙන"

"නෑ සර් මම"

"තමුසෙල ඕක කනේ ගහගෙන මෙතන හැප්පුනාම කී දෙනෙක් අමාරුවෙද බලවන.......... "

රාළහාමි දිගට හරහට බනිද්දි මම හෙමිහිට පැත්තකට ගියා. එක අතකට මේක කනේ තියාගෙන යද්දි රාළහාමි බලා හිටියනම් පොටෝ එකක් ගහල නෙට් එකටත් දාල. ඒත් ඉතිංමේ ඒකෙ අනිත් පැත්තනෙ. ඒ නිසා පොටෝ එකක් දැම්මත් දකින්නෑ.

 

මේ යකාට පිස්සු බං. අල්ලන්න මෙච්චර ඒව තියෙද්දි මේව අල්ලනව ලංකාවෙ පොලිසිය මෙලෝ රහක් නෑ

 

රහ බලන්න තිබුණ එවෙලෙ මම අතින් ඇල්ලුවෙ නැත්නම්  මම මටම කියාගත්ත.

 05

මේතරම් සුවඳක් කොච්චර කාලෙකට පස්සෙද? අම්මගෙ කෑමවල සුවඳ සුළඟ දිගේ පාවෙලා බිත්තිවල හැප්පිලා කාමරේ ඇතුලටම ඇවිල්ල. මට ඉවසගන්න බැරි බඩගින්නක් දැනුණ. ඒක බඩගින්නකට වඩා පෙරේතකමක්. මූණ බැලිල්ල පැත්තකින් තියල මම කුස්සිය දිහාට නිකම්ම ඇදිල ගියා.

"කෑම මේසෙට තිබ්බ පුතේ"

මම සුවඳ දිගේ ඔළුව හරවල බැළුව මේසයක් උඩ කෑම ලෑස්තිකරල. මම පිට මිනිහෙක් යෑ. කියන ගමන් කුස්සිය පුරාම ඇස්දෙක ඇවිද්ද. ඉස්සර අම්ම මට බත් කවපු පුංචි මැටි කෝප්පෙ පේන්නවත් නෑ වෙනුවට ලස්සන ලස්සන පිගන් කෝප්ප කුස්සියට ඇවිල්ල. අළුත් කුස්සියට පරණ බඩු එන්න බෑ කිව්වවත්ද?

"මොනවද බලන්නෙ එන්න මම බත්බෙදුව"

ආගන්තුකයෙක් වගේ කෑම මේසෙට වාඩි වෙද්දි හිතට දැනුනෙ අමුත්තක්. ඒක වචනවලට පෙරලන්න මට තේරෙන්නෑ. ඉස්සර කොල්ලො එක්ක කට්ටි පැනල රස්තියාදු ගහල ගෙදරට එද්දි අම්ම හිටියෙ මොකක් හරි වැඩක. දර කොටයකට තඩි බබා හිටියනම් එහෙම හොද බණ කතා ටිකකුත් අහගන්න තිබ්බ.

" පුංචි මහත්තයට ගෙදර මතක්වෙලා තියෙන්නෙ."

"බඩගිනියි"

"උඹට නරකයි මේ දර ටික පලල දුන්නනම් රස්තියාදු ගහනව"

"මොනවද ඉව්වෙ"

මම ඇහුවෙ කනකටවත් ගන්නෙ නැතිව

"බෙදාගෙන කාපං"

අම්ම කිව්වෙ ආපහු මගෙ දිහා හැරිලවත් බලන් නැතිව වෙද්දිත් මම බත් බෙදනව. එතකොට නම් මට මේ රහ දැනුණෙ නෑ. රහ කොච්චරද කියල මුලින්ම දැනුනෙ රට ගියාට පස්සෙ.

"ඇයි පුතේ සැරද"

"මම මිරිස් අඩුකරලයි හැදුවෙ"

මම යන්තම් හිනාවුනා අවුමිරිස් කරල් හත අටක් එක්ක බත් කාපු මට සැරනම් ගානක්වත් වුනේ නැතත් අම්මගෙ මේ කෑම දිව් ලෝක රහයි අම්මෙ.

"එහෙ කෑම තරම්නම් හොදනැතිව ඇති"

"මේතරම් රහක් කොහෙවත් නෑ අම්මෙ"

..........................................................

හැන්දට පිටින් එල්ලිල තිබුණ මී පැණි බිංදුව චරස් ගාලා සිමෙන්ති පොලවට වැටුණ. ටික වෙලාවයි ගියේ මීපැණි බිංදුව වට කරගෙන නයිකූඹි රංචුවක් පොරකනව. මහන්සිවෙලා පැණි එකතු කරපු මී මැස්සෙක් මල්පෙත්තක එල්ලිල අදත් රාජකාරිය කරගෙන යනව.

මම නාගෙන කාමරේට ආවා විතරයි අම්ම තුවාය අරගෙන වැලගාවට ගියා.

"පොඩි පුතේ පොඩි පුතේ'

"ඇයි අම්මෙ"

"නැන්දල ඇවිත් පුතාව බලන්න. නැන්දලට මොනවද ගොනාවෙ"

"මම .....මම"

"හරි හරි මම ඔය මොනවහරි ලෑස්තිකරන්නම් පුතා කතාකරන්න"

බෙදල බෙදල තව බෙදන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම් ඒත් මම මෙච්චර කාලෙකට දැනගෙන හිටියෙ නෑ මේ නෑදෑයො මට මෙච්චර ආදරෙයි කියල. අනෙක මට මෙච්චර නෑදෑයො ඉන්නව කියල. මේ විදියට බෙදන්න මට තව නැවකට බඩු අරගෙන එන්න වෙනව. දුන්නැත්තන් ඒත් හිත හොද නෑනෙ. ඒත් කමක්නෑ නැති නෑ කම් කියාගෙන නැන්දල මාමලගෙ අය්යල අක්කල නංගිල මල්ලිව රට ගන්න කියද්දි අපෙ අම්මත් උල්පන්දම් දෙනව.

" අනේ ඔව් පුතේ පුළුවන්නම්"

"මම ඔක්කොමල හතරට පහට නවල බෑග්එකේ දාගෙන යන්නද කියන්නෙ"

මම සද්ද නැතිව හිටිය මගෙ යකා ඇවිස්සිල කියල අම්මට තේරෙන්න ඇති. එක්කම පරණ පුරුදු ඔළුව කැක්කුම ආයෙමත්. ඔහ් ඉවසන්න බැහැ.

"මගෙ ඔළුව කැක්කුමයි අම්මෙ"

"ඉන්න මම තෙල් ටිකක් දාන්න"

එළියට බැහැල හුළං ටිකක් වදින්න කියල හිතුනත් දකින දකින අය ප්රශ්ණවලට උත්තර දෙන්න ගියාම මගෙ ඔළුව කැක්කුම තවත් වැඩිවෙය්.

...............................................................

යන්න දවස් එන්න එන්නම ලංවුනා. මී මැස්සො වගේ කඩිසර කොළඹ කවුරුවත් මාව දැක්කෙ නෑ දැක්කත් අදුන ගත්තෙ නෑ. රවන ගොරවන අහස ගෙන්දගම් පොලව රත්කරන ගමන් මගෙ තොල කටත් පුච්චල දැම්ම.

"වතුර බෝතලයක්"

"කූල්ද"

"ඔව්"

"60ක් දෙන්න"

යන්තම් හිරිපොද වැස්සටත් යටවෙන කොළඹ වතුරට ගිය කල. ඉස්සර පැන්තාලි හැමතැනම තියල මගියන්ගෙ වතුර දුන්න අපේ ඈයෝ දැන් පාර්සල් කරල සල්ලිවලට දෙනව. ඒකත් නරක නෑ.

තව ටික කාලයක් යනකොට හුස්ම ගන්නත් ගෙවන්නවෙයි කියල මට හිතුණ. කොහොමත් ආයෙමත් පියාඹන්න කලින් පුළුවන් පුළුවන් හැම තැනකම චිත් හිත ඇතුලෙ ඇදගත්ත. ඊලඟ පාර එද්දි මේ සිතුවම් වෙනස්වෙයි මටවත් හිතාගන්න බැරිතරමට.

දන්න හදුනන මිනිස්සු අතර ආගන්තුක වෙද්දි නොදන්නා අය අතර ආගන්තුක විම මහ ලොකු දෙයක් නෙවෙයි කියල මම මේ වෙනකොට තේරුම් අරගෙන හිටිය.

ලංකාවට යන අය යනවට වඩා ඉක්මණට ආයෙමත් එද්දි මම දවස්වල හිතුවෙ මුන්ට පිස්සු කියල. ඒත් අද මමත් වගේමයි එදා මට නොතේරුන දේ අද මට තේරෙනව.

කුරුල්ලෙකුටත් වැඩිය වේගෙන් පියඹලා ඇවිත් ලංකාවෙ හුළගත් එක්ක ඔට්ටු වෙච්චමම අද තටුදෙක හංගගෙන ආයෙමත් ඉගිල්ලෙන්න හදනව. නන්නාදුනන අය හොයාගෙන රටඉදි ගස් හොයාගෙන

කණ්නාඩිය මා දිහා බලාගෙන ඉන්නව. වේදනාව හංගගත්තු මනුස්සයෙක් හිනාවෙන්න උත්සහ කරනව. අහස්යන්තරේට ගොඩවෙලා ඇස්පියාගත්තට පස්සෙ වලාකුළු අස්සෙන් මම ඉගිල්ලෙනව ආයෙමත් ඔව් ආයෙමත්.

සිතුවමක රැදි පාට අහුරක්

අරන් අහසට විසිකලා

බැලූකල නිල් අහස්කුසදෙස

සිතුවමක් නැහැ ගෙත්තම්වෙලා

පාට බොදවුන රටාවක් ලෙස

පෙනුනි අහසම නෙතුපුරා

සිතට හැකි වුනි රුව මවන්නට

නීල ආකාසය පුරා

දෙනෙත් හැරි සද මැකීගියවිට

දැනුනි සිහිනයකැයිකියා

මොහොතකටවත් හැකිවෙයිද නුඹහට

පායන්න දේදුන්නක් වෙලා

 

 

No comments:

Post a Comment