Saturday, April 23, 2016

ගල්ලෑල්ල



අද නිවාඩු දවසක් වෙන්න ඇති ඉස්කෝලෙ යන කවුරුත් දකින්න නැත්තෙ. නැත්නම් ම වෙලාවට සාප්පුව පිරෙන්න සෙනග. පොත් සාප්පුව ඉස්සරහ කුණු ගොඩේ පරණ ටින් කබල් යකඩ කෑලි වගේ විකුණන්න පුළුවන් එක එක දේවල් හොය හොයා හිටිය මටයි මල්ලිටයි කිසිම දෙයක් හම්බුනේ නැහැ. බලාපොරොත්තුසුන්වුන මූණින් ඔලුව දෙපැත්තට හොලවල  අපි දෙන්න එතනින් පාරට ආවා.
" අක්කෙ අද නිවාඩුද"
"වෙන්න ඇති"
“අක්කේ මටත් ආසයි ඉස්කොලේ යන්න මාවත් එක්ක පලයන්කෝ”
“අන්න අන්න”
“මොකක්ද”
“තව එකක් එනවා හිටපන් පොඩ්ඩක් බලන්න”
ඒ එක්කම ආපු තවත් කාර් එකක් පාර අයිනෙන් නවත්තල එකේ ආපු මහත්තය  කුණු  මල්ලත්  අරගෙන බැස්ස  නිසා මම මල්ලිව නවත්ත ගත්ත. කොහෙද මේක හීනෙන් ඇවිදිනවා වගේ කොයිවෙලාවෙත් . කාරෙක ඇතුලේ නෝනා කෙනෙකුයි බේබිල දෙන්නෙකුයි ඉන්නවා. නෝනා කියන කතාව  අපි දෙන්නත්  අහගෙන හිටිය.
"ඉස්සරනම් ඔය වගේ පොත් තිබුන්නෑ මගෙ පුතේ"
"එතකොට අත්තම්ම ලිව්වෙ
"ගල්ලෑල්ලෙ"
"
ඒ මොකක්ද ඒ"
"
කළුපාට ලෑල්ලක් වගේ එකක්"

එච්චරයි අහගන්න හම්බුනෙ. කාර් එක එතනින් ඉස්සරහට යන්න ගියා. තවත් ඈතට යනකම්ම ඒ දිහා බලාගෙන හිටපු මල්ලි මොකක්ද ලොකු කල්පණාවක. හැමදාම ඉස්කෝලෙ යන ළමයි දැක්කම හූල්ලන්නෙත් ඔහොම්ම තමයි.

"
යමු යමු ඒකෙවත් ටින් එකක් නැද්ද බලන්න"

ම්හ් ගල්පිලිමයක් වගේ ඉන්නව හෙලවෙන්නෙවත් නැතිව. තවත් බලා ඉදල වැඩක් නැහැ ඒකව උරහිසින් අල්ලල පැත්තකට තල්ලුකරපු මම ගිහින් උරදෙක ඉරල බැලුව. වැඩක් නෑ ප්ලාස්ටික් කෝප්ප දෙකක් විතරයි හම්බවුනේ.කුත්ම නැතිවට වඩා ඒකත් ලකු දෙයක් නෙ.

"මේක මොනව කරන්නද බං. අද දවසට තව මොන මොනව හරි හොයාගන්න ඕන නැත්තම් අර ගෑණිගෙන් බේරෙන්න හම්බෙන් නෑ"

මම තනියම කියව කියව යනව ඇහුණ නෑහුන ගානට මේක වෙන කල්පණාවක. තවත් කථා කරල වැඩක්නෑ ඇදගෙන යනව මිසක්. මේකගෙ ඔළුවට භූතයෙක් වැහෙනවනෙ හිටපු ගමන්.
ඉටිරෙදි වහලේටයි කාර්ඩ් බෝඩ් වලිනුයි බැනර් කටවුට් වලින් හැදුන  බිත්ති  හතරටයි ගෙවන්න ගාන හොයා ගන්නම වෙනවා නැත්නම් මටත් වෙන්නේ රෑ තිස්සේ ලයිට් කණුවක් යටට වෙලා ඉන්න දවාලට කියල වෙනසක් තියනවද අර ගෑනිට. තව කොච්චර දවසක් මෙහෙම බේරිලා ඉන්නනද. එකිත් දැන් රස්සාව පටන් ගන්න කළේ හරි කියල ඊයෙත් කිව්වා.
මම කුණු ගොඩ පෙරල පෙරල ප්ලාස්ටික් කෑලියි ටින් කබලුයි හොයද්දි මේක වෙන මොනවද හොයනව. මට තරහෙ ඉන්න බෑ. කෑ ගැහුවත් වැඩක් නෑ බීරෙක් වග ඉදියි.

"අක්කේ"

මහා හයියෙන් කෑගහපු හැටියට මම ගැස්සිල වැටෙන්නත් ගියා. නහය වහගෙන පිට්ටනිය පැත්තට දුවන්න යන නෝනා කෙනෙක් යාන්තමට හැරිලා බලල තව ටිකක් මුණ අකුලගත්ත

"ඇයි මොකද  බන් බෙරිහන් දෙන්නෙ" මම ඒතරහින්ම ඒදිහා බැලුවට ඒකගෙ මූණෙ හිනාවක් දැකපු පලවෙනි වතාව තමයි ඒක.

" අක්කේ අක්කේ මට ලෑල්ලක් හම්බවුනා."

ඒකත් උස්සගෙන ඒක නටපු හැටි දැක්කම මටත් හිනාවක් ගියා. ඒත් ඒ එක්කම ඒකගෙ මූණ වෙනස්වුනා.
“මොකද”
“වැඩක් නෑ “
“ඇයි”
"ඒත් මේක කළුපාට නෑ"

"
මොකටද"

"
ගල්ලෑල්ල"

මට කාරණය වැටහුනේ එතකොට මම අත්හැරපු ඉස්කෝලෙ යන හීනය  තාමත් මේකගෙ හිතින් අයින්වෙලා නෑ. පවු අහිංසකය.

"අපි කළුපාට කරමු"

"
කොහොමද"

"
තීන්ත" ඒත් තීන්ත අපිට කොයින්ද?

ඒ එක්කම කුඩුවෙච්ච බැට්රියක් අතට අරන් "අක්කෙ මේ මේක ගාමු"

මම ඔලුව හොල්ලල ආයෙමත් ටින් කබල් එකතු කරන්න පටන් ගත්තා. රටක් වටින තෑග්ගක් ලැබුණ වගේ ලෑල්ල අත් දෙකෙන්ම අල්ලගෙන පේමන්ට් එක දිගේ එන ගමන් එකම එක වචනයක් කථා කළේ නෑ. තනියම හිනාව.

"
මොකද  උඹල දෙන්න මෙච්චර පරක්කු. කොහෙ මකබෑ වුනාද මෙච්චර වෙලා ..... කියල පටන් ගත්ත කියවිල්ල දැන් පුරුද්දටම ගිහිල්ල නිසා ඇහුනත් නෑහුනා වගේ ඉන්න දැන් මට පුළුවන් නිසා හොදයි

"මේකි තමයි කොල්ලවත් නරක් කරන්නෙ" ඒ තමයි අවසානය.

පේමන්ට් එකේම ඉදගෙන පේමන්ට් එකේම නිදාගත්තු අපිට ගෙදරත් පේමන්ට් එකම තමයි. ඒ ත් මෙතැන ඉන්න එකත් ලේසි නැහැ.

"
අක්කෙ මේකෙ කොහොමද ලියන්නෙ"

"
මොකක්ද බං ඔය"

"
ගල්ලෑල්ලක්"

"
මොකක්"
"
යි හුන් නැද්ද ඒක ගල්ලෑල්ලක්" මම කිව්වෙ තරහින්

"
මේකෙ කොහොමද ලියන්නෙ මාමෙ"

මහ හඩින් හිනාඋනාට   හුණුකූරක් ගනින් කියල රු. 10ක් අතට දිල කනේ ගහගෙන හිටපු බීඩියකුත් පත්තු කරගෙන යන්න ගියේ මටත් ඔලොක්කුවට හිනාවෙන ගමන්

එක පිම්මට රෝද නැති  බයිසිකලයට නැගපු මල්ලි  කඩයක්  කඩයක් ගානේ ගිහින් සුදුපාට කූරක් අරගෙන ආවෙ හතිපෙරා ගෙන.
"අක්කෙ මේ"

ගල්ලෑල්ල මැද්දෙන් තියාගෙන දෙන්නම  හරි බරි ගැහිල වාඩි වුනා
හුණුකූර අතට අරං ඒ දිහා ටික වෙලාවක් බලා ඉදලා  " අක්කෙ" කියපු මල්ලි . හුණු කූරත් ගල්ලෑල්ල උඩම තියල රෝද නැති බයිසිකලයට නැගල පේමන්ට් එක දිගේ   ඈතට යනකම් මම බලාගෙන හිටිය.



No comments:

Post a Comment