Sunday, December 6, 2015

ගුරුපාරෙන් තාරපාරට


හ හුගක් අහස කළු කරල යාන්තමට වැහි පොදයක් කඩාගෙන වැටුනෙ රත්වෙලා තිබුණ තාර පාරෙන් දුම් වලාවකුත් අහසට නග්ගන ගමන්. ඊයෙ අතට අරගත්තු මහපොලෙන් රුපියල් විසි පහක් වියදම් කරල  පාන් කාලක් විතරක් අරගත්තෙ මාසෙ වියදම ගනන් බැලුවොත් ඒක මදි බව හොදටම දන්න නිසා.

තියන ඇදුම් දෙක තුන බෑග් එකට දාගෙන තාරපාර දිගේ ඇවිදගෙන එද්දි හතර පස්දෙනෙක් ඇගේ වැදුනත් ඒක ඒ අයටවත් මටවත් ගානක් නොවුනෙ ඒ තරමටම ඒක දැන් සාමානයය සිද්ධියක් වෙච්ච නිසා. ටික දුරක් එද්දි දැනුන කුණු ගද ඉවසන්න බැරි තරම් වුනත් කාක්කො රෑනක් එකතුවෙලා මීකුණ එහාටයි මෙහාටයි අදිනව දැක්කම උදේ කෑම එක උගුරට එන එක නවත්තගන්න  අහක බලාගෙන දුවල දුවල ගිහින් සිටි ෆාමසි එකට ගොඩවුනේ තාත්තගෙ බෙහෙත් ටික අරගන්න.

ෆාමසියෙන් සුදුපාට කවරෙක ඔතල දුන්න බෙහෙත් ටික ඇඳුම් දෙකතුන අස්සෙ හංගගත්තෙ වෙන කවුරුවත් ගනී කියල බයට නෙමෙයි පරිස්සමට. මිනිස්සුන්ට එහා මෙහා යන්න කියල හදල තියන පේමන්ට් එක දෙපැත්තෙ ඉදන් පාට පාට අරුමෝසම් බඩු මගෙ දිහා බලල හිනාවෙනව. මමත් ඒව එක්ක යන්තම් හිනාවෙලා රටකජු ගොට්ටක් ගත්තෙ නංගිට ගෙනිහින් දෙන්න.

"කොහාටද"
"තිස්සමහාරාමයට"
"ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම්"



දනිස්ස ගාවට කොටවෙච්ච ගවුමෙ වාටිය ලෙහ ලෙහා ඉද්දි බට්ටො කොටුවෙ අන්තිම කොටුවෙ හිටපු නංගි මගෙ දිහාට හැරුන.

"අක්කෙ මගෙ ගවුමත්"
"හ්ම් ගේනව ඉක්මනට"
"අක්කෙ මෙතනත් චුට්ටක්"
"අණ්ඩ දාන්න දැන් ඔයත් ඉගෙන ගන්න පොඩ්ඩී"
"අනේ අක්කෙ"

මට බටර් පාරක් ගාන ගමන් එයා හුරතල් වෙන්න පටන් ගත්ත. හෝදල හෝදලම දියවෙච්ච ගවුමෙ කොච්චර පරිස්සමට නූල් දිග අරින්න ඕනද කියල කොහොමත් එයාට තේරෙන්නෑ

"ඉදිකටුව ඇනෙයි පොඩ්ඩී"

වෙලාවකට මට හිතෙනව මේ ඉගෙන ගත්ත ඇති කියල මල්ලිත් එක්ක එකතුවෙලා නංගිට විතරක් උගන්න ගන්න ඕන කියල. ඒත් මල්ලි ඒකට මට කවදාවත් ඉඩක් දෙන එකක් නැහැ. O/L වලට A9 අරගන්නෙ නැතිව මම ෆේල් වුනානම්. එහෙම හිතුවට කැම්පස් යන්න උපාධියක් අරගන්න හිතයට දගලන හීනයක් මගෙ ලග නැතුවම නෙමෙයි. ඒ හීනය මකල දාන්න මම කොච්චර උත්සහ කලාද?

"නෑ අක්කෙ මට පුළුවන්"
"ඔයා ඉගෙන ගන්න"

වචන වලින් කිව්වෙ නැතිවට මල්ලි හිතන්නෙත් මම වගේම හොදට ඉගෙන ගෙන මුළු පවුලම ගොඩදායි කියල. පුංචි වුනාට ඒ ඇස්වල ලියවෙච්ච බලාපොරොත්තුව මට නොතේරුණාම නෙවෙයි.

වෙනද වගේම ගිණියම්වෙච්ච ඇස්වලින් ඉර අපි දිහා බැලුව . කොහොඹ ගස්වල දැවටිච්ච හුළං කුරුල්ලට දුක හිතිල යාන්තමින් අ‍පෙ ඇගේ දැවටිල සෙල්ලම් කෙරුවා. ඉරිතලපු පොලවට ඉහිරිච්ච වතුර කෝප්පෙ නිසා හුළං වලට එකතු වුන දූවිලි සුවඳ මගෙ හිතට ගෙනාවෙ දුකක්ද සතුටක්ද කියල මට තේරුන්නෑ.

"අක්කෙ ගවුමෙ දැලි ගෑවිල"

මල්ලි වතුර කෝප්පයක් අරන් ආවෙ හෝදන්න කියල ඒත් එයාගෙ අත් දිහා බලල "ංආ හෝදගන්න" කිව්වම මගෙ ඇස් වලින් එලියට ආපු කදුළු බිංදු දෙකක් කම්මුල් දිගේ දිව්වට ඒ කඳුළුවල වේදනාවට වඩා උඹගැන දැනුන ආදරේ මගෙ හිතට බර වැඩියි මල්ලියේ.

"මල්ලියේ මම පාස්"
"කැම්පස් යන්න පුළුවන්ද"
"හ්ම්"
"ඇයි අක්කෙ"
"මම යන්නෑ රස්සාවක් හොයාගන්නව"
"නැහැ අක්කෙ මට පුළුවන්"

ඉස්සෙල්ල වගේම තාත්ත කෙනෙක් වගේ උඹේ කටින් එහෙම කියද්දි තාත්ත බූරු ඇදේ ඉදන් කඳුළු වක්කරනව මම බලාහිටිය.

"මට සමාවෙයන් දුවේ"

තාත්තාගෙ ඇස්වල ලියල තිබුනෙ එහෙමයි. තවමත් රාමුවක් නැතිව බිත්තියට හේත්තු කරල තියන අම්මාගෙ පොටෝ එක දිහා බලාගෙන නංගි මොන මොනවද මුමුණනව.

මහ පොලව දිහාට ඉර එබෙන්නත් කලින් මල්ලියි මමයි ගෙදරින් පිටත් වුනේ තාත්තට වැදල ආශිර්වාද ගත්තටත් පස්සෙයි. නිරුවත් ගුරුපාර දිගේ ඇවිදන් එද්දි රැහැයියොයි පලගැටියොයයි එක දිගටම කෑගහන සද්දෙත් කොහොඹ ගස්වල සිලිසිලි සද්දෙත් එක්ක එකතු වෙච්ච පංසලේ පිරිත් හඩ පටියෙ සද්දෙ විතරමයි ඇහුනෙ. අපි දෙන්න විතරක්ම ඇවිදගෙන ආපු ගුරුපාරෙ ඉදල හිටල වාහනයක් ගියේ දූවිලි කන්දක් අවුස්සගෙන

"කොහාටද"
"කොළඹට"
"ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම්"

"‍ෙආ නංගි ඉතුරු සල්ලි"
තිස්සමහාරාම අහසෙ ඉදන් තාමත් ඒ විදියටම ඉර ගිණියම් ඇස්වලින් බලා ඉන්නව. ඉරිතැළුන වගාබිම් පාළුවට ගිය ගමන්.

බස් එකෙන් බහිද්දිම කට පුරා හිනාවේගන මල්ලි දුවගෙන ආවා.

" කෝ දෙන්න"
"මට පුළුවන්"
"මෙන්න මෙහෙ දෙන්න"
"අක්කගෙ අතේ පෑන් ඉරි "

"එත් උඹගෙ අතේ කරගැට නේද මල්ලියේ" කියල හිත කෑගහද්දි මල්ලි තාරපාරදිගේ ඉස්සර වුනා

No comments:

Post a Comment