Friday, November 20, 2015

කොටහළුව෴



ඉස්කෝලෙටම ගිහින් එක්කගෙන ආපු සොපියගෙ බාල කෙල්ල අචලා ඇබරි ඇබරි ඉද්දි ගෙයි මුල්ලට කරල දොර වහනකොට සොපියගෙ මූණෙ තිබුණෙ ඉහේ මලක් පිපුණ වගේ හිනාවක්. අපරාදෙ කියන්න බෑ ඒකිගෙ බාල කෙල්ල හරිම සීදේවි. ලොකු එකී වගේ නෙවෙයි ඒකි මුල්ලට කරල වතුර නෑව්වෙ අවුරුදු නැකතට නෙව මහ මූසලයි.

 ගිනි අව්වෙ හේන් කොටල කොටල හවස ගෙදරට ආපු ඒකිගෙ අප්පට නම් මේක මහා හිසරදයක් කියලයි හිතුනෙ.

"වරෙන් යන්න හදහන බලාන එන්න"

"මම උදැහැනැක්කෙම ගියා"

"හ්ම් මෙකෙද කිව්වෙ"

අළුත් බුලත් විටක් කන්න හරිබරි ගැහිල වාඩි වෙලා උන්දැ ඇහුවෙ පුවක් කෑල්ල  කඩන ගමන් සොපිය දිහා බලලකිව්වත් නොකිව්වත් නරකක් නෑ කියල උන්දැ තේරුම් ගත්තෙ සොපියගෙ කන ගාවටම ඇදුන හිනාව දැකල.  එත් කන ඒ පැත්තට හරවල බුලත් කොලෙත් කටට ඔබා ගත්තෙ කියපුව අහන්න.

" වෙච්ච නැකත බොහෝම හොදයි කිව්වෙ."

"අපල එහෙම"

"කාටවත් අපල නැහැලු. ඒත් ඉතිං තව අවුරුදු හතර පහකට පස්සෙ නම් ඉතිං ටිකක් පරිස්සම් කරන්න ඕන කිව්ව. හදිස්සි කසාදයක්ලු"

"හ්ම්"

මේකෙ ඉතිං හදිස්සි විවාහ නොතිබුනෙ කාටද? බොලාගෙ නංගිට විතරනෙ. හිතින් කියල කට කොනකින් හිනාවුන උන්දැ

"ඔය පැහීගෙන එන කෙසෙල් කැනට පෝර උරයක් දාපිය කොල්ලො හෙට අනිද්දට ගන්න එපැයි නැත්නම් ඉතිං වදුරන්ගෙන් පරිස්සම් කරනව බොරු. ඒ කලත් ඉතිං රකින්න එපැයි හොර තක්කඩිත් බෝවෙලානෙ දැන්."

"හාල් පහේ ටික නංගි දෙන්නම් කිව්ව මේ පාරත් අස්වැන්න සරු නැහැලු නෙ"

ඒකිගෙ කුඹරු යායෙ අස්වැන්න සරු නෑ කියල ආයෙ අමුතුවෙන් මට කියන්න ඕනයැ ඒක වපුරන්නෙත් මම කොට කෙල්ලගෙ තනියට අම්මව නවත්තල මන්න පිහිය කොට්ටෙ යටින් තියල තවත් කොයිකටත් කියල මලකඩ කාපු ටංක පෙට්ටියෙ යතුරත් අය කට්ටකින් කෙල්ලගෙ ඇදුමෙ ගැහුවෙ තනි කොරන්ට එපා කියල වෙද රාල මගින් මගටම කිව්ව නිසාමත් නෙමෙයි කළු කුමාරයට බයට. 

රෙදි නැන්දත් ඇවිත් පිරුවට අන්දල ආයෙ නාවන්න කලින් දවසට එන්නම් කියල යන්න ගියෙ එදාට ඕන කරන අඩුම කුඩුම ලිස්ටෙකක්ම සොපියගෙ අතේ තියල ගණුදෙනු කතා කරගත්තටත් පස්සෙයි ඕන් 

"සීදේවි කෙල්ල"

උදව්වට පදව්වට එන හැම කෙනාම මුල්ලට ඔළුව දාල කිව්වෙ ඔය ටික.

"දැන් ඉතිං උඹට තව බරක් සොපියෝ"

"අනේ ඒකි හරි ලැජ්ජකාරි බං අක්කෙ"

"අනේ මේ .... ලොකු එකීටත් ඕකමනෙ උඹ කිව්වෙ. අන්තිමට තැඹිලි පොල් වෙලා පැලපිහිත් ආවට පස්සෙයි උඹට එලොව පොල් පෙනුනෙ"සොපිය බිම බලාගත්තෙ මේ රහස දන්න එකම එක්කෙන තමන් නොවන බව මතක් වුන නිසා.

අනෙක දැන් ඉස්සරවගේ ගැට අන්නාසි හොයන්න තැන් තියන එකක් යැයි ඒවත් දැන් කට්ටිකරල නෙව"

.......................................................................

බුලත් කෙල කටේ පුරෝගෙන කියවන මේ කතා මුල්ලෙ හිටපු අචලත් අහගෙන හිටියට හරියට තේරුනේ නෑ. හොරෙන් හොරෙන් එබිල ඒ පැත්ත බලන්න පුළුවන් වුනේ අත්තම්ම ගොරව ගොරව නිදාගෙන මුල්ලට තනි රැකපුනිසා. දවස් දෙක තුනක් යනකොට අචලට මුල්ල එපා වෙලා තිබුනෙ ඒ මදිවට මහා අප්පිරියාවකුත් දැනුන. 

ඒ සේරමත් එක්ක අත්තම්මගෙ කියවිල්ල, මීට වඩා හොදයි එලියට වෙලා තාච්චි පනින්න තිබ්බනම් කියලත් හිතුන.

"හෙට උදේම නැගිටින්න ඕන"

 තැම්බුන් හොද්දයි බතුයි දෙනගමන් අම්ම කව්ව.  යනකම් ඉදල අත්තම්මගෙ පංගුවෙන් මාළු පිනි ටිකක් අරන් බත් අස්සෙ හංග ගත්තු අචල කන්න පටන් ගත්තා.

" බොලාගෙ අක්කනම් නාහෙන් අඩ අඩා තමයි ඔය විදියට බත් කෑවේ"

"ඇයි අත්තම්මෙ"

"අප්පිරියයි කන්න බෑ කියල. එත් කන්න ඕන නෙ. උඹ හොද කෙල්ල"

අචල අත්තම්ම දිහා බලල යන්තම් කට කොනකින් හිනාවුනා. කුකුල ඇහැරෙන්නත් කලින් ඔළුවෙ ඉදලම වහගෙන නාවන තැනට එක්ක යද්දි හොරෙන් වටපිට බැලුවත් මොකුත්ම දැක්කෙ නෑ. සීතලට හිරිගඩුත් පිපල තියෙද්දි බෙහෙත් වතුර කලේ හෙමිහිට ඔළුවෙ ඉදල  නාවද්දි අචලට අයිස්ලන්තෙ මෙහෙම ඇති කියල නිකමට හිතුනත් අම්ම "මගෙ දුවට රත්නත්තරේ පිහිටයි" කියල නලල ඉම්බම යන්තමට හිනාවුනා.

කපුටො අවදිවෙන්න කලින් සුදු පිරුවටයක් අන්දල සුදු රෙද්දකින් වහගෙන පොල්ගෙඩියකුත් බිදල සුබ හෝරාවෙන් ගෙට ගත්තට පස්සෙත්  රෙදි නැන්දගෙ ඉතිරි චාරිත්ර  ඉතිරි වෙලා තිබුණ.

 ඒ ටිකත් අහවර වුනාම හිත පිරෙන්න පඩුරුත් දීල අත පිරෙන්න තෑගිත් දීල පිටත් කරල ඇරියෙ අචලගෙ අම්මමයි.

"ඔක්කොටම වැදපන් මයෙ පුතේ"

බුලත් අතත් දීල අම්ම තියද්දි අචලගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වුනේ ලැජ්ජාවට.

"අනේ අම්මෙ"

"තාත්තට මුලින්ම වැදපං"

එතනින් පටන්ගෙන නෑදෑයො ඔක්කොටම වැදල තෑගි බෝග ටිකත් අත පිරෙන්න අරගෙන අචල කාමරේට ගියේ මගුල් කන්න එන අය එන්න තව වෙලා තියනවනෙ කියල අම්ම කිව්ව නිසා.

.................................................................

"ගමේ වැල ගමේ කපුටන්ට. පිට හෙම දෙන්න හිතනව නෙමෙයි ඕන්"

"පිස්සුද අක්කෙ"

"යකෝ ඒකි තව පොඩී"

කෙල්ල අතින් පොල්ගෙඩිය බිදුනෙත් දෙපාරට. පොල්මලේ ඇට්ටි කීයක් තියනවද දන්නෑ. සොපිය හිත හිතහිටියෙ ඒ ගැන.

"වරෙන් අක්කෙ පොල්මල බලන්න"

"පස්සෙ බැරියැ"

"මොන පස්සක්ද? මේන් මෙහෙවරෙන්"

මේකිලට ඉතිං ඒක බලනකම් නින්ද යන්නෑනෙ ගම පුරා කියවන්න. සොපියටත් කලින් පොල්මල එලියට අරගෙන වටේටම කරකව කරකව බලල

"කෝ බං අක්කෙ මේකෙ ඇට්ටි"

"අපෝ පොල්මලේ ඇට්ටි නැද්ද ඒකත් පුස්සක්ද?"

සොපියගෙ මූණෙ හිනාව යටගිහින් යන්තම් බොදවෙනව වගේ දැනුන

"අනේ මේ විකාර නැතිව හිටපං"

"මේවයෙ ඇත්තක් තියනව බොල බොන්ඩියෙ"

"අනේ උඹ දන්න ඉටිගෙඩිය. මම නාවපු දවසෙ පොල්මලේ ඇට්ටි කීයක් තිබුණද ඒත් කෝ මට කිරි දෙන්න වාසනාවක්."

"ඒ මේකනෙ බං අක්කෙ උඹව නාවපු දවසෙ පොල්මලේ ඇට්ටි බැලුවට උඹෙ මිනිහව නාවපු දවසෙ ඒක බලන්න අමතක වෙන්න ඇති"  


No comments:

Post a Comment